ටිකෙන් ටික ජීවිතේ භාෂාව ඉගෙන ගන්න. එතකොට ජීවිතේ ම ලස්සනයි (665)

post-title

මට මතක් වෙනවා යාලුවෙක් මං අවුලෙන් ඉන්න වෙලාවක මට එවපු voice msg එකක්, ඒක මට මං අවුල් යන හැම අවස්ථාවකම කනේ රැව් පිළිරැව් දෙනවා...

ඒක කෙටියෙන් මෙහෙමයි.

"අපි එකඟ වෙන්න ඕනේ අබ්දුර් අපිට ජීවිතේ හොඳ දේවල් විතරක් ම නෙමේ සිද්ධ වෙන්නේ කියල,

දැන් අපි කොච්චර උත්සාහ කරත් අපේ පාලනයෙන් බැහර දේවල් කොච්චර තියෙනව ද, ලෙඩ වගේ දේවල්, ගංවතුර ස්වභාවික ආපදා වගේ දේවල්...

කෙනෙක් ට එයාගේ ජීවිතේ හැමදේම ලැබිල තිබ්බත් හැමදේම හොඳින් සිද්ධ වුණත් අනපේක්ෂිත දේවල් ඕන වෙලාවක වෙන්න පුලුවන්. අපි හිතුවට එයා නම් හොඳින් ඇති, අරගොල්ලො නම් හොඳින් ඇති එහෙම කියල, අපේ ප්‍රශ්න නොවනාකාරයේ ප්‍රශ්න හරි එයාලට තියෙන්න පුලුවන්. ඉතිං ඒ නිසා ජීවිතේ ඕන ම දේක, ඒක රැකියාව සම්බන්ධ දෙයක් වෙන්න පුලුවන්, studies සම්බන්ධ දෙයක් වෙන්න පුලුවන්, relationship එකේ දෙයක් වෙන්න පුලුවන්, ඒ හැම තැනකම නරක දේවල් / අපි බලාපොරොත්තු නොවිච්ච දේවල් වෙන්න පුලුවන්.

ඒ වගේ වෙලාවන්ට ඒක අපේ ජීවිතේ part එකක්, ඒක අපේ ජීවිතේ කොටසක් විදිහට බාරගන්න අපිට පුලුවන් වෙන්න ඕනේ. ජීවිතේ සතුටු හිතෙන දේවල් වෙනව වගේම දුක හිතෙන දේවලුත් වෙනව හෝ වෙන්න පුලුවන් කියන එක අපි මතක තියාගන්න ඕනේ. අනිත් දේ තමයි අපිට සතුටු හිතෙන දේවල් වලින් අපිට ඉගෙන ගන්න තියෙන අවස්ථාවන් හරි අඩුයි. 

හිතන්නකෝ ජීවිතේ සතුටින් ඉඳපු කාල වල මොනවද ඉගෙන ගත්තේ කියල, අපි අපේ ජීවිතේ ගැන, අපේ ඇතුලේ අපේ හිත් වල තියෙන දේවල් ගැන, ඒ වගේම අපි අපිව වඩා හොඳින් තේරුම් අරං තියෙන්නේ, තමන් අවට ඉන්න අයව තේරුම් අරං තියෙන්නේ, තමන්ට මොනවද කරන්න පුලුවන් කියල තේරුම් අරං තියෙන්නේ දුක හිතෙන අවස්ථා වල, ඉතිං ඒ වගේ අවස්ථාවක් කියන්නේ හරිම හොඳ දෙයක්..."

ඉස්සර මට මොනාහරි අවුල් දෙයක් සිද්ධ උනා ම මං ඒ ගැන සෑහෙන්න හිතනව. වද වෙනව. ඇයි මට ම මෙහෙම වෙන්නෙ කියල හිතෙනව. කලකිරෙනවා. ඒත් ටික කාලයක් ගියාම මට ම තේරෙනව දෙයියනේ ඒක එහෙම උනේ ඇයි ද කියල. හරියට මාව මොනාහරි දේකට ජීවිතේ කලිං සුදානම් කිරීමක් කළා වගේ දැනෙනව. එතකොට ජීවිතේ ගැන සෑහෙන්න අසීමිත ආදරයක් එනවා. එයා හරි දයාබරයි කියල හිතෙනවා.

මාව වේදනාවට පත් කරපු සමහර ඒ අතීත සිද්ධීන් ආදරෙන් වැළඳගන්න හිතෙනවා. මොකද අද මං ඉන්න තැනට මාව ගෙනාවේ ඒ අතීත අමිහිරි දේවල් හින්දා. ඉතිං ටික ටික ඔහොම 'ජීවිතේ භාෂාව' අපිට හුරු වෙන්න පටන් ගත්තම එයා අපිට කියල දෙන පාඩම් තේරුම් ගන්න පුලුවන් වෙනවා. එතකොට අට ලෝ දහමෙන් කම්පා නොවී ජීවිතේ සිද්ධීන් දිහා උපේක්ෂා සහගත බැලුම් හෙළන්න හුරුවෙනවා. ආං ඒ විදිහට ඇහැ හුරු කරගත්ත ම කොච්චර නම් නරක අවස්ථාවක උනත් ඒ අස්සේ හැංගිලා තියෙන පාඩම්, අවස්ථාවන් දකින්න පුලුවන් වෙනව.

හරියට අදුරු වළාවල රිදි රේඛා දකිනව වගේ. ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ අපේ ම හොඳට සහ හේතුවක් ඇතුව කියල කියනව. ඒත් ඒක පේන්න ගන්නේ අපි ඒ දේවල් ඉවසගෙන ටික දුරක් ගියහම.

ඉතිං, අද ඔයා ඉන්න තැන ගැන, අත්විදින දේවල් ගැන ඔයාට එක එක විදිහේ අදහස් ඇති, එක එක විදිහේ දේවල් හිතෙනවත් ඇති. ඒ කොහොම නමුත් ජීවිතේ කිසිම දෙයක් අහම්බ නොවන බවත්, හැමදේම සිද්ධ වෙන්නේ ඒ ඒ වෙලාවට වෙන්න තියෙන හොඳම විදිහට බවත් හිතලා, නිතර මැසිවිලි නගන්නේ නැතුව, හැමදේම දරාගෙන අකම්පිත මනසකින් ඉස්සරහට ගියොත් ජීවිතේ අපි වෙනුවෙන් ලස්සන ලස්සන තෑඟි ලබා දෙනවා.

ඉතිං අපි හැමෝටම ඒ අභ්‍යන්තර සාමය පිරිච්ච ජීවිතයක් ලැබෙන්න කියල පතලා අදට නවතිනවා...

Top