ආත්මාර්ථය පසෙකලා පරාර්ථය පෝෂණය කරමු (649)

post-title

මේ ලද මිනිස් ජීවිතය, අනාගතය තුළ කෙසේ තීරණය වේදැයි අප කිසිවෙකුටත් කිව නොහැකිය. අප මෙලොව එළිය දුටු දා පටන් අපට ජීවිතයේ කිසියම් වූ තේරුමක් ඇතිවන අවධිය වන තෙක් මව්පියන්ගේ රැකවරණය ලැබීමෙන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් සමාජ පරිසරයට උචිත අයුරින් හැඩගැසීමට පුද්ගලයා පෙළඹෙනු ඇත. එසේ සමාජගත වන පුද්ගලයා පරාර්ථකාමී පුද්ගලයෙකු වශයෙන් සමාජගත වීම ඉතාමත් වැදගත් වේ. නමුත් වර්තමාන සමාජය තුළ නිරන්තරයෙන් ම දැකගත හැකි වන්නේ ආත්මාර්ථකාමීත්වය මත පදනම් වූ ක්‍රියා කලාපයන්ගෙන් හෙබි මිනිසුන් ය. වර්තමාන සමාජගත මිනිසා තුළ පරාර්ථකාමීත්වය දැකගත හැකි වනුයේ ඉතාමත් අල්ප වශයෙනි. කෙසේ වුවත් වර්තමානයේ මෙන්ම අනාගතයේදී ත් නිර්මාණය විය යුත්තේ පරාර්ථකාමිත්වයෙන් පෝෂණය වූ මිනිසුන්ගෙන් යුතු රටක් නොවේ ද?

පරාර්ථකාමීත්වයෙන් තොර වූ ආත්මාර්ථකාමීත්වය යන්න තමාගේ ප්‍රයෝජනය පිළිබඳ ව පමණක් සිතන හැසිරීමයි. ඒ පළමුවෙන් ම තමා කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය යි. කෙසේ වෙතත් තමා පිළිබඳ ව ආත්ම ගෞරවයක් ඇති පුද්ගලයෙකු අනෙක් පුද්ගලයන්ට ද ආදරයෙන්, ගෞරවයෙන් සලකනු ලබයි.

එදිනෙදා ජීවිතයේ දී පුද්ගලයාට තමන් කටයුතු කරනු ලබන ආකාරය අනුව සතුටුදායක අවස්ථාවන්ට මෙන්ම දුක්ඛදායක අවස්ථාවන්ට ද මුහුණ දීමට සිදුවේ. එහෙයින් කිසිඳු පුද්ගලයෙකුට කිසිඳු විටෙක නිරායාසයෙන් ම ඉතාමත් සුව පහසු ජීවිතයක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් විය යුත්තේ පරාර්ථකාමීව පුද්ගලයා සමාජයට අනුවර්තනය වෙමින් ඕනෑම දෙයකට මුහුණ දිය හැකි ආකාරයෙන් ජීවත් වීමට වගබලා ගැනීම යි. පුද්ගලයෙකු ඉපදීම ත් සමඟ එම පුද්ගලයා කිනම් ආකාරයට අනාගතයේ දී ජීවත් වේදැයි යන්න අප කාහටවත් පැවසිය නොහැකිය. එහිදී ඔවුන් සමාජය තුළ ජීවත් වන ආකාරය අනුව ඔවුන්ගේ හැඩගැසීම ද තීරණය වීම සිදුවේ. එහෙයින් ඔවුන් විශේෂයෙන්ම වගබලා ගත යුත්තේ පරාර්ථකාමී ජීවන පැවත්මකට අනුකූල ව තම ජීවිත සකසා ගැනීමට ය.

එසේම සමාජයෙහි ජීවත් වන විට විවිධ සමාජ මට්ටම්වල විවිධ වූ පුද්ගලයින් ඇසුරු කිරීමට ද මිනිසාට සිදුවනු ඇත. එවන් අවස්ථාවලදී මිනිසුන් සමඟ මෙන්ම සමාජය සමඟ ගණුදෙනු කිරීමේ දී බුද්ධිමත්ව තීරණ ගනිමින් හැසිරීමට ද කටයුතු කිරීමට ඔබ වගබලා ගත යුතුය. 

බොහෝවිට පුද්ගල ජීවිතය සාර්ථකව නිවැරදිව හැඩගස්වා ගැනීමට නම් පුද්ගලයා සතුව පවතින මනුෂ්‍ය ගුණධර්ම බොහෝ සෙයින් ඉවහල් වනු ඇත. එහිදී එකිනෙකාට උදව් උපකාර සිදුකර ගැනීම, අසරණයින්ට පිහිට වීම මෙන්ම දුකට පත්වූවන්ට පිහිට වීම යනාදී වූ යහපත් ක්‍රියාවන් සිදුකිරීමට පුද්ගලයින්ට හැකියාවක් පවතී. පරාර්ථය උදෙසා එවැනි යහපත් ක්‍රියාවන් තුළින් ඔවුන්ට ආත්ම තෘප්තියක්, ආත්ම අභිමානයක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇත. ඕනෑම පුද්ගලයෙකු විසින් පරාර්ථකාමීව අනෙකාගේ මුවගට සිනහවක් ලබාදෙන්නට කටයුතු කරනවා නම් ඒ ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයට ද මඟක් විවර වනු ඇත. එහෙයින් සැමවිටම අනෙකාගේ දියුණුව උදෙසා ඔබ කටයුතු කරන්න. ආත්මාර්ථය දුරලා පරාර්ථය ම පෝෂණය කරන්න.

Top