පැරදුම ම ජීවිතයේ දිනුමක්. (638)

post-title

ජීවිතය කියන්නෙම ප්‍රශ්න පත්තරයක්. ඉතින් ජීවිතේ ජයගන්න නම් ඒ ප්‍රශ්න පත්තරේට උත්තර ලියන්න ම ඕනි. ප්‍රශ්න වලින් මිදෙන්න කියල ජීවිතෙන් පැනල ගිහින් වැඩක් නෑ.. ඒක ප්‍රශ්නවලට විසදුම නෙවෙයි. ජීවිතෙන් වගේම හිතිනුත් කඩා වැටෙන්න හරි ලේසි. ඒකට යන්නෙත් අඩු කාලයක්. ඒත් කාලයක් අරන් පියවරෙන් පියවර හරි නැගිට්ටොත් ආයෙ කොයි විදියෙ බාධක ආවත් ඔබව කාටවත් කඩා වට්ටන්නත් බෑ. පොඩ්ඩකට ආපහු හැරිල මතක් කරල බලන්න අපි හැමෝම ඇවිදින්න පුරුදු උනේ වැටි වැටී. අපි කාටවත් එකපාර ඇවිදින්න පුලුවන් උනේ නෑ. හැබැයි අද වෙනකොට මේ ලිපිය ලියන මටත්, මේ ලිපිය කියවන ඔබටත් වැටෙන්නෙ නැතුව ශක්තිමත්ව කකුල් දෙකෙන් ඇවිදින්න පුලුවන්.. වැටෙන තරමටම වේදනා දරාගෙන කකුල්වල ශක්තියෙන් හිතේ විශ්වාසයෙන් නැගිටින්න පුලුවන් උනා වගේ තමයි ජීවිතේ එන අභියෝගවලට මුහුණ දෙන්න පුලුවන් උන තරමටම තමයි ජීවිතේ දිනන්නත් පුලුවන් වෙන්නෙත්. 

ගඟක් උනත් ලස්සන නෑ බාධක නැතුව නිසොල්මනේ ගලන් යනවනම්. ගඟක උනත් ලස්සන තියෙන්නෙ ගල්පරවල හැපිල පෙණපිඩු විසුරුවනකොට තමයි. ඒ වගෙ තමයි ජීවිතෙත්. ජීවිතේටත් බාධක ආවෙ නැත්නම් ලස්සනක් නෑ. ඒ වගේම පැවැත්මකුත් නෑ. හැම අතින්ම එන ගංඟා එයාලගෙ ගමනාන්තය ඉලක්කය, මුහුද කරගෙන ගලාගෙන යනවනම් ඔබත් ඔබේ සිතට නන්දෙසින් එන සිතුවිලි ඔබේ ඉලක්ක කරා නිවැරැදිව මෙහෙයවන්න. ගඟ මුහුද සිපගෙන එයාලගෙ අභියෝගය ජය ගන්නවා වගේ නිවැරැදි මෙහෙයවීමකින් ඔබට ඔබේ ජීවිතය ජයගන්න පුලුවන්.

හිතල බලන්න නික් වුජිසික් දෙපා , දෙඅත් නැති උනත් ඔහු ඔහුගේ ජීවිතේ හැම අභියෝගයක්ම ජය ගන්නවා.. ඒ වගේම තව කෙනෙක්ව දිරිමත් කරන්න උත්සහ ගන්නවා. මුනිබා මසාරිට සිදුවූ රිය අනතුරෙන් නැවත දෙපයින් ඇවිදීමේ හැකියාව නැති උනත්, මවක්වීමේ හැකියාව අහිමි උනත් ඇය දරුවෙකුට කැපකරු මවක් වෙනවා. ඇය ඇයගේ ආශාව චිත්‍ර ශිල්පීනියක් වෙලා ඉෂ්ට කරගන්නවා.. ඉතින් අතපය හතර හොඳට තියෙන අපට කිසිදෙයක් බැරි නැහැ.

තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය හොයාගන්න ගිහිල්ලා නවසිය අනූ නව වතාවක් පැරදෙනවා. ඒත් ඔහු දහස්වෙනි වතාවෙ විදුලි බල්බය නිපදවනවා. ඔහු එකපාරක්, දෙපාරක් , තුන්පාරක් වරදිනකොට ඔහුගේ උත්සහය අත් හැරියනම් අදටත් අපි හැමෝම කුප්පි ලාම්පුවෙන් එලිය සොයන පිරිසක් වෙන්න ඉඩ තිබ්බා.මේ ලෝකෙ අද වෙනකොට ප්‍රකෝටිපතියො වෙලා ඉන්න ගොඩක් අය කඩා වැටීම් මැදින්, දුප්පත්කම මැදින් අඩියෙ ඉදලා නැගිටපු අය. එක පාරක් පැරදුණා කියන්නෙ හැමදාටම පැරදුණා කියන එක නෙවෙයි. පැරදුමක් කියන්නෙ ජීවිතේකට හොඳ ආරම්භයක්. ඒ වගේම අත්වැලක්. ජය පැරදුම තීරණය වෙන්නත් අනිවාර්යයෙන් අපි උත්සහයක් හරි ගන්න ඕනි. ඔබට කරන්න බැහැ කියල දෙයක් නෑ. අවශ්‍ය වෙන්නෙ උත්සහය , කැපවීම හා අධිෂ්ඨානය විතරයි. ඒ වගේම ජීවිතේ දිනන්න බැහැ කියල නෑ දිනන්න පුලුවන්. ඉතින් , පැරදුම ඇරඹුමක් කරන් ජීවිතය ජයගන්න. ඔබට ජය !

Top