ඔබට මේ මොහොත තෙක් ගතකරපු ජීවිත කාලය තුළ කෙතරම් නම් මිනිසුන් සංඛ්‍යාවක් මුණගැහිලා තිබෙනවද? ඔබගේ පවුල් පරිසරය තුළ, ඔබ ජිවත්වන ප්‍රදේශයේ, පෙර පාසලේ, පාසලේ, උසස් අධ්‍යාපන ආයතනවල, රැකියා ස්ථානයේ, සමාජ මාධ්‍ය මඟින් ඔබට කෙතරම් නම් මිනිසුන් මුණගැහිලා ඇතිද කියා ඔබ මොහොතකට හෝ සිතා තිබේද? මොහොතකට සිතන්න! මට විශ්වාසයි එය ඉතාමත් විශාල සංඛ්‍යාවක්. ඔබට එම ගණන සංඛ්‍යාවෙන් කියන්න මතකයේවත් නැති තරම් ගණනාවක්..
ඔබට මුණගැහුණු ඒ පුද්ගලයින්ගෙන්, අද වනතෙක් ඔබගේ මතකයේ රැඳී සිටින පිරිසක් ඉන්නවා ඇති. නමුත් ඔබේ මතකයෙන් සම්පුරණයෙන් ඉවත්ව ගිය පිරිස ඊටත් වඩා වැඩියි. ඇතැම් පුද්ගලයින්ගේ මුහුණුවර ඔබට මතක ඇති. නමුත් ඔහු හෝ ඇය හඳුන්වන නාමය අමතකව තිබෙන්නට පුළුවන්. ඇතැම් පුද්ගලයින්ගේ මුහුණුවරවත් ඔබට අමතක වෙලා ඇති. ඇත්තටම අපි ඉපදුණ දවසේ සිට මේ මොහොත දක්වාම කෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් ආශ්‍රය කරලා තියෙනවද ? ඒ ගණන අපට සිතා ගන්නවත් බැරි තරම්.
ඒ තරම් මිනිසුන් විශාල සංඛ්‍යාවක් අතරින් අපගේ මතකයේ යම් පිරිසක් තවමත් නොමැකී නොනැසී මතකයක්ව පවතින්නට හේතුව කුමක් වෙන්න පුළුවන් ද? ඇයි අපිට එක් පිරිසක් පමණක් මතක තිබෙන්නේ. මිනිසා කියන්නේ ඉක්මණින් හැමදෙයක්ම අමතක කරන අයෙකුටයි. ඉතින් එහෙමවෙලත් ඔවුන් තවමත් ඔබගේ මතකයේ ජීවත් වෙන්න හේතුව නම්, සැබවින්ම ඔබ හා බැඳුණු කිනම් හෝ විශේෂ සිදුවීමක් ඔබ හා එම පුද්ගලයින් අතර පැවතීමයි.
ඔබ ඔබේ මතකයේ රඳවා ගන්නේ ඔබට සුවිශේෂී පුද්ගලයින් පමණයි. නමුත් යම් පිරිසක් ඔබටත් නොදැනී ඔබේ යටි සිතේ සැඟවිලා ඉන්නවා. ඔවුන් ඔබේ යටි සිතේ තැම්පත් වෙලා සිටිය බව ඔබ දන්නේ නැහැ. නමුත් ඔබ මුහුණ දෙන මොනයම් හෝ සිදු වීමකින් එම මතකය ඔබේ උඩු සිත තෙක් පැමිණෙනවා. ඔබගේ මතකයේ වත් නොසිටි පුද්ගලයෙක් එකවරම ඔබේ මතකය කරා පැමිණෙන එවන් අවස්ථාවලට ඔබත් මුහුණ දී ඇති.
කෙසේ වෙතත් ජීවිත කාලය තුළදී හමුවුණු සෑම පුද්ගලයෙක්ම ඔබේ ජීවිතයට ගොඩක් වටිනවා. ඔබගේ මතකයේ තවමත් රැඳී ඇති පුද්ගලයින් ගැනයි මම මේ කියන්නේ. ඔවුන් ඔබට විශේෂ වීමට මොනයම් හෝ හේතුවක් තිබෙනවා. ඒ මතකය සතුටුදායක හෝ දුක්බර වෙන්න පුළුවන්. ඇතැම් විට ඔවුන් ඔබට රිඳ වූ පුද්ගලයින් වෙන්න ඇති. නැතිනම් ඒ ඔබට ආදරය කළ අය වෙන්න පුළුවන්. ඇතැම් අය ඔබට වෛර කරන පුද්ගලයින් වෙන්නැති. නමුත් ඒ හැම මතකයක් ම විශේෂයි. ඒ හැමකෙනෙක්ම විශේෂයි.
අපව රිඳවූ, අපව වෙහෙසට පත් කෙරූ, අවශ්‍යම අවස්ථාවන්හිදී අපව තනි කෙරූ, අපට වෛර කෙරූ ඒ හැමකෙනෙක්ම අපට විශේෂයි කියන්නේ කොහොමද කියලා ඔබ සිතනවා ඇති. ඔව්, මම නැවතත් කියනවා ඔබව සතුටු කළ පුද්ගලයින් වගේම ඔබව රිඳවූ සෑම කෙනෙක්මත් විශේෂයි! ඒ ඔවුන් සෑම කෙනෙක්ම ඔබට විශේෂ පාඩමක් ඉගැන්වූ නිසයි. එය ඔබට ඉගැන්වූයේ ඔවුන් ම පමණයි. ඒකයි ඔවුන් සෑම කෙනෙක්ම අපිට වැදගත් වෙන්නේ.
ඔවුන් ඔබට යහපත් හෝ අයහපත් ලෙස සළකන්න ඇති. ඇතැම් විට ඒ ඔබ ගොඩක් විශ්වාස කළ පුද්ගලයින් වෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයින් මොනයම් හෝ ආකාරයකට ඔබව රිඳවන්න ඇති. ඔබව රිඳවූ නිසාම ඒ මතකය ඉතාමත් ප්‍රභලයි. ඔබට ඔවුන්ව අමතක කරන්න අවශ්‍ය ඇති. නමුත් අසීරුයි නේද? ඔවුන්ගේ මතකය පවා ඔබව රිඳවනවා ඇති. නමුත් ඔබ තවදුරටත් ඒ අතීත මතක තුළින් විඳවන්න අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයින් නිසා කිසිවිටෙකත් ඔබ ඔබව අමතක නොකළ යුතුයි!
ඒ සෑම පුද්ගලයෙක්ම ඔබට ඉගැන්වූ පාඩමක් තිබෙනවා. අපිට වැදගත් වන්නේ එයයි. ඔවුන් ඔබව රිඳවූවාට කමක් නැහැ. ඔබ ඔවුන්ව රිඳවා ඔවුන්ගේ තත්වයටම පත් වූයේ නැත්තම් ඔබට අවංකවම සතුටු වෙන්න පුළුවන්. පුද්ගලයින් ඔබට කෙතරම් නරක ලෙස සැළකුවත් ඔබත් ඔවුන්ට එසේ කරන්නම අවශ්‍ය නැහැ. එවැනි පුද්ගලයින්ට සමාව දෙන්න. ඔවුන් ඔබට රිඳවූ ආකාරය වචනෙකින් හෝ ඔබ ඔවුන්ට පෙනෙන්නට භාවිතා කරනවා නම් ඔබත් කරන්නේ අනුන් රිඳවීමයි. එවිට ඉන් ඔබට සැනසීමක් නම් දකින්න බැරි වේවී. ඔබ කළ යුතු එකම කාර්යය වන්නේ ඔවුන් ඔබට ඉගැන්වූ පාඩම ඉගෙන ගෙන එම පුද්ගලයා හඳුනාගැනීම පමණයි.
අපගේ ජීවිතයට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම අපට උගන්වන්නේ එකිනෙකට වෙනස් පාඩම් ගණනාවක්. ඇතැම්විට එය ඔබට වේදනාකාරී විය හැකියි. එම වේදනාකාරී පාඩම තුළින් ඔබ ඔබේ ජීවිතය තවදුරටත් පහළට ඇද දමයි නම්, ඔබ පරාජිත මිනිසෙක් වේවී. නමුත් ඉන් එක් පියවරක් හෝ ඉදිරියට තැබීමට ඔබ ශක්තිමත් නම් සැබවින්ම ඔබ ජයග්‍රාහී මාවතේ ගමන් කරන්නෙක් වෙනවා. එම මතකය ඔබ සමඟ තිබුණාට කමක් නැහැ. නමුත් එය ඔබේ ජීවිතයම නොවිය යුතු ය.
ඔබේ මතකයේ රැඳී ඇති පිරිසෙන් ඇයි ඔබ සැමවිටම ඔබව රිඳවූ පුද්ගලයින්ව පමණක් සිහි කරමින් කල් ගත කරන්නේ. ඉන් සිදුවන්නේ ඍණාත්මක ආකල්පවලින් ඔබම ඔබේ සිත පුරවා ගැනීමයි. ඔබ සැමවිටම මතකයට ළගා කර ගත යුත්තේ ඔබට ආදරය, කරුණාව දක්වන පුද්ගලයින් පමණයි. ඔබට යම්කෙනෙකු සැබවින්ම ආදරය, කරුණාව දක්වන්නේ නම් එම පුද්ගලයා කිසි ලෙසකින්වත් ඔබ රිඳවන්නේ නැහැ. ඔබ විඳවන ආකාරය දෙස බලා සිටින්නේ නැහැ. ඔබ මොහොතක් ඔබේ මතකයේ සිටින ඔබට සුන්දර මතකයන් එක් කරන පුද්ගලයින් සිහි කරන්න! ඔබට බෙහෙවින් ආදරය කරන දෙමාපියන්, මිත්‍රයන්, පෙම්වතකු හෝ පෙම්වතියක ඒ අතර සිටීවී. ඉතින්, එතරම් ආදරණිය මිනිසුන් සිටින ඔබ ඇයි තවමත් ඔබව රිඳ වූ පුද්ගලයින්ම සිහි කරමින් ජීවිත් වෙන්නේ.
ඔබ වටා මේ මොහොතේත් රැඳී සිටින ඔබට සතුටක් පමණක් ගෙන දෙන පුද්ගලයින් ඔබට නැතුවා නොමෙයි. ගැටලුව ඇත්තේ ඔබ ඒ මතකයන් සිහිපත් නොකිරීමයි. ඔබ යළි යළිත් සිහිපත් කළ යුත්තේ ඔබේ සතුටට හේතුවන මතක ගෙන දෙන පුද්ගලයින් පමණයි. ඇතැම් විට ඔබ සිතනවා ඇති ඔබට වේදනාකාරීම මතක ගෙන දුන් පුද්ගලයා තමයි ඔබට ඇති සුන්දරම මතකය කියා. ඔබ එසේ සිතුවාට කමක් නැහැ. නමුත් ඒ වේදනාව ඔබේ ශක්තිය කරගන්න පුරුදු වෙන්න. කිසිම විටෙක ඒ වේදනාකාරී මතකය තුළ ගිළි මිය යන්න එපා!
ඔබට අඳුරු මතක ගෙනදුන් පුද්ගලයින් සියයකට වඩා එක් සොඳුරු මතක ගෙන දෙන පුද්ගලයෙකුගේ මතකය ඔබව සුවපත් කරාවී. එවැනි පුද්ගලයින් පමණක් ඇසුරු කරන්න. ජීවිත කාලය පුරාවටම පුද්ගලයින් ඇසුරු කිරීමෙන් ඔබ උගත් සියලු පාඩම් කෙදිනකවත් අමතක නොකරන්න. ඒ පාඩම් තුළින් ඔබ ඔබේ ගමන යන්න. ආපසු හැරී බැලුවාට කමක් නැහැ. නමුත් ඔබ යළි එතැන නතර නොවිය යුතුයි. එවිට ඔබේ ජීවිතය ඔබටත් නොදැනී ප්‍රීතිමත් වේවී. අඳුරු වළා සියයක් පැවතියත් ඉන් ගමන් කරන එක් රිදී ආලෝකයක් හෝ දකින්න!