සාර්ථකත්වය ළඟාකර ගැනීමට නම් ඔබ ඔබම විය යුතුයි (555)

post-title

පියවරෙන් පියවර පියනඟමින් ගමන් කරන මෙම ජීවන යාත්‍රාවේ තම ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කර ගැනීමට නම් ඔබ ජීවිතය දිනිය යුතුමය. විශේෂයෙන්ම ඒ සඳහා තමා තමා සමඟ ඇති සබඳතාවය පිළිබඳව නිසියාකාරව දැනගත යුතු වේ. එහිදී තමා කවුද යන්න නිවැරදිව හඳුනාගැනීම සියල්ලටම ප්‍රථම වැදගත් වේ.

මෙලොව උපන් සියලුදෙනාටම තමාටම පමණක් අයිති ජීවිතයක් ඇත. එහිදී මම යනු, මා මිස අන් කවරෙකුත් නොවේ. මට ඔබ විය නොහැක. ඔබට මා විය නොහැක. මෙසේ ලෝකයේ පවතින ප්‍රාථමික නැතිනම් පළමු බෙදීම වනුයේ මම සහ ඔබ, එසේත් නොමැතිනම් මගේ සහ ඔබේ යන බෙදීමයි. සැබැවින්ම මෙය පවතින දෙයක් ද, නොපවතින දෙයක් ද යන්න පිළිබඳව සිතූ විට යමෙකුට කෙදිනක හෝ එවැනි දෙයක් නොමැති බව දැනෙන්නට පුළුවනි. නමුත් කිසියම් වූ පුද්ගලයෙකුට මෙම තත්ත්වය පිළිබඳව නිසියාකාර අවබෝධයක් කුමන හෝ දවසක ලැබෙනු ඇත. එමෙන්ම තම ජීවිතය තුළ තමාටම උරුම වූ ගතිගුණ ඇත. යුතුකම් වගකීම් ඇත. තමාටම ආවේණික කතාබහක්, ගමන් විලාසයක්, සිතුම් පැතුම් සහ විලාසිතාවන් ඇත. නමුත් එහිදී අන් අයෙකුගේ හැසිරීමක්, කතා විලාසයක්, විලාසිතාවන් ඔබට අනුකරණය කළ හැකි වුවද එය මවා ගත් විලාසයක් පමණක්ම වේ. එයින් සිදුවනුයේ ඔබ ඔබවම සඟවා ගැනීමකි.

මිනිස් ජීවිතයේදී පවතින මූලිකම දේ වනුයේ මම නැමැති පුද්ගලයා පිළිබඳව මගේ සිත තුළ පවතින තක්සේරුව කුමනාකාරද යන්න වටහා ගැනීමයි. ඇතැම් පුද්ගලයින් තමා පිළිබඳව අධි තක්සේරුවක් ඇතිකර ගනිමින් දැඩි බලාපොරොත්තු ඇතිකර ගනු ලබයි. එහිදී අනෙකා තමාට ගරු කළ යුතුයි, සමාජය තමා පිළිබඳව දැනගත යුතුයි යනුවෙන් සිතීමට පෙළඹෙනුයේ ද එසේ තමා පිළිබඳව ඔවුන් තුළ පවතින්නා වූ අධි තක්සේරුව නිසාවෙන්ම ය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් තමාගේ අඩුපාඩු, නොහැකියාවන් පිළිබඳව නොසිතමින් තනතුරු, අවස්ථා යනාදිය තමාට ලැබිය යුතු යැයි සිතමින් කලහකාරී ලෙස හැසිරෙනු ලබන අවස්ථා ද අද සමාජය තුළ නිතැතින්ම දැක ගැනීමට හැකිවනු ඇත.

මෙහිදී සාර්ථකත්වය යන්න ඔබේ ජීවිතය තුළ පැවතිය යුතුම දෙයකි. සාර්ථකත්වයට අදාළ විවිධ වූ පැතිකඩයන් බොහෝමයක් තිබිය හැකි වන අතර සමාජයේ එක් එක් පුද්ගලයන් සාර්ථකත්වය පිළිබඳව දකින ආකාරය සහ එක් එක් පුද්ගලයන්ට සාර්ථකත්වය දැනෙන ආකාරය වෙනස් ය. එබැවින් ඔබේ සාර්ථකත්වය පිළිබඳව සැලකිලිමත් වන ඔබ, මුලින්ම කළ යුතු වන්නේ ඔබේ සාර්ථකත්වය කුමක්දැයි යන්න ඔබම නිර්වචනය කර ගැනීමයි. එමෙන්ම ඔබට නිවැරදි, නොසැලෙන ඉලක්කයක් තිබිය යුතුය. එම ඉලක්කය අන් අයට පෙනීම සඳහා නොව, ඔබේ අනාගතයේ සාර්ථකත්වය සඳහා විය යුතුය. මෙසේ සාර්ථකත්වය සඳහා යන ගමනේදී ඔබට අනෙකාගේ සාර්ථකත්වය, දුර්වලතාවයන් වැදගත් නොවන අතර ඔබ ඔබම විය යුතුය. ඔබේ ඉලක්කය, සාර්ථකත්වය ඔබේ පමණක්ම ය. 

තවද ඔබ මෙලොවට පැමිණියේ කිසිවෙකුගෙන්වත් ප්‍රශංසා ලබන්නට නොවේ. එහෙයින් ඔබට කිසිවිටෙකත් තවකෙකුගෙන් ප්‍රශංසාව, පිළිගැනීම අවශ්‍ය නොවන බව සිතමින් ජීවත්වීම වැදගත් වේ. එමෙන්ම ඔබ ලස්සන විය යුත්තේ ඔබටමය. ඔබ යමක් කළ යුත්තේ ඔබගේ හදවතට එකඟව ඔබ වෙනුවෙන්මය. අන් අය සැනසීම වෙනුවෙන් ඔබ තවත් කෙනෙකු බවට පත් නොවිය යුතුය. ඔබ ඔබම විය යුතුය. මන්ද නෙළුමක් ලෙස උපන් ඔබට කිසි දිනෙක වෙනත් මලක් බවට පත්විය නොහැකි වන නිසාවෙනි. එසේම ඔබ කතා කරන වචන, ඔබ සමාජය පිළිබඳව දරන ආකල්ප, ඔබේ හැඟීම් පිළිබඳව ඔබ සැලකිලිමත් වීම වැදගත් ය. කිසිඳු විටෙක ඔබ තවත් කෙනෙකු විවේචනය නොකළ යුතුය. මන්ද එකිනෙකාගෙන් එකිනෙකාට ඔවුන් සතුව පවතින්නා වූ ගුණාංග වෙනස් වන නිසාවෙනි. එමෙන්ම එම ගුණාංගයන් ඇතැම් විට ඔවුන්ටම සුවිශේෂී වන නිසාවෙනි. එහෙයින් අප කෙනෙකු පිළිබඳ කතා කරන විට එම පුද්ගලයාගේ සුවිශේෂී ගුණාංග දැකීමට පුරුදු විය යුතුය. මෙසේ තව කෙනෙකුගේ හොඳ දකින්නට මෙන්ම තමන්ගේ හොඳ දකින්නට, ලස්සනට ජීවත්වීමට, යහපත් ආකල්ප දැරීමට, අනාගතය දෙස හොඳින් බැලීමට කටයුතු කළ යුතුය. එහෙයින් විය යුත්තේ ඔබ ඔබම වීමයි.

ඔබේ ජීවන චාරිකාවේ ඔබට හමුවන සෑම පුද්ගලයෙකුම ඔබේ ජීවන ගමන තුළ ඔබව පියවරකින් හෝ ඔසවා තබන, ඔබේ ජීවිතයට හිරු කිරණක් ලබාදීමට පැමිණි, සිතාගත නොහැකි තරම් අපූර්ව තවත් එක් ගුරුවරයෙකුම පමණක් බවම සිතන්න.

එමෙන්ම ඔබ අන් අයගේ සතුටට ඊර්ෂ්‍යා කිරීමෙන්වත්, ඔවුන්ගේ වැරදි අඩුපාඩු සෙවීමෙන්වත්, අන් අය අනුකරණය කිරීමෙන්වත් ඔබට කිසිදා ඔබව සොයාගත නොහැකි වනු ඇත. එවිට ඔබට ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඔබෙන් දුරස් වී, ඔබට කිසිදා එකී සාර්ථකත්වය දැකිය නොහැකි වනු ඇත. ඒ නිසාවෙන්ම ඔබ ඔබම වන්න උත්සාහ කරන්න. එසේ ඔබ ඔබම වීමෙන් ඔබේ ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබට නිතැතින්ම හැකියාව ලැබෙන බව නම් නොරහසකි. 

Top