තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගාගන්න. ඔබේ මුරණ්ඩුකම සහ ඔබේ හීන ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වනතුරුම ඔබ ඔබව ම හඹායන්න.(535)

post-title

සුප්‍රසිද්ධ ව්‍යාපාර ව්‍යවසායකයෙක් වන ප්‍රංශ ජාතික ක්‍රිස්ටියන් ලූබටින් ( christian louboutin ) ගැන විපරම් කරන්න හිතෙන තරමට ම ඔහු විශිෂ්ටයෙක්.

වයස අවුරුදු 12 දි තුන්වරක් පාසලෙන් පැනයාමට උත්සාහ කරන ක්‍රිස්ටියන් නිවස අත්හැර තනිව ජීවත්වීමට මිතුරෙක්ගේ නිවසට පලා යනවා. තමන් හැදුනු වැඩුනු පවුල හා සහෝදරියන් තමන්ගේ නොවෙන බව නිතරම ක්‍රිස්ටියන් විශ්වාස කිරීමයි එයට හේතුව.ඒ හේතුව නිසාම ඔහු ටිකෙන් ටික නිවසින් ඈත්වෙනවා.

පාසල් අධ්‍යාපනය අඩාල වීමත් පවුල් පරිසරයෙන් ඈත්වීමත් නිසා ක්‍රිස්ටියන් පුංචි කාලෙදිම කල්ලි ගසමින් රස්තියාදු ජීවිතයකට ඇබ්බැහි වෙනවා. නමුත් මේ කිසිම දේකට ඔහු සතු නිර්මාණ ශක්තිය උදුරගන්න බැරිඋනා.ඔහු සහජයෙන්ම ගෙන ආ කුසලතාවක් ඔහුගේ ජීවිතය වෙනස් කරනවා. කුරුටු බලි අදිමින් ඉරිකෑලි අදිමින් විවිධ මෝස්තර රටා දක්වා සැලසුම් නිර්මාණය කලද ක්‍රිස්ටියන් අතින් නිර්මාණය වූ බොහෝමයක් නිර්මාණ රටා සපත්තු මෝස්තර නිර්මාණ වෙනවා.

සංගීත කණ්ඩායම් හා එක් වෙමින්ද චිත්‍රපටවල සුළු චරිත වලට සහභාගී වෙමින් ද අමතර මුදල් උපයන ක්‍රිස්ටියන්ට පැරිසියේ සුප්‍රසිද්ධ කලාගාරයකට සම්බන්ධ වීම නිසා චිත්‍ර ශිල්පය ගැන යම් දැනුමක් එකතුකර ගැනීමට ද හැකි වෙනවා.1976 දී සපත්තු නිර්මාණය ගැන යම් දැනුමක් ලබාගන්නා ක්‍රිස්ටියන් එක්තරා සිඳුවීමක් ඔස්සේ තමන්ගේ අනාගතය නිර්මාණය කරගන්නවා.ඒ ගැන පසු කලෙකදී ඔහු මෙලෙසින් අදහස් බෙදාගන්නවා.

 " දවසක් මම කලාගාරයේ ඉන්නකොට කාන්තා සපත්තු නිසා කලාගාරයේ බිම පළුදු වෙලා තියෙනවා දකිනවා.අප්‍රිකානු කාන්තාවන් පලදින කාන්තා සපත්තු නිසා කලාගාරයේ පොළොවට වෙන හානිය මම විමසිලිමත්ව එදා බලනවා.කලාගාරයට මෙම කාන්තා සපත්තු පැලඳ පැමිණීම තහනම් කලත් මම කල්පනා කරනවා කාන්තා සපත්තු වලින් කාන්තාවකට ගෙනදෙන අභිමානය ගැන.ඉතින් මට එදා කාන්තාවන්ගේ මෙම අභිමානය රැකදෙන පාවහන් වෙනස්ම ආකරයකින් නිර්මාණය කිරීමට අදහසක් එනවා. එයයි මගේ ගමනේ ආරම්භය "

පුංචි කාලයේ දීම ක්‍රිස්ටියන් විසින් ඊජිප්තුවට යන අතර ඔහුගේ සැබෑ දෙමව්පියන් ගැන සොයාබැලීමට ඒ ගමන ගිය වග ඔහු සඳහන් කරනවා.පසුව ඔහු ඉන්දියාවෙත් සංචාරයක නිරතවෙනවා. ක්‍රිස්ටියන් විසින් තමන්ගේ නිර්මාණ එකතුවත් සමඟ 1981 වසරේ දී නැවතත් ප්‍රංශයට පැමිණෙනවා.ඔහු විසින් නිර්මාණය කළ සපත්තු නිර්මාණ විවිධ නිෂ්පාදකයින් හරහා නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ තරුණ ක්‍රිස්ටියන් 1991 දී තමන්ගේම සාප්පුවක් ආරම්භ කරනවා.එක්තරා දිනෙක ඔහුගේ සාප්පුවට පැමිණෙන ප්‍රසිද්ධ කාන්තාවක් ඔහුගෙන් සපත්තු මිලට ගන්නවා.ඉන්පසු ඇය විසින් පුවත්පතක මෝස්තර නිර්මාණ පිටුවකින් තරුණ ක්‍රිස්ටියන්ගේ කාන්තා පාවහන් ගැන කතා කරනවා. තරුණ ක්‍රිස්ටියන්ගේ ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂය විදියට ඒ අවස්ථාව සඳහන් වෙනවා.

" ඇය එදා මගේ සපත්තු ගැන තැබූ සටහන නිසා බොහෝ අවස්ථා මට හිමි වෙනවා. දඬබ්බරයෙක් විදියට පුංචි කාලේ ඉදන් වැඩ කරපු මට මගේ හැකියාව සහ මම මාව හඳුනාගැනීම නිසා මගේ ජීවිතය හරිමඟකට ගන්න පුළුවන් වෙනවා "

ධනවත් හා ප්‍රසිද්ධ කාන්තාවන් තරුණ ක්‍රිස්ටියන්ගේ සපත්තු නිර්මාණ වලට වහ වැටෙනවා. පැරිස් කියන්නෙම විලාසිතා ලෝකයක්.තරුණ ක්‍රිස්ටියන්ගේ නිර්මාණ මේ මෝස්තර ලෝකය තුල උණුකැවුම් වගේ විකිණෙනවා.ඔහු විසින් කාන්තාවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන මෝස්තර නිසාම පැරිස් විලාසිතා ලෝකයට ඉක්මනින්ම ඔහුගේ ගමන් මාර්ගය නිර්මාණය වෙනවා.

" දිනක් මගේ වෙලඳ සැලේ සේවිකාවක් රතු පැහැති නිය ආලේපන වලින් හැඩවෙනවා මම දකිනවා.ඇය මට අලුත් පාරක් නිර්මාණය කරනවා. අලුතින් නිර්මාණය කරපු කාන්තා පාවහනක අඩිය කොටස මම රතු පාටින් වර්ණ ගන්වනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබ වටා ඇති සියලුම සිඳුවීම් සහ අහඹු දේවල් කුතුහලයකින් තොරව නිර්මාණශීලීව හැඩගන්වන්න.එවිට කාටවත් උදුරාගත නොහැකි ඔබටම අනන්‍ය වූ නිර්මාණයක් ලෝකයට තිලිණ කිරීමට ඔබට හැකි වෙනවා."

රතු අඩිය සහිත කාන්තා පාවහන් කොතරම් ප්‍රසිද්ධ උනාද කියනවනම් විවිධ සපත්තු නිෂ්පාදකයින් ඔහුගේ නිර්මාණය විවිධ නාම යටතේ නිෂ්පාදනය කිරීමට උත්සාහ කරනවා.ක්‍රිස්ටියන් තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් අධිකරණයට ගිය අතර ඔහු ජයගන්නවා." රතු අඩිය " සහිත පාවහන් වල අයිතිය සහ අනන්‍යතාවය ඔහුට පමණක් උරුම වෙනවා. 

පසුකලෙක පිරිමි පාවහන් මෙන්ම කාන්තා නිය ආලේපන , තොල් ආලේපන සහ බෑග් යන විවිධ අංශ ඔස්සේ තම ව්‍යාපාරය පුළුල් කරගැනීමට සමත් වෙනවා.නිර්මාණකරුවෙක් ලෙස ඔහු දැවැන්තයෙක්. කාටවත් ලඟාවිය නොහැකි තරමට ඔහු විශිෂ්ටයෙක්.

නිවසින් පිටව ගොස් තමන්ගේ අනන්‍යතාවය විමසූ ඔහු අවසානයේ නතර වුනේ ලෝකයක් පිළිගත් ව්‍යවසායකයෙක් විදියට.ඔබ තුළ ඇති මුරණ්ඩුකම , අකීකරුකම ආදී මිනිස්සුන් පිළිනොගන්න ගතිගුණ ඔබට හැකි ඔබේ යහපත වෙනුවෙන් හරවගන්න. ඔබ තුළත් ඇති විශිෂ්ටයෙක්. ඒ නිමැවුම්කරු සොයාගත හැක්කේ ඔබට පමණයි. ඔබ තෝරාගත් මාවතේ ඔබේම අනන්‍යතාවයක් ගොඩනැගෙන තුරු ඇවිදින්න.හතිවැටෙන තුරු දුවන්න.නැවතී ආපිටම හැරී බලනවිට සත්තයි ඔබට හැකි ඔබ නිර්මාණය කල මාවත ගැන ආඩම්බර වීමට.නිහතමානීව ආඩම්බර වීමට.

ඔබට සහ ඔබ තුළ සැඟව ඇති නිමැවුම්කරුට සුබ පැතුම්.සොයන්න.ඔබටත් හැකි දිනෙක විශිෂ්ටයෙක් වන්න.

Top