කැඩපත... කැඩපත, කියන්න මට. මං ලස්සනයි නේද? (524)

post-title

තමන්ට වටිනාකමක් නොලැබෙන තැනක ජීවත් වෙනවා කියන්නේ හරියට කුලියට ඉන්න ගෙදරක වාරිකය ගෙවන්නේ නැතුව ජීවත් වෙනවා වගේ දෙයක්. අපිට අයිතියක් ඇත්තෙත් නෑ ඒත් යන්න තැනක් නැතිවට ඕනි දෙයක් අහගෙන වැටිලා ඉන්නවා වගේ. හැබැයි එක දෙයක්, වැඩි කාලයක් ඒ වගේ තැනක ඉන්න නම් ලැබෙන්නේ නැහැ.. එක්කෝ ඔබට කැමැත්තෙන් අයින් වෙන්න වෙනවා, එහෙමත් නැත්නම් අයින් කළාට පස්සේ එළියට බහින්න වෙනවා. 

ඉතින් හැමෝටම කලින්, හැමද්ටම කලින් තමන්ට ආදරේ කරන්න පටන් ගන්න, තමන්ගේ වටිනාකම හදුන ගෙන ජීවත් වෙන්න පටන් ගන්න ඉගෙන ගන්න අද අපි පොඩි වෙලාවක් වෙන් කරමු.

ඔබ ඇත්තටම ඔබට ආදරෙයි ද? ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නත් ටික වෙලාවක් ගන්න වෙනවා නේද? ඔව් ඔබට ඒ ගැන ටිකක් හිතන්න වෙනවා. මොකද ඒ පිළිබඳව සමහරවිට මීට පෙර ඔබ නිකමටවත් හිතලා නැති නිසා. ඒකට හේතුවත් මම ම කියන්නම්. අපි නිතරම හිතන්නේ අපි තව කෙනෙක් වෙනුවෙන් කරන ආදරේ ගැන. ඒ වගේම අපි තව කෙනෙක්ගෙන් පෙරලා අපස්සට අපිට ලැබෙන්න ඕනියි කියලා බලාපොරොත්තු වන ආදෙරේ ගැනම විතරයි. ඉතින් ඒ දේවල් ගැන හිතනකොට අපිට හිතෙනවා ආදරේ කියන දේ අපිට පිටින් ලැබෙන්න ඕනි දෙයක් මිස අපි වෙනුවෙන් අපි ගොඩ නගා ගත යුතු දෙයක් නොවෙයි කියලා. ඉතින් ඇත්තටම ඒක එහෙම ද? නෑ. ඔබට ආදරේ කරන තරමට තමයි ඔබට තව කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ. ඔබ ඔබ ගැන හිතන කරමට තමයි ඔබට තව කෙනෙක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ. 

මිනිස්සු කියන්නේ ඉපදුණු දවසේ ඉඳන් මැරෙන මොහොත වෙනකන්ම බැඳීම් නිසා, බැඳීම් මත ජීවත් වෙන කොට්ඨාසයක්. ඉතින් අපි හැමවෙලාවකම හිතන්නේ අපිට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ තව කෙනෙක් අපිට ඒ සතුට දුන්නොත් විතරයි කියලා. අපිට ආදරණීය වෙන්න පුළුවන් වෙන්නේ තව කෙනෙක් අපිට ආදරේ ලබා දුන්නොතින් විතරයි කියලා. ඉතින් ඊළඟට අපි මොකද කරන්නේ? අපි හිතින් මවාගන්නවා අපිට සතුට ගේන්න පුළුවන් කෙනෙක්ගේ රූපයක් එහෙමත් නැත්නම් ඒ කෙනා ළඟ තියෙන්න ඕනි ගතිගුණ කිහිපයක්, හැසිරීම් කන්දරාවක්. ඉතින් අපි අපිට මුණ ගැහෙණ කෙනාව ඒ අපේ හිතේ මැවිලා තියෙන අච්චුවට කාලයක් තිස්සේ ගළපනවා. අමාරුවෙන් ගළපලා ගළපලා අපිට ඕනි ආදරේ, ඒ සතුට ගේන්න පුළුවන් මට්ටමකට ආවට පස්සේ අපි හරි සතුටින් ඉන්නවා, අපි හැමෝටම වඩා හරිම ආදරණීයව ජීවත් වෙනවා කියලා හරිම ලස්සනට අපි අපිවම රවට්ට ගන්නවා. ඊට පස්සේ අපි එයාලව ලේබල් කරනවා. මේ කෙනා තමයි මට ආදරේ කරන්නේ, මෙයා හින්දා තමයි මං සතුටින් ජීවත් වෙන්නේ කියලා. ඒත් ඒක හරියට අපේ ආසාවට ගේම් ගහන්න දීපු අපිට කිසිම අයිතියක් නැති ෆෝන් එකක් වගේ. අයිතිකාරයට අවශ්‍යතාවයක් ආව ගමන්ම අපි ගේම් එකේ කොචචර දුරකට චක්හ කරලා හිටියත් එයාට ඕනි වෙලාවට ඒක අපෙන් අරගෙන යනවා. ඉතින් අපි එච්චර කාලයක් ජීවත් වුණු ලෝකෙම අපිට නැති වුණා වගේ දැනෙන්න ගන්නවා. මුළු ලෝකයක්ම හති නොබලා දුවනකොට ඔබ විතරක් එක තැන නතර වෙලා වගේ දැනෙන්න ගන්නවා. ඒත් එක්කම කියාගන්නත් බැරි උහුළගෙන ඉන්නත් බැරි තරම් වේදනාවක් සැරින් සැරේට හිත ඇතුළෙන් ඇවිළෙන්නට පටන් ගන්නවා. මොකද අපි ගොඩක් ලස්සනට ගේ හදලා තිබුණට වැඩක් නැහැ. ගේ හදලා තියෙන්නේ අනුන්ගේ ඉඩමක නම්.

ඉතින් හැමදේටම කලින්, හැමෝටම කලින් ඔබ හිතන්න ඕනි ඔබ ගැනයි. ඔබ අභිමානයක් ඇති කර ගන්න ඕනි ඔබ ගැනමයි. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න ඔබ මොන තරම් නම් ලස්සනද? මොන තරම් නම් සුන්දරද කියලා. ඔබට කරන්න පුළුවන් ඒත් තාම කරන්න හිතලාවත් නැති දේවල් කොයි තරම් නම් තියෙනවද කියලා. ඒ දේවල් වලින් ඔබට යන්න පුළුවන් දුර කොයිතරම් ද කියලා. නැති වෙන හැමදෙයක් නැති වෙන්නේ ඔබට ලැබෙන්න තියෙන හොඳම දේ ලැබෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි නිසා. 

ලෝක ප්‍රකට හොලිවුඩ් නළු විල් ස්මිත් එක තැනකදි කියනවා ඇගේ බිරිඳ ජේඩාගේ සතුට ගැන මුලින්ම වග කියන්නේ මම නෙවෙයි. ඇයයි මුලින්ම ඇගේ සතුට ගැන වග කියන්නේ. මොකද ඒ ඇය කාටත් කලින් ඇයට ආදරේ කරන නිසා. මගේ සතුට ගැනත් මුලින්ම වග කියන්න ඕනි මමයි. මොකද ඒ කාටත් කළින් මං මට ආදරේ කරන නිසා. ඉතින් මම මට ආදරෙයි. ඒ නිසා මම සතුටින්. ඇය ඇයට ආදරෙයි. ඒ නිසා ඇය සතුටින්. ඉතින් ඒ ආදරේටයි, ඒ සතුටටයි බාධාවක් කරන්න මේ ලෝකෙ කාටවත් ම බැහැ කියලා. 

ඉතින් ඔබ ඔබට ආදරේ කරන තරමට ඔබේ සතුට කොයිතරම් ද කියලා ඔබම තීරණය කරයි. ඒක නිසා තමයි මේ ලෝකෙ තියෙන දීර්ඝතම බැඳීමත් ඒ බැඳීමම වෙන්නේ මොකද ඔබ මේ ලෝකෙන් සමු ගන්න මොහොත වෙන්කන්ම ඔබ ඔබත් සමගම ඉන්න නිසා.

ඉතින් විඳවන ජීවිතයෙන් එහා තියෙන විඳින්නට පුළුවන් ජීවිතයට අළුත් වෙනසක් සමගින් ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු

Top