තවත් පුද්ගලයකුට නොරිදවා නොරිද වී ජීවත් වෙන්නේ මෙහෙමයි! (512)

post-title

යහපත් මිනිසෙකු ලෙස ජීවත්වීම අසීරු කාර්යයක් ද? නැත. එය ඔබ සිතන තරම් අසීරු කාර්යයක් නොවේ. අප යහපත් මිනිසෙකු බවට පත් විය යුත්තේ ලෝකයට පෙන්වීමට පමණ ද? බොහෝ මිනිසුන් ඔවුන් යහපත් පුද්ගලයින් බව ලෝකයට පෙන්වීමට නොකරන දෙයක් නැහැ. ඔවුන් ඉන් බලාපොරොත්තු වෙන්නෙත් කීර්තිය, ඇගයීම හා පැසසුමක් ලබා ගැනීමයි. අප යහපත් පුද්ගලයෙකු බවට පත් විය යුත්තේ එවැනි හේතු කාරණා නිසා පමණ ද?

සැබවින්ම ඔබ යපහත් සිත් ඇත්තෙකු නම් එය අමුතුවෙන් ලෝකයාට පෙන්වීමට, ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එය ඔබ පමණක් දැන සිටීමත් ප්‍රමාණවත්. යහපත් ලෙස ජීවත් වෙන පුද්ගලයකුට නිතැතින්ම සමාජය ගරු කරනවා. අගයනවා. ආදරය කරනවා. එවැනි මිනිසෙකුට ඉහත සඳහන් කාරණා බලෙන්ම තවකෙකුගෙන් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එය ස්වභාවයෙන්ම හිමි වෙනවා.

යහපත් මිනිසෙකු ලෙස ජිවත්වන්නේ කෙසේ ද?

එය ඉතාමත් සරලයි. ඔබ කළ යුත්තේ තමා උපමා කොටගෙන යහපත් ලෙස ජිවත් වීම පමණයි.

එසේ කරන්නේ කෙසේ දැයි ඔබ අසාවි. සිතන්න යම් පුද්ගලයෙක් ඔබට දරුණු ලෙස බැන වදිනවා. අපහාස කරනවා. එවිට එහි වේදනාව කෙතරම් කටුක දැයි ඔබ දන්නවා. ඔබ එම වේදනාවෙන් පීඩා විඳිනවා. එසේනම් ඔබත් එසේම තවත් පුද්ගලයකුට නිකරුණේ නින්දා, අපහාස කරන්න එපා. ඔබ එහි වේදනාව හොඳින්ම දන්නා නිසා තවත් පුද්ගලයකුට එම වේදනාව නොදී ඔබට ජීවත්වීමට හැකියි. 

ඔබ බොහෝ ආදරය කළ, විශ්වාස කළ පුද්ගලයකු ඔබව රවටනවා යැයි සිතන්න. එවිට ඔබ විඳි වේදනාව ඔබ අත්දැකීමෙන් දන්නේ නම් ඔබත් තවත් පුද්ගලයකුට එසේ වේදනාවක් ලබා දීමට සිතන්නේවත් නැහැ. ඔබට කවුරුන් හෝ වෛර කරන්නේ නම් ඉන් අත් විඳි වේදනාව ඔබ දන්නවා. එවිට ඔබ තවත් කෙනෙකුට වෛර කරනවා වෙනුවට සමාව දීමට පුරුදු වේවි. යම් පුද්ගලයෙක් ඔබෙන් බොහෝ උපකාර, වාසි ලබාගෙන ඔබටම ද්‍රෝහීකම් කරන අවස්ථා ඔබ කොතෙකුත් විඳ ඇති. එහි වේදනාව ඔබ දන්නේ නම් ඔබට සුළුවෙන් හෝ උපකාර කළ මිනිසුන්ව කිසිම දිනෙක අමතක කරන්න එපා. ඔවුන්ට ද්‍රෝහී වෙන්නත් එපා. 

ඔබ සතු දෙයක් කවුරුන් හෝ සොරා ගත් විට ඔබට කෙතරම් නම් වේදනාවක් දැනෙනවා ද? ඔබ එය හොඳින්ම දන්නා නිසා තවත් කෙනෙකුගේ දෙයක් කවදාවත් සොරකම් කරන්න එපා. නැති බැරි අමාරු අවස්ථාවක දී දැනෙන පීඩනය කෙතරම් දැයි ඔබ අත් විඳ තිබෙනවා නම් නැති බැරි කෙනෙකුට ඔබට හැකි පමණින් උපකාර කිරීමට ඔබට පුළුවන්. හදිසි උපකාරයක් අවශ්‍යම වූ විට කිසිවෙක් නොවූ විට දැනෙන අසරණකම ඔබ දන්නවා නම් තවත් කෙනෙකුට හැකි පමණින් උපකාර කරන්න කිසිම විටෙක පසුබට වෙන්න එපා.

ඔබ කවුද, කිනම් පුද්ගලයෙක් දැයි නොදැන පුද්ගලයින් ඔබව විනිශ්චය කිරීමේදී දැනුන කටුක වේදනාව ඔබ අත්දැකීමෙන් දන්නවා නම් කිසිම දිනෙක සත්‍යය හරි හැටි නොදැන තවත් පුද්ගලයකු විනිශ්චය කිරීමට යන්න එපා. ජීවත්වීමට නිවසක්, කුසගින්න නිවා ගැනීමට ආහාර නොමැතිව ඔබට මහමඟ රැදී සිටීමට සිදු වුනොත් ඔබට කෙතරම් නම් අසරණකමක් වේදනාවක් දැනේවි ද? එසේනම් එසේ අසරණව මහමඟ සිටින තිරිසන් සතුන් දුටු විට එළවා දමනවා වෙනුවට ජලය බිඳක් හෝ දෙන්නට තරම් කාරුණික වන්න ඔබට පුළුවන්.

මිනිසුන් ඔබට කෙතරම් කටුක ලෙස සැළකුවත් කමක් නැහැ. ඔබත් පෙරළා ඔවුන්ට එසේ සැළකිය යුතු නැහැ. ඔබ මෙන්ම වූ තවත් කෙනෙකුට ඔබ විඳි වේදනාවන් එලෙසින්ම නොදී සිටීමට ඔබට හැකියි. යහපත් මිනිසෙකු වීමට, යහපත් මිනිසෙකු ලෙස ජීවත්වීමට ඔබ මහ විශාල දේවල් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. හැකි සෑම විටම තමා උපමා කොටගෙන යහපත් පුද්ගලයකු වීමට උත්සාහ කරන්න. තවත් පුද්ගලයකුට නොරිදවා, නොරිද වී ජීවත්වෙන්න ඉගෙන ගන්න! එවිට ඔබට සැබවින්ම යහපත් පුද්ගලයෙකු ලෙස ජීවත් විය හැකියි!

Top