සාර්ථක මිනිසෙකු බිහි වීමට එම පුද්ගලයා සතුව පවතින ස්වාධීනබවද එක් හේතුවක් වෙනවා. පුද්ගලයකු ස්වාධීන වන තරමට ඔහුගෙන් බිහිවන නිර්මාණයන් ද ස්වාධීන විශිෂ්ට නිර්මාණයන් බවට පත් වෙනවා. තවත් පුද්ගලයෙකු හෝ එම පුද්ගලයින්ගේ නිර්මාණයක් අනුකරණය කිරීමට යාමෙන් ඔබේ ස්වාධීනබව අහිමිවෙනවා. සැබවින්ම අපිට සම්පුර්ණයෙන්ම තවත් පුද්ගලයකු අනුකරණය කිරීමට නොහැකියි. ඒ එක් එක් පුද්ගලයින්ට විශේෂ වූ ගුණාංගයන්, හැකියාවන් හා දක්ෂතාවයන් පවතින නිසායි.
හැකි සෑමවිටම අපටම විශේෂ වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට වෙහෙස විය යුතු යි. ඔබව, ඔබේ චරිතය, ඔබේ ගතිගුණ, ඔබේ දක්ෂතා ඔපනංවන ඔබටම විශේෂ වූ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඔබ තවත් පුද්ගලයෙක් හෝ එම පුද්ගලයෙකුගේ නිර්මාණයක් අනුකරණය කිරීමට උත්සාහ කරන සෑමවිටම ඔබ තව තවත් අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා.
“කොපි කළ හැක. සම කළ නොහැක”
මෙය සමාජයේ බොහෝ විට දැකගත හැකි දෙයක් සුලබ වදනක්. සාර්ථකව තමාටම අනන්‍ය වූ චරිතයක් ගොඩනඟා ගත් පුද්ගලයින් හෝ ඔවුන්ගේ නිර්මාණයක් ඉක්මණින් අනුකරණය කිරීමට බොහොමයක් පිරිස මඟ බලාගෙන සිටිනවා. වෙනත් පුද්ගලයකුගේ නිර්මාණයක් තමාගේ නිර්මාණයක් ලෙස සමාජයට යොමු කරන පුද්ගලයින් කෙතරම් නම් සිටිනවා ද? එසේ තවකෙකුගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් භාවිතා කරමින් තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට කටයුතු කිරීම ඔබ එම පුද්ගලයාට කරන බලවත් අසාධාරණයක් වෙනවා. ඊටත් වඩා එය ඔබ ඔබටම කරගන්නා විශාල රැවටීමක් වෙනවා.
“අරයා මෙහෙමයි; මමත් ඒ වගේම වෙන්න ඕනේ”
“එයා එහෙම කළා නම් මමත් එහෙම නොකර ඉන්නේ ඇයි? මමත් ඒ දේම කරන්න ඕනේ”
“ෂා! එයාට ඒ ඇඳුම හරිම ලස්සනයි. මාත් ඒ වගේම ඇඳුමක් ගන්න ඕනේ”
“එයා නවකතාවක් ලියලා. මාත් ඒ විදියෙම නවකතාවක් ලියන්න ඕනේ”
එයා මෙහෙමයි, මෙයා මෙහෙමයි යනුවෙන් පවසමින් එක් එක් පුද්ගලයින් කරන කියන සෑම දෙයක්ම ඔබ අනුකරණය කිරීමට උත්සාහ ගන්නවා ද? එසේනම් ටික කාලයක් යන විට ඔබට ඔබවම අමතක වීමට පටන් ගනිවි. ඔබට ඔබව මඟ හැරේවි. ඔබේ ගුණාංගයන්, හැකියාවන්, දක්ෂතාවයන්, ආශාවන්, බලාපොරොත්තු එකින් එක ඔබට අමතක වේවි. ඒ ඔබ, ඔබව අමතක කර තවත් පුද්ගලයෙක් බවට පත්වීමට නිරන්තරයෙන් උත්සාහ කරන නිසා යි. ඉතින් ඔබට ඔබව මඟ හැරී යාම පුදුමයක් නෙමෙයි.
මෙම කරුණ උදාහරණයක් මඟින් පහත පරිදි පැහැදිළි කර ගත හැකියි. ඔබ ඇඳුමක් මිලදී ගැනීමට රෙදි සාප්පුවකට ගියා යැයි සිතන්න. එවිට එයට පැමිණි තවත් පුද්ගලයෙක් යම් ඇඳුමක් ඇද හැඩ බලා එය මිලදී ගන්නවා. එම ඇඳුමට එම පුද්ගලයාගේ සුන්දරත්වය දුටු ඔබටත් එය අවශ්‍ය වෙනවා. එවිට ඔබ එය මිලදී ගන්නවා. නමුත් මෙහිදී තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තවත් අයෙකුට ගැළපෙන ඇඳුමක් ඔබට ඒ ලෙසටම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. මක් නිසාද යත් ඒ ඔබ නොවන නිසා. ඔබේ සුන්දරත්වය හා එම පුද්ගලයාගේ සුන්දරත්වය එක හා සමාන නොවන නිසා. ඔබේ පෙනුමට, ඔබේ ගතිගුණවලට ගැළපෙන ඇඳුම් තෝරා ගත හැක්කේ ඔබ ඔබම වී සිතුවොත් පමණයි.
අනුකරණය කිරීම තුළින් කිසිම විටෙක සාර්ථක මිනිසෙක් හෝ නිර්මාණයක් බිහි වන්නේ නැහැ. එයින් සිදුවන්නේ ඔබේ පවතින දක්ෂතා හෝ හැකියාවන් තවත් විනාශ වීම පමණයි. කිසිම විටෙක ස්වාධීන මිනිසෙක් වීමට බය වෙන්න එපා! ඔබ ස්වාධීන මිනිසෙක් වූ විට මිනිසුන් ඔබව ප්‍රතික්ෂේප කරාවි හෝ මිනිසුන් ඔබට සිනා වේවී යැයි සිතන්න එපා. ඒ සඳහා ඔබ පළමුවෙන්ම ඔබේ සිතුවිලි ස්වාධීන කර ගත යුතු වෙනවා. ස්වාධීන පුද්ගලයකු වූ විට ඔබ සතු ගුණාංග, හැකියාවන් හා දක්ෂතා ඔබම හඳුනා ගන්නවා. ඔබ ඔබව තේරුම් ගන්නවා. ඔබට අවශ්‍ය දේ කුමක් ද, ඔබ කැමති දේවල් මොනවාද යන්න ඔබම හඳුනා ගන්නවා. එවිට ඔබටම විශේෂ වූ ස්වතන්ත්‍ර නිර්මාණ ඔබ තුළින් බිහි වීමට පටන් ගන්නවා.
එවිට ටිකෙන් ටික ඔබේ අඩුපාඩු, වැරදීම් ඔබ නිවැරදි කරගැනීමට පටන් ගන්නවා. ඔබම ඔබව ශක්තිමත් කර ගන්නවා. ඒ සියල්ලටම වඩා ස්වාධීන පුද්ගලයකු බවට පත් වීමෙන් පසු ඔබට විශාල ආත්ම තෘප්තියක් දැනේවී. ඔබ වෙහෙස වී ගොඩනඟා ගත් ඔබේ ප්‍රතිරූපය, ඔබේ ස්වතන්ත්‍ර නිර්මාණ ගැන ඔබටම නිහතමානී ආඩම්බරයක් දැනේවි. තවත් කෙනෙකු කරන පළියට ඔබත් ඒ දේම කළ යුතු නැහැ. ඔබටම විශේෂ වූ ආශාවන්, බලාපොරොත්තු තිබෙනවා. ඒ දේවල් හොඳින් හඳුනා ගන්න. එවිට වඩාත් හොඳ ආත්ම තෘප්තියකින් ජීවත් වීමට ඔබට හැකි වේවි...!
“ඔබ, ඔබම වී සිතන්න! ඔබ, ඔබම වී ජිවත් වෙන්න!”