අහිමි දේ ගැන සිතා දුක් නොවී ලද දෙයින් ලෝකය දිනූ ගැහැනිය - ජෙසිකා කොක්ස් (312)

post-title

දෑත් සහිතව ඉපදුණා නම් මගේ ජීවිතය මීට වැඩිය වෙනස් වෙන්නට ඉඩ තිබුණා.

-ජෙසිකා කොක්ස්

ඇතැම් දේවල් නැතිවීමෙන් ඒ දේවල් ඇති වීමට වඩා දුරක් ජීවිතේ අපිට යන්න පුළුවන්. ඒත් ගොඩක් වෙලාවට ජීවිතේ අපිට ලැබුණ දේවල් වලට වඩා අපි විශේෂයෙන් ම දකින්නට පුරුදු වෙලා තියෙන්නේ අපිට නොලැබෙන දේවල්. ඒ වගේමයි අපි කරන යම් දෙයකින් කෙදිනක හෝ අසාර්ථකත්වයකට, පරාජයකට ලක් වෙන්නට අපිට සිද්ධ වුණෝතින් එදාට අපිට හැමතැනම පේන්නට ගන්නේ අපි වටා තියෙන නොලැබීම්, නුසුදුසුකම් විතරමයි. ඉතින් ඒ අපේ මනස හැදිලා තියෙන විදිහ වගේම අපි මනසට පුරුදු කරලා තියෙන විදිහ. මොන තරම් කොයි දේ අපිට ලැබිලා තිබුණත් තියෙන දේවල් වලින් සෑහීමකට පත් වෙන්නේ නැහැ වගේම ඕනම දෙයකට කැමැත්තක් වටිනාකමක් අපිට දැනෙන්නට ගන්නේ ඒ දේවල් අපි ලබා ගන්න තෙක් විතරයි. ඊට පස්සේ ඒ ලැබෙන හැමදෙයකටම තියෙන කැමැත්ත වටිනාකම නිකන්ම අවතක්සේරු වෙලා යනවා. හැබැයි ඊට පස්සේ ආයිත් දවසක අපිට කලින් ඒ දේවල්වලට තිබුණටත් වඩා කැමැත්තක් වටිනාකමක් දැනෙන්නට ගන්නවා. ඒ... ඒ දේවල් අපිට නැති වුණ දවසට. 

ඉතින් මෙන්න මේ වගේ ඉපදුණ දවසේ ඉඳන් අපි මේ ලෝකෙන් අවසන් හුස්ම හෙළන දවස වෙනකන්ම දේවල් ලබා ගන්න, තව දේවල් අයිති කර ගන්න සීමා මායිම් නැති තරඟයක අපි හැමෝම දුවනවා. තව ටිකක් තිබුණොතින් හොඳයි කියලා හිතෙන දේවල් පස්සේ හති වැටෙනකන් දුවනවා. මොකද යම් දෙයක නොලැබීමක අත්දැකීමක් කියලා කියන්නේ අපි නිතරම ප්‍රතික්ෂේප කරන දෙයක් නිසා. හැබැයි ඒ දේ අපි කොතරම් අකමැති, ප්‍රතික්ෂේපිත දෙයක් වුණත් සමහර දේවල් තියෙනවා අපි මේ ලෝකෙට ඉපදෙනකොටම අපිට හිමිවෙලා තියෙන වගේම අපිට අහිමි වෙලා තියෙන. ඉතින් ඒ හිමිවෙලා තියෙන දේවල් වලින් මේ ජීවිත කාලය තුළදී පුළුවන් උපරිම ප්‍රයෝජනයක් ගන්න වගේම උපතින්ම අහිමි වුණු දේවල් වලිනුත් බොහෝ දේවල් හිමි කරගන්න පුළුවන් පාරක් හදා ගන්න හැමෝටම පුළුවන් කමක් නම් නැහැ. ඒකට හේතුව යම් නොලැබීමක් සාධාරණීකරණය කරන්න පුළුවන් හොඳම ආයුධය තමයි කෙනෙක් සතුව තියෙන අහිමිවීම් ප්‍රමාණය. හැබැයි මේ ලෝකෙට කෙනෙක් උත්පත්තිය ලබනකොටම අංගසම්පූර්ණභාවයකින් තොරව නොයෙක් අඩුපාඩුකම් එහෙමත් නැත්නම් මනුස්සයෙක් විදිහට මේ ලෝකෙ ජීවත් වෙන්න අවැසිම දේවල් නොමැතිව බිහිවුණත් සියල්ල සපිරි කෙනෙකුටත් වඩා දුරක් ගිය පුද්ගලයින් ඕනෑ තරම් අද්‍යතනයේදී අපට අහන්නට දකින්නට තරම් හෝ අපිත් වාසනාවන්ත වෙලා තියෙනවා. 

ඉතින් ඒ වගේ දෑත් අහිමිව මේ ලෝකෙට ඉපදුණු ඇයත් නමින් ජෙසිකා කොක්ස් ය. ජෙසිකා උපත ලබන්නේ 1983 පෙබරවාරි මස 02 වන දින ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේදීයි. එහෙත් ඇය මෙලොවට ඉපදෙන්නේ නම් සාමාන්‍ය දැරියක් විදිහට නෙවෙයි. ඇය ඉපදෙන්නේ දෑත් අහිමි දැරියක් ලෙසටයි. ඉතින් ඇය ඉපදෙනකොටම දෙඅත් අහිමිව උපත ලද දැරියක් බැව් දැනගත් ඇගේ මා පියන් මේ හේතුවෙන් බොහෝසෙයින් ම කනස්සල්ලට පත් වුණා. එහෙත් ඔවුන් කිසිම විටෙක ඒ බව ජෙසිකාට ඇඟවීමට නොදී වග බලා ගන්නට උත්සහ කළා. කුඩා කාලයේදී මේ පුංචි ජෙසිකාට ඇගේ මේ ශාරීරික අඩුපාඩුවට මුහුණ දෙන එක බොහොමත්ම අසීරු කර්තව්‍යයක් වුණා. නිතර පැන නඟින කෝපය, නොරිස්සුම් සහගත ස්වභාවය ආදිය නිසා ඇය තරමක් ආවේගශීලී හැසිරීමකට උරුමකම් කියන්නට වුණා. ඇගේ වයසේ සිටින අනිත් දරුවන් තමන්ගේ අත් පා වලින් තමන්ට හැකි අයුරින් වැඩපල කරගන්නට තැත් කරද්දී ඇයට ඔවුන් හා ගැටෙන්නට වූයේ ඇයට හිමි වී තිබූ පාද දෙකෙන් පමණයි. ඉතින් ජෙසිකා හට ඇගේ උපතේ පටන්ම මිනිස්සුන්ගෙන් ලැබෙන දෙයක් තිබුණා. ඒ අනුකම්පාවයි. දෑත් අහිමි දරුවෙක් ලෙස සියල්ලන්ගෙන්ම ඇයට අනුකම්පාව හිමිවෙන්නට පටන් ගත්තා. එහෙත් ඇය එයට කිසිසේත්ම කැමති වුණු දෙයක් නම් නෙවෙයි. කාලයක් ගත මේ විදිහට ගත වෙද්දී දැනුම් තේරුම් ඇති වයසකට ඇය පැමිණෙන විට තමන්ගේ මේ අහිමිවීම් තුළින් අන් අයටද හිමි කරගත නොහැකි බොහෝ දෑ හිමි කරගන්නට ඇයට අවැසි වුණා. නෑ - බෑ කියන වචන හමුවේ තමන්ගේ ලැබීම් පවා නොලැබීම් වන්නට ඉඩ ඇති බවත් එමගින් තමන්ගේ දක්ෂතා හකුළුවා තබන්නට හැකි වන බවත් වටහා ගත් ඇය තමන් විසින්ම ස්වයං අභිප්‍රේරණය වන්නට පුරුදු වුණා. පසුව ආබාධිත පුද්ගලයන් සමග ගණුදෙනු කළ ඇය තමන්ට ඉදිරියට කරන්නට බොහොමයක් වැඩ තිබෙන බව සහ තමාට ඒවා කළ හැකි බව ඇය අවබෝධ කර ගත්තා. පසුව මේ විදිහට වෙනස් වුණු ජෙසිකා කියන්නේ දෑත් අහිමි වීම පිළිබඳව ඇයට කිසිදිනක කම්පාවක් නොතිබුණු බවයි. ඒ වගේම කෘතිම අත් භාවිතය ද ඇය තදින්ම ප්‍රතික්ෂේප කරන්නට වුණා. ඒ වගේම තුඩා කල සිටම ඇගේ දෙමව්පියන් ඇයව සාමාන්‍ය පාසලක් වෙත ඇතුළත් කිරීමටද තීරණය කරන්නේ ඇයට ඇති ආබාධිත තත්වය විශේෂයක් කොට සැලකීමට ඔවුන්ට අවශ්‍ය නොවූ නිසයි. අධ්‍යාපන කටයුතුවලට ජෙසිකා කුඩා කල සිටම බොහෝ කැමැත්තක් දැක් වූ අතරම ඇය එකී කටයුතුවලදී බොහොමත්ම දක්ෂ දරුවෙක් ද වුණා. ඇයට කුඩා කල සිටම තිබූ පුරුද්දක් වූයේ ඇයට කුමක් හෝ දෙයක් සඳහා හැකියාවක් ඇති බව ඇයට වැටහුණහොත් එකී හැකියාවන් තව තවත් දියුණු කර ගැනීමට ඇය බෙහෙවින්ම උත්සහ කිරීමයි. ඒ අනුව යමින් ඇය කුඩා වියේ පටන් ම ජිම්නාස්ටික් ශූරියක්, පිහිනුම් ශූරියක්, තයිකොන්ඩෝ කළු පටිධාරිනියක් බවටද පත් වන්නට ඇයට හැකි වන්නේ ඇය සතු වූ අසීමිත චිත්ත ධෛර්ය වගේම ඇයගේ අඩුපාඩුකම් හමුවේ ඇයට කළ නොහැක්කක් නොමැත යන අධිෂ්ඨානය මත ඇය ක්‍රියා කළ නිසයි.

ඉතින් දෙඅත් නොමැතිව කෙනෙකුට මේ තාක් දේවල් කරනවා තබා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු පවා සිදු කරගැනීම බොහොමත්ම අසීරු කර්තව්‍යයක් බව ඕනෑම කෙනෙකුට ක්ෂණයකින් පසක් වන දෙයක්. ඒත් ජෙසිකා මේ දේවල් වලට විතරක් සීමා වුණු කෙනෙක් නෙවෙයි. ඇය ඇගේ එදිනෙදා වැඩ කටයුතු අතර ඉතා සියුම් දේ පටන් ඇයට කළ හැකි උපරිමය දක්වාම ඇය තනිවම කරගන්නට යොමු වුණා. ඇගේ ඇස් වලට දමන කාච මාරු කිරීම, සපත්තුවේ ලේස් ගැට ගැසීම, වගේ ඉතාමත් සියුම් දේ ද ඇය තනිවම කර ගන්නට තරම් ශක්තිමත් වුණා. ඒ වගේම ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් වෙන්වුණු වාහන නෙවෙයි සාමාන්‍ය වාහන පදවන්නට, දිය මත ලිස්සා යන්නටත් ඇයට හැකි වුණා. ජෙසිකා හැමවෙලාවකම උත්සහ කළේ සියල්ලන් සහිතව උපත ලද මිනිසුන්ව අභිබවා යන්නටයි. ඉතින් ඒ විදිහටම ඇය මනෝ විද්‍යාව පිළිබඳව උපාධියක් ද ලබා ගන්නවා. ඒත් එක්කම ස්වයං අභිප්‍රේරණය දිනෙන් දින ප්‍රගුණ කළ ඇය පුද්ගල අභිප්‍රෙරණය උදෙසා අභිප්‍රේරකවරියක් ලෙසටද කටයුතු කරන්නට යොමු වෙනවා. 

ඉතින් ඇය එතනින් නවර වෙනවාද? නැහැ.

ලොව ප්‍රථම දෑත් අහිමි බලපත්‍රලාභී ගුවන් නියමුවරිය වෙන්නටත් ඇයට හැකියාවක් ලැබෙන්නේ පාද වලින් පියාසර කළ හැකි කාන්තාවක් ලෙසට ඇය ඉතිහාසගත වෙමිනුයි.

ඉතින් මේ විදිහට මුළු ලෝකයක්ම ඇගේ හැකියාවන් ඉදිරියේ ගැස්මකට පත් කරන්නට පුළුවන් කමක් ලැබුණු ඇය මුළු ලෝකයටම හඩ නගා පවසන්නේ මෙවන් කතාවක්,

 ‘’මම මට බැහැයි කියලා කියන එකට වෛර කරපු කෙනෙක්. කවුරුවත් මට බැහැයි කියලා කියනවට මම කැමති වුණේ නැහැ. එක කකුලක ඉඳි කටුවක් රඳවාගෙන අනෙක් කකුලෙන් ඒකෙ නූල දාන්න මට පුළුවන් වුණේ මට වයස අවුරුදු 03දී. වයස අවුරුදු 05දී දෙඅත් නැතුව මට පිහිනුම් තටාකයට පනින්නට පුළුවන් වුණා. ඉතින් මේ හැම දේකින්ම මම මට පුරුදු කළේ ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න විදිහයි. ඉතින් කෙනෙක්ට තියෙන දේ තව කෙනෙක්ට නැහැ. හැබැයි අපි අපිට නැති දේ ගැන හිතමින් කළ හැකි දේ අත් හළ යුතු නැහැ.

ඉතින් ඔබටත් ඔබේ ජීවිතයේ තවත් ඉදිරියට පියවරක් තියන්නට ඔබ සතුව දැන් තිබෙන දේවල් ප්‍රමාණවත් මදියි කියලා හිතෙනව ද? එහෙමත් නැත්නම් ඔබට ලැබිලා තියෙන දේවල් වලින් ඔබට තව ඉදිරියට යන්න පුළුවන් වෙන දුර සීමිතයි කියලා හිතෙනවද? එහෙම නම් ඔබ මොහොතකට මං මේ කිව්ව කතාව, ජෙසිකාගේ කතාව මතක් කරලා බලන්න. එවිට ඔබට යන්නට පුළුවන් දුරට සීමා මායිම් නෑ කියලා ඔබටම තේරුම් ගන්නට පුළුවන් වෙයි.

එහෙමනම් ලබන සතියේදීත් අළුත් හුස්මකට ඉඩක් අරගෙන අපි නැවත හමුවෙමු සියල්ල හමුවේ ලැබීම් විතරක් තියෙන ජීවිතයක් හොයන්නට නෙවෙයි, නොලැබීම් හමුවේ ලැබීම් හොයන්නට පුළුවන් ජීවිතයක් හොයන්නට.

Top