ඔබට ඔබ වෙන්න පුළුවන්ද ? (755)

post-title

මේක ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන සුවිශේෂි ගැටළුවක්. අපිට අනුන් වෙන්න හරිම ලේසියි. අනුන් වගේ ඉන්න, අනුන් වගේ අඳින්න, අනුන්ව කොපි කරන්න පහසුයි. හැබැයි තමන් වෙන්න ගියාම ඒක ලොකු අභියෝගයක් වෙනවා. හුඟක් අය කැමති අනිත් අය කරන කරන දේ කරන්න. එයින් ඔවුන් අසීමිත විදියට වෙහෙසට පත්වුණත් ඒක ඇබ්බැහියක් වගේ දිගින් දිගටම කරගෙන යන්න හිතෙනවා. අන්න ඒකයි බුදුන් වහන්සේ කියන්නේ... 

“මහණෙනි සැබෑ ජයග්‍රහණය නම් තමා විසින් තමාව දිනාගැනීමයි”

අපිට අනිත් අයව දිනාගන්න පහසුයි. නමුත් තමන්ට තමන්ව තමන් විදියට මේ ඉන්න විදියට බාර ගන්න ඒ තරම් ලේසියෙන් කරන්න පුළුවන්ද?

මේ කතාවට හොඳම උදාහරණය වෙන්නේ සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්. ඔහු තමයි අදටත් ඇමරිකාවේ පොප් රජු. අදටත් ඇමරිකාවේ පොප් සංස්කෘතිය ඇතුලේ මයිකල් ජැක්සන් කියන නම අභිබවා යන්න පුළුවන් විදියේ කෙනෙක් බිහිවෙලා නැහැ. ඒ වගේම ඔහුගේ ගීත, නර්ථන හැකියාව අනුකරණය කරන්නවත් කිසිම කෙනෙකුට පුලුවන්කමක් නැහැ. කොටින්ම මයිකල් ජැක්සන් කියන්නේ තරු ගුණය ඉහළින්ම තියෙන Icon එකක්. 

හැබැයි මේ හැමදේම තිබිලත් තමන්ට තමන් ගැන හිතලා සතුටු වෙන්න බැරි කාරණයක් ඔහුගේ හිතේ තිබුණා. 

ඒ තමයි ඔහුගේ හමේ පාට.... සිංදු කිව්වේ සුද්දන්ට වුණාට මයිකල් ජැක්සන් කියන්නේ කල්ලෙක්.....

ඔහු හැමදාම මුළු ජීවිත කාලෙම තමන් කල්ලෙක් වුණු එක ගැන ලැජ්ජා වුණා. ලයනල් රිචී, එකොන්, විට්නි හූස්ටන්, ඔෆ්රා වින්ප්‍රේ විතරක් නෙවෙයි හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවා තමා කලු ජාතිකයෙක් වීම ගැන ආඩම්බර වෙද්දි මයිකල් ජැක්සන්ට විතරක් තමන්ගේ සමේ පාට අභියෝගයක්, බාධාවක් වුණා. ඒ නිසාම තමයි ඔහු සැත්කම් ගණනාවකට පස්සේ සුද්දෙක් වෙන්නේ. නමුත් එයින් ඔහුගේ තිබුණු පෞර්ෂය හා කඩවසම් පෙනුම නැත්තටම නැතිවුනා. 

අසාර්ථක විවාහ ගණනාවක්, ළමා අපචාර චෝදනා රැසක් සහ ගෙවාගත නොහැකි ණය කන්දරාවක හිර කාරයෙක් වුණත් එක් අතකින් මයිකල් ජැක්සන් කියන්නේ බොහොම සුන්දර චරිතයක්. ඔහු නිසා ඔහු ආධාර උපකාර නිසා තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගත් දරුවන් බොහෝමයක් අදටත් ඇමරිකාවේ ජීවත් වෙනවා. ඔවුන් බොහො දෙනෙක් තමන්ගේ උසස් අධ්‍යාපනය නිමාකරලා හොඳ රැකියාවක් හොයාගෙන ස්ථාවර වෙන්න හේතුවුණේ ජැක්සන් ගේ සුන්දර හදවත බව රහසක් නෙවෙයි.

නමුත් ඔහු කුඩා කාලයේ දී දැඩි ලෙස අපයෝජනයට ලක්වීම, ඒ නිසා කාලාන්තරයක් පුරා විදි වේදනාව ඔහු කෙරෙන් තුරන් වුණේ නැහැ. මොනතරම් සාර්ථක තරුවක් වුණත් එයින් සෑහීමකට පත්වෙන්නත් ඔහුට පුළුවන් වුනේ නැහැ. ඒ නිසාම අවසාන කාලයේ විවිධ මානසික හා සමාජීය ගැටළු රාශියකට මුහුණ දුන් මයිකල් ජැක්සන්ට උරුම වෙන්නේ අවාසනාවන්ත මරණයක්. තමන්ටම ප්‍රතිකාර කරන තමන්ගේම වෛiවරයා වැරදීමකින් හෝ හිතාමතාම එන්නත් කළ ඖෂධයක් නිසා ජැක්සන්ට ජීවිතය අහිමි වෙනවා. අඩුම තරමේ ඒක මරණයක් ද මිනී මැරුමක් ද කියලා ඔප්පු කරගන්නවත් ඇමරිකානු රජය සමත් වෙන්නේ නැහැ. 

සමහර විට මයිකල් ජැක්සන්ට තමන් තමන් විදියට ජීවිත් වීම හා තිබෙන දෙයින් සතුටු වීම කියන කාරණා දෙක පිළිබඳව අවබෝධයක් තිබුණා නම් ඔහුට මෙවන් ඉරණමක් අත්නොවෙන්නත් තිබුණා. කිසිම කෙනෙකුට කිසිම දවසක අමතක නොවන ලයාන්විත කටහඩක් උරුමක්කාරයෙක් තමන්ගේ රසිකයින්ට අසීමිත වේදනාවක් ඉතිරි කරලා අවාසනාවන්ත විදියට සමුගත්තා. 

එක පුංචි සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණා නම් මයිකල් ජැක්සන් කියන්නේ තාමත් දැල්වෙන තරුවක්. 

ඒ නිසා ඔබ තේරුම්ගත යුතු එක් සත්‍යයක් තිබෙනවා. ඒ ඔබට ඔබ මිස අනුන් වෙන්නට නොහැකි බව. ඔබ අනුන් වෙන්නට උත්සහ දරන තාක්කල් ඔබට තෘප්තියෙන් ජීවත් වෙන්නට නොහැකි බව. 

ජීවිතය ඔබට දෙන්නේ ඔබට සුදුසුම දෙය බව පමණක් පිළිගන්න. ඒ අනුව ජීවත් වෙන්න. 

Top