තමන්ට තමන් වෙන්න පුළුවන් තැනක, ජීවිතේ කියන්නෙ හරි පහසු දෙයක්. June සිනමා පටය කියැවීමක් (373)

තමන්ට තමන් වෙන්න පුළුවන් තැනක, ජීවිතේ කියන්නෙ හරි පහසු දෙයක්.   June සිනමා පටය කියැවීමක් (373)

මිනිසුන්ගේ ජීවිත වල විවිධාකරයේ ප්‍රේම කාර්තු තිබෙනවා. ලැබීම් ගිලිහීම්, හිමි අහිමි වීම් එක්ක ඒ කාර්තු ගෙවිලා යනවා. එහෙමත් නැත්නම් සුන්දර අවසානයක් කරා ගෙනගොස් අප නවත්වනවා. පිරිමියෙක්ගේ ජීවිතේ එහෙව් වූ ප්‍රේම කාර්තු පිළිබඳව නිම වූ , බොහෝ සිත් වල ලැඟුම් ගත් සිනමාපටයක් වූයේ ප්‍රේමම්. ජූන් මලයාලම් සිනමා නිර්මාණය මා දකින්නේ ප්‍රේමම් ලෙසම, එහි ප්‍රතිවිරුද්ධ චරිත නිරූපණයක් ලෙස ගැහැනියකගේ ජීවිතේ විවිධාකර ප්‍රේම අවධි පිළිබඳව හෙළි කල ඉතාමත් සුන්දර නිර්මාණයක් ලෙසිනි.

ජූන් තමන්ගේ දෙමාපියන් දෙන්නගේ ආදරේ මැද්දෙන් තමන්ගේ යෞවන පාසල් අවධිය ගත කරන ටිකක් දඟකාර, කටකාර කෙල්ලක්. නොයෙල් තමන්ගේ පන්තියේ ඉගෙනුම ලබන තමන්ගේ පියාගේ තීරණ වලට එහායින් කටයුතු නොකරන අහිංසක කොල්ලෙක්. ඒ වටා හරි ආදරයෙන් බැඳුණු විවිධාකරයේ ආදරණීය චරිත , ආදරණීය ගුරුවරියක් එක්ක ඉගෙනුම ලබන කොමස් පන්තියක්.මිත්‍රත්වය ,සහෝදරත්වය ,සහයෝගය ගැන හරි අපූරුවට කතා බහ කෙරෙන සිනමා පටයක්.

ජූන් ඒ බැඳුණු සහෝදරත්වය තුළින්ම , තමන්ගේ පාසල් ප්‍රේමය සොයා ගන්නා කතා නායිකාවක්. ජූන්ගේ හිත නවතින කෙනා වෙන්නේ නොයෙල්. ආදරයක් ගැන නොසිතා ඉගෙනුම ගැන පමණක් සිතිය යුතුයි කියන තීරණයේ ඉන්න ජූන්ගේ දෙමාපියන් !! ඒ සියලු බාධා මැද්දෙන් කාටත් හොරෙන් රහසේම ආදරේ කරන ජූන් - නොයෙල්,අපේ දශකයේ සාමාන්‍යය පාසල් ප්‍රේමයක නියෝජනයක්. නමුත් හිටි හැටියේම ජූන්ගේ දෙමාපියන්ට මේ ආරංචිය කන වැකීමත් සමඟ තමන්ගේ පාසල් ප්‍රේමයට සමු දෙන්න ජූන්ට සිද්ද වෙනවා. ජූන් - නොයෙල් වෙන වෙනම තමන්ගේ ජීවිත සොයන් යනවා.ඒත් දෛවයේ සමහර තීරණ හරි පුදුමාකාරයි.රැකියාවක් සඳහා තමන්ගේ ගමෙන් පිටතට යන ජූන්ට ආයෙත් නොයෙල් මුණ ගැසෙනවා.

ආයෙත් ජූන් - නොයෙල් ආදර කතාව හරි සුන්දර විදිහට ගලන් යනවා. නමුත් නොයෙල්ගේ සමහර හීන අරමුණු ජූන්ට බර වැඩියි. තමන්ගේ රැකියාව සාර්ථකත්වය ගැන පමණක් සිතන තමන්ගේ පියාගේ තීරණ වලට එකඟ වී තමන්ගේ හීන අත් අරින නොයෙල් සහ නොයෙල් වෙනුවෙන් තමන්ගේ හීන වලට සමු දීමට සිදු වන බව ජූන් තේරුම් ගන්නවා. දෙදෙනාගේ ආදර ඝට්ටනයේ අවසාන තීරණය ලෙස නොයෙල් ජූන් සමඟ ඇති සම්බන්ධතාවය නැවතීමට තීරණය කරනවා.

තමන්ගේ පාසල් අවධියේ පටන් ජීවිතය ගැන දැකපු හැම හීනයක්ම ජූන්ගේ දෙපා ළඟ කඩන් වැටෙනවා.තමන්ගේ ප්‍රථම ප්‍රේමයේ බිඳ වැටීම ඔස්සේ ජූන් තමන්ව වෙනස් කර ගැනීමට උත්සාහ දරනවා.

චිත්‍රපටයේ එක දර්ශනයක තිබෙනවා දෙදෙනාගේ සම්බන්ධතාවය බිඳ වැටීමෙන් පස්සේ ජූන්ට නොයෙල් කීව සමහර දේවල් ආයේ ආයේ මතක් වෙනවා.

" ජූන් ඔයාට මේ රතු පාට ලිප්ස්ටික් එක නම් චූට්ටක්වත් ගැළපෙන් නෑ..ඒත් මේ කොණ්ඩේ නම් හරි ලස්සනයි.."

ඒ මතක නිසා ජූන් අර ලිප්ස්ටික් එකෙන් මූණ පුරාම ඇද ගන්නවා. තමන්ගේ ලස්සන කොණ්ඩේ කොට වෙන්නම කපා ගන්නවා.

ජීවිතේ සමහර අහිමි වීම් එක්ක බහුතරයක් දෙනා සිදු කරන අතිශයින්ම සාමාන්‍යය සිදුවීමක්.තමන්ගේ ආදරේ තමන්ගෙන් අහිමි වුණාට පස්සේ තමන්ව වෙනස් කර ගැනීමට, මුලින් සිටි තමාව නැති කර ගැනීමට උත්සාහ දරනවා. තමන්ගේ වටිනාකම තමන්ටත් නැති කර ගන්නවා.

මෙන්න මේ වගේ අවධියකදී ජීවිතේ බොහෝ දේවල් අවබෝධ කරන, තමන්ගේ වටිනාකම තමන්ටම අවබෝධ කරවන කෙනෙක් ජූන්ගේ ජීවිතේට පැමිණෙනවා.

සමහර වෙලාවට අපි ආදරේ කරන හිත් වලට වඩා අපිට ආදරේ කරන හිත් වල අපි වෙනුවෙන් ගැබ් වෙලා තියෙන ආදරේ වැඩියි. ආනන්ද් .ජූන් වෙනුවෙන් තමන්ගේ පාසල් අවධියේ පටන් බලා සිටි නිහඬ ආදරවන්තයෙක්.. කාලයක් තිස්සේම ජූන්ව තමන්ගේ ඒක පාර්ශ්වික ප්‍රේමය බවට පත් කරන් ජූන්ටත් නොදැනෙන්න ඇයව ආරක්ෂා කරන ආදරවන්තයා. එහෙමත් නැත්නම් ජූන්ගේ ජීවිතේ විහිළුකාරයා. ඒ විහිලු වලින් ජුන්ගේ ජීවිතේට අවබෝධය මෙන්ම සිනහවත් කැන්දන් එන ප්‍රේමවන්තයා. සමහර හිත් ආදරයේදි නිහඬයි. නමුත් ඒ හිත්වල අනෙකා වෙනුවෙන් වූ ආදරය ගැඹුරුයි. තමන්ගේ ජීවිතේ එකම අරමුණ ජූන් බවට පත් කරන් ආනන්ද් තම ජීවිතේ ගොඩ නගා ගත් බව ජූන් ඒ හමුවීම තුළින් දැන ගන්නවා.

"මං ඔයාව ගනන් ගන් නැතිකොට ඔයා එක්ක හිනා වෙන්නෙවත් නැතිකොට ඔයා කොහොමද මෙච්චර තදට ආදරේ කරේ ?

- කවුද කියන්නේ ගණන් ගත්තේ නෑ..හිනා වුනේ නෑ කියලා..ජූන් බලපු හැම බැල්මකම ජූන් හිනා වුනු හැම පාරකම තාමත් මං හිතේ තියෙනවා..."

ආනන්ද්ගේ ආදරේ අන්න ඒ වගේ.. නොයල් ළඟ වුණත් හිනා වෙලා ඉන්න ජූන් දිහා බලලා සතුටු වෙන විදිහේ හරි ලස්සන හදවතක හිමිකාරයෙක්.

" මේ සේරම අපේ දෛවයේ ලියවිලා තියෙන්නේ. අපිට උරුම නැති අය ගැන හිතන එකේ කිසි ප්‍රයෝජනයක් නෑ..කඳුළුයි වෙලාවයි විතරයි නාස්ති වෙන්නේ. ඒ වෙනුවට තමන් කැමති දෙයක් කරොත් තමන් ගැනම ආඩම්බර වෙන්න පුළුවන්... "

ජූන් ඊටත් පස්සේ ඇවිදන් යන්නේ ආනන්ද් පෙන්වා දුන්නු ඒ අඩිපාරේ..තමන්ගේ හැකියාවන් දියුණු කර ගනිමින් ජීවිතේ බොහෝ සිදුවීම් අවබෝධ කර ගනිමින් ගෙවන අවධියක්. නමුත් ජූන් - ආනන්ද් ආදර කාර්තුව විවාහය දක්වා ලියවෙන් නෑ..

ඊටත් පසුව ජූන්ගේ ජීවිතේ නිවීම. එහෙමත් නැත්නම් ජූන්ව ජූන් විදිහටම කෙරෙන භාර ගැනීම.එහෙමත් නැත්නම් ජූන්ගේ ජීවිතේ තමන් වගේම සිතන පතන ඉතිරි භාගය. ඒ ඇලෙක්ස්.

ජූන් - ඇලෙක්ස් හමුවීම සිදු වෙන්නේ විවාහ යෝජනාවක් තුළින්. ඒත් ඒ ප්‍රථම හමුවීමෙන්ම දෙන්නගේ ගැළපීම ඔවුනොවුන් වටහා ගන්නවා..ජූන් උපරීම නිදහස් වෙන තැන ඇලෙක්ස්.නොයෙල් ඉදිරියේ ඇයට ඇයව , අපහසුවෙන් වූවත් වෙනම චරිතයක් තුළ රදවන්න වෙනවා.නමුත් ඇලෙක්ස් ළඟ ඇය ඇයම වෙනවා..තමන්ගේ හිතට එන පුංචිම සිතුවිල්ල පවා නිදහසේ ප්‍රකාශ කරන්න ඇලෙක්ස් ළඟදි ඇයට හැකි වෙනවා..

තමන්ගේ අතීතය, වර්තමානය ,අනාගතය හරි විවෘතව ඔවුන් බෙදා ගන්නවා.ජූන්ගේ හැම හීනයකටම පාට දෙන ඒ හීන මොනතරම් විකාර රූපී වුණත් ඒ හැම දේකටම අත හිත දෙන කෙනා වෙන්නේ ඇලෙක්ස්.

"There is a child inside each one of us who comes out infront of the person we are most comfortable with."

යන කියමන ජූන් - ඇලෙක්ස්ට මනාව ගැළපෙනවා.. ජූන්ගේ ජීවිතේ නැති චරිත රඟපෑමේ විඩාවෙන් ඇලෙක්ස් ඇයව මුදා ගන්නවා.

ඉතින් ජීවිතේ කියන්නේ හරි පහසු දෙයක්.තමන්ට තමන් වෙන්න පුළුවන් තැනක. ඒ වගේම ආදරේක තියෙන්න ඕනි ගළපාගැනීමක්.

ඒ වගේම උරුමය කියන්නේ දෛවයේ පුදුමාකාර තේරීමක්. ප්‍රථම ,දෙවන, තෙවන ප්‍රේමය පසු කරලා ජූන් නවතින්නේ තෙවැන්න තුළ. නමුත් අතීතයේ හිරවීමක් නොමැතිව.

ඒ වගේම චිත්‍රපටයේ අවසාන දර්ශනය. පෙම්වතුන් තිදෙනාම ජූන් - ඇලෙක්ස් විවාහය දිනයේදී හරි සුහදව කතා කරන දසුනක්. හරි ලස්සන අර්ථයක්. ඒ හැම වෙන්වීමක්ම අවබෝධයක් සහිතව වුණු අවෛරී වෙන්වීම්. අවබෝධයක් සහිතව සිදු වුණු එක්වීම්.

ඉතින් ජීවිතේ කියන්නේ නැවතීම් කිහිපයක් හමුවන ඒත් සුදුසුම නැවතුම විතරක් තෝරා ගැනීමට සිදු වන, නිවැරැදි තෝරා ගැනීමෙන් පමණක් නිවීමක් හිමිවන හරි ලස්සන ගමනාන්තයක්.

මේත් එක්කම බොබ්මාලේ ගේ හරි ලස්සන පැහැදිලි කිරීමක් සටහනේ අවසානයට තබනවා.

ඔබ ඇයගේ පළමු හෝ අවසාන පෙම්වතා නොවිය හැක. එකම පෙම්වතාද නොවිය හැක. ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරේ කරන්නට ඉඩ ඇත. ඇය පරිපූර්ණ ගැහැනියක නොවේ. ඔබද පරිපූර්ණ නැත. ඔබ දෙදෙනාට කිසිදු දිනෙක පරිපූර්ණ විය නොහැක.

එහෙත් ඔබගේ මුවගට සිනාවක් රැගෙන ඒමට ඇය උත්සාහ දරයි නම්, ඇය දෙවරක් සිතන්නට ඉඩ සලසයි නම් , මිනිසෙක් ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගයි නම් ඇයට ඔබේ ආදරය ලබා දෙන්න. ඇයව රිදවන්න එපා. ඇයව වෙනස් කරන්න තැත් කරන්න එපා . ඒ වගේම ඇයට දෙන්න බැරි තරම් ඇයගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා.. ඇය ඔබට සතුට ගෙන එද්දී හදවතින්ම සිනාවෙන්න. ආදරයේ නියම අරුත එයයි..

Top