ජීවිතය දරන්නම බැරිම තැන තවත් ටිකක් දරා ගන්න - Dia (322)

ජීවිතය දරන්නම බැරිම තැන තවත් ටිකක් දරා ගන්න - Dia (322)

මිනිස්සුන්ගේ ජීවිත වල දරා ගැනීම් විවිධ මට්ටම් වල පවතිනවා. ඒ ඒ මිනිසුන් අනුව, ඒ ඒ සිදුවීම් අනුව ඒ දරා ගැනීම් එකිනෙකට වෙනස් වෙනවා. ජීවිතේ ගැන පුළුල් අවබෝධයක් තියෙන මනුස්සයෙකුට වුණත් ජීවිතේ නොහිතන විදිහේ තීරණයක් ගන්න සිදු වෙන අවස්ථා එළඹෙනවා. ජීවිතේ කියන්නේ ඒ වගේ හරි අවිනිශ්චිත සංචාරයක්. ඒ වගේම ජීවිත පුදුමකිරීම් සහ මායාවන්ගෙන් පිරුණු තැනක්ද වෙනවා.

දියා, රෝහිත් , ආදී තුන්කොන් ආදර කතාවක කොටස්කාරයෝ. සමහර ගැටලු තියෙනවා කවමදාවත්ම වැරදිකාරයෙක් නැති විදිහේ. මේ ආදර කතාවත් අන්න ඒ ගණයේ සිදුවීමක්.

තමන්ගේ විශ්ව විද්‍යාලයේම වෙනත් පාඨමාලාවක් හදාරන රෝහිත් දියාගේ ඒක පාර්ශ්වික ආදරේ. මොන තරම් කියන්න උත්සාහ දැරුවත් රෝහිත් ඉවත්වෙලා යන තුරුම දියාට ඒ ආදරේ ප්‍රකාශ කර ගන්න වෙන් නෑ. ඒත් කාලය කියන්නේ පුදුමාකාර තීරණ ගන්නෙක්. තමන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය පුරාවටම ලුහු බැදපු ඒ ඇස් දෙක නොහිතපු වෙලාවක දියාගේ ඇස් ඉස්සරහට හමුවෙනවා. ඒ තමන් ජීවත් වන නිවාස සංකීර්ණයේම අසල්වැසියා විදිහට.

ප්‍රේමය කියන්නේ හරි අහම්බකාරක දෙයක්. ජීවිතේ උරුමයන් අපිව හොයන් එන්නේ නොහිතන වෙලාවක නොහිතන තැනකදි. මේ හමුවීමත් ඒ තරම් අහම්බකාරක හමුවීමක්. කාලෙත් එක්ක දියා රෝහිත් පෙම්වතුන් බවට පත් වෙනවා.

ජීවිතේ කෙනෙක්ට ලබන්න පුළුවන් වාසනාවන්තම ඉපයීමක් තමා තමන් ලබා දෙන ප්‍රේමයේ තරමටම සමාන ප්‍රේමයක් අනික් පාර්ශ්වයෙන් ලැබීම. තමන් ආදරේ කරපු කෙනා තමන්ටත් ඒ විදිහටම ආදරේ කරපු බව , ඒ ඇස්ම ලුහු බැන්ද බව දියා දැන ගන්නවා. ඒක පාර්ශ්වික යැයි සිතා වුන් ප්‍රේමය ද්විපාර්ශවික අප්‍රකාශිතව පැවති ප්‍රේමයක් බව දියා දැන ගන්නවා.

ජීවිතේ තමන් බලාපොරොත්තු වුනු දේම තමන්ට ලැබුණු සතුටින් දියා - රෝහිත් අනාගතේ ගැන හීන දකිනවා. ඒත් දවසක් නොහිතපු වෙලාවක හදිසි රිය අනතුරකට දෙදෙනාම ලක් වෙනවා. ජීවිතේ කුණාටු සමය ආරම්භ වෙනවා. තමන්ගේ පෙම්වතා රෝහිත් අනතුරින් මිය යනවා. තමන්ගේ ජීවිතේ මුලුමනින්ම කඩා වැටෙනවා. දියාගේ මානසික නිදහස වෙනුවෙන් ඇයව සහෝදරියක්ගේ නිවසකට පිටමන් කර හරිනවා.

ජීවිතේ විදවීම් දරා ගැනීමේ උපරීමයට ගිය දිනෙක ඇය තීරණයකට එළඹෙනවා. තීරණය සිය දිවි නසා ගැනීම.. ඒ මොහොතේ අවසානතම තත්පර කිහිපයේදී දියාට ලබෙන දුරකථන ඇමතුමකින් දියාගේ ජීවිතේ වෙනස් වීම ආරම්භ වෙනවා. ආදී. ජීවිතේ උපරිම සැහැල්ලුවෙන් ගත කරන විනෝදකාමී නමුත් අවබෝධයක් සහිතව ජීවත් වන තරුණයෙක්. එහෙමත් නැත්නම් දියාගේ ජීවිතේ නිවීම.

ජීවිතේ කලකිරිලා හිටපු දියාට ජීවිතේ ගැන නැවත වතාවක් බලාපොරොත්තුවල් දුන්නු කෙනා වෙන්නේ ආදී. ඒත් හිතුව විදිහටම දෙන්නට මිත්‍රත්වය තුළ පමණක් ඒ බැඳීම පවත්වා ගැනීමට නොහැකි වෙනවා. තමන්ගේ නිවසට නැවත වතාවක් දියා පැමිණෙන්නේ ආදිගේ පෙම්වතිය විදිහට. නමුත් සිදු වෙන්නේ දියා නොහිතපු දෙයක්. මිය ගියා යැයි සිතා සිටි ආදි නැවත වතාවක් දියාගේ ඇස් අද්දර..

තමාගේ ජීවිතයෙන් සදාකාලිකවම සමු ගත්තා යැයි සිතපු කෙනෙක්, තවත් කෙනෙක්ගේ ජීවිතය භාර ගත් මොහොතක නැවත වතාවක් පැමිණියොත් ?

ඉතින් ජීවිතය කියන්නෙන පුදුමකිරීම් සහ මායාවන්ගෙන් පිරුණු දෙයක්. එක නිමේශයකින් බොහෝ දේවල් වෙනස් වෙන්න පුළුවන් තැනක්. කිසිම කෙනෙක්ගේ වරදක් නැතුව ගැටලු රාශියක් ඉපදෙන්න පුළුවන් තැනක්. ජීවිතේ කියන්නේ අන්න ඒ වගේ බර තැනක්.

ආදි හිත් අතරින් ලස්සනම හිතක් තියන කොල්ලෙක්. දියාගේ හිනාවේ අයිතිකාරයා වුණාට දියාගේ ප්‍රශ්නවල ගැලවුම්කාරයා.. දියා වෙනුවෙන් තමන්වත් අත් හැරගන්න පරාර්ථකාමියා. දෛවයේ සමහර තීරණ මොන තරම් අසාධාරණ ද ? 

" මම ඔයාට ඉන්න කියන් නෑ.. එහෙම වුණොත් මගේ අම්මා අහයි මගේ පුතා මේ තරම් ආත්මාර්ථකාමියෙක් වෙලාද කියලා.. මට ඒක දරා ගන්න බැරිවෙයි...."

ලකී. ආදිගේ ප්‍රාණය. ඒ වගේ සුන්දර හිතක් හදපු ආදිගේ වෛද්‍ය අම්මා. මේ චිත්‍රපටය තුළ ඒ බැඳීම ගොඩ නගා තිබෙන ආකාරය අති සාර්ථකයි. අම්මෙක් සහ පුතෙක්ගේ බැඳීම කියන්නේ සමාජයේ පවතින අති සුන්දරතම බැඳීම් වලින් එකක්. මොන තරම් වයසින් වැඩුනත් තාමත් දරුවෙක් කියන්නේ අම්මෙක්ට තමන් ළඟ හිටපු ළඳරුවාමයි. තමන්ගේ හොඳම යාළුවා වෙන අම්මට ආදි නොකියන රහසක් නෑ. අම්මගේ ආදරේ මඟ පෙන්වීම් යටතේ තීරණ ගන්න ආදි ජීවිතේ පළවෙනි වතාවට අම්මගේ තීරණයකට පිටින් යන්නේ සදාකාලික වේදනාවක් උරුම වේයැයි නොදැන.

දියාගේ අහිමි වීම එක්ක ආදිගේ ජීවිතේ තිබ්බ ලොකුම සැනසුම වුනු ලකීවත් දෛවය උදුරා ගන්නේ නොහිතපු වෙලාවක.

ඕනිම පුද්ගලයෙක් වේදනාකාරී යථාර්ථයක් එක්ක දිගින් දිගටම ගැටුණහම ඒ දේ දරා ගැනිම් ඉක්මවා යන ලොකු පීඩනයක් බවට පත් වෙනවා. ඊටත් පසුව ජීවිතේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වෙන සමහර මිනිස්සු තමන් ගැන විතරක් හිතලා ඒ පීඩනයෙන් මිදෙන්න බලනවා.

ජීවිතේ ගැන මොන තරම් අවබෝධයකින් සිටින්නා වූ කෙනෙක් වුණත් එහෙම කාල පරිච්ඡේද වලට ජීවිතයේදී මුහුණ දෙනවා. අනික් මිනිස්සුන්ගේ ගැලවුම් කාරයෙක් වුණත් තමනුත් ඒ තත්වයට පත් වුණාට පස්සේ නොගත යුතු තරම් දැඩි තීරණ වලට එළඹෙනවා. මානසික පීඩනයේ උපරීමයටම ගිය මොහොතක ආදි සියදිවි හානිකර ගැනීමට දුම්රියක් එන තුරු මඟ බලා සිටිනවා..

සිදුවුණු දේවල් දැන ගැනීමෙන් අනතුරුව රෝහිත් දියාට නැවත වතාවක් දියාගේ හිත නැවතුනු තැනට යාමට අවසර දෙනවා..

වසර තුනක ප්‍රතිකාර හමුවේ දියා වෙනුවෙන් සුව වී පැමිණෙන රෝහිත් කියන්නෙත් ආදරේ හඳුනන පරිත්‍යාගශීලි පෙම්වතෙක්. ජීවිතේ තමන්ට ආදරේ කරපු අයවත් ප්‍රතික්ෂේප කරපු රෝහිත් දියා වෙනුවෙන් ආදී වෙනුවෙන් ලබා දීමට පුළුවන් ලොකුම පරිත්‍යාගය සිදු කරනවා.

නමුත් කාලය සමහර තීරණ වලට හරස් වෙන්නේ අවසානතම තත්පරයේ. ආදී හොයන් එන දියා සිය දිවි හානි කරගන්න සූදානම් වෙන ආදි අසලට යනවා. දියාගේ නැවත පැමිණීමෙන් විශ්මයට පත් වෙන ආදිගේ සිතුවිලිවලට වඩා පැමිණි දුම්රිය වේගවත් වෙනවා. තම ජීවිතේ තමන් ගත්තු තීරණයෙන් තමාව මුදවා ගත් පෙම්වතා තමන්ගේ ඇස් ඉදිරිපිටම දුම්රියේ ගැටෙනවා.

ජීවිතේ කියන්නේ වේදනාවන්ගෙන් පිරුණු තැනක්. ඉවසීම නැති වුණොත් ජීවිත බොහොමයක් සීසීකඩ විසිරුවා හරින දෙයක්.

"A listner needs a listner too "

ඒ කියමන මේ චිත්‍රපට සමඟ 100% ක් සමපාත වනවා. බහුතරයක් මිනිසුන් අනුන්ගේ ප්‍රශ්න සමඟ බුද්ධිමත්ව කටයුතු කළාට තමන්ගේ ප්‍රශ්න හමුවේ කඩා වැටෙනවා. තමන්ට හැඟෙන දැනෙන දේ කියා ගන්න බැරි කියාගන්න කෙනෙක් නැති මොහොතවල් ඒ ජීවිත වලට උදා වෙනවා. ගැටලුවලින් පලා යෑමේ ඉක්මන්ම පහසුම ක්‍රමය විදිහට සමහර මිනිස්සු සියදිවි හානිකර ගැනීම තෝරා ගන්නවා. මිනිස්සු මානසික නිදහස නැති වීම හමුවේ අන්ත අසරණ වෙනවා.

මේ චිත්‍රපටයෙන් මිනිස්සුන්ගේ ජීවිත වල එහෙව් අවධානම් කලාප පිළිබඳව දුන්නු ඒ පණිවිඩය ගැන අප නැවතත් සිතා බැලිය යුතු වෙනවා.

සමහර වෙලාවට මිනිස්සු උදව් ඉල්ලන් නෑ.ඒ නිසා ඒ මිනිස්සුන් තේරුම් ගැනීමට මනුෂ්‍යන් ලෙස අපට සිදු වෙනවා.මිනිසුන් ජීවිතේ විවෘත නොකරන කලාප වලට ඇවිදන් යන්න අපට සිද්ද වෙනවා.මිනිසුන් නොකියන වේදනාවන් වලට ඇහුම්කන් දීමට අපට සිදු වෙනවා.යමෙක් ජීවිතයෙන් පලා යෑමට කලියෙන් ඒ ජීවිත තවදුරටත් රඳවා තබා ගැනීම කල යුතු වෙනවා. ඉතින් මේ සමාජය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසු විය යුතු වනවා.එක මිනිසකුගේ හෝ ජීවිතයක් ආරක්ෂා කර ගැනිමට එවිට එහෙව් මනුෂ්‍යත්වයකට හැකි වේවි.

ඒ වගේම දියා , රෝහිත්, ආදීගේ පැත්තෙන් බැලුවොත් ජීවිතේ දරුණු යථාර්ථය අපි තේරුම් ගත යුතු වෙනවා..දෛවයේ සමහර තීරණ අපට වෙනස් කර ගත නොහැකි වෙනවා.ජීවිතේ ලැබීම් භාර අරන් නොලැබීම් දරා ගෙන ඉස්සරහට ඇවිදන් යෑමට සිදු වෙනවා. ජීවිතේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන් සූදානම් වී සිටිය යුතුම වනවා.

ඉතින් ජීවිතේ කියන්නෙම දුක සතුට එක ක්ෂණයෙන් වෙනස් විය හැකි මායාවක් බව දියා අපට කියා දෙනවා....

Top