ලිංගික අතවරයන්ට එරෙහි ලංකාවේ නීතිය (818)

post-title

දවසක් මුහුණු පොතේ පහළට යන අතරවාරයේ මගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන තුසිතාණි රණසිංහ දාපු විඩියෝවක් දැක්කා. ඒ විඩියෝවේ තිබුණේ ඇය බස් රථයේ යනකොට පිටුපස ආසනයේ සිටි පුද්ගලයා ඇය සිටින ආසනයයි, ජනේලයයි අතරමැද තිබෙන කුඩා හිඩසෙන් අත දමා ඇය ව ස්පර්ශ කරන්න උත්සහ කළ සිදුවීමක්. ඇය හොරෙන් එය විඩියෝගත කර මුහුණු පොතට මුදා හැර තිබුණා. මෙවැනි ලිංගික අතවර කිරීමකට සම්බන්ධ සිදුවීම් අනන්තවත් පොදු ප්‍රවාහන සේවා තුළ සිදු වන බවට අපි අසා තිබෙනවා. දැක තිබෙනවා. ඇත්තෙන් ම මෙලෙස ලිංගික අතවර කිරීමට ලක් වන්නෙ කාන්තාවන් පමණක් ම නොවේ. පිරිමින් සහ වෙනත් ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ද ලිංගික අතවරයන්ට ලක් වෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. තුසිතානිගේ සම්පූර්ණ විඩියෝව නැරඹූ මොහොතේ මා තීරණය කළ පරිදි අද මගේ වචන වෙන් කලේ මේ ලිංගික අතවර කිරීමට අදාළ වැරදි සම්බන්ධයෙන් දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳ ව ඔබව දැනුවත් කිරීමටයි. මේ ලිපිය කාන්තාවන්, පිරිමින් ඇතුළු සියලුදෙනාට වැදගත් වන ලිපියක් වන මට විශ්වාසයි. ඒනිසා, එක වචනයක් නෑර පරිස්සමට කියවන්න. 

ඇත්තෙන්ම ලිංගික අතවර කිරීම කියන්නෙ මොකක්ද

ලිංගික අතවරයක් සිදු වන අවස්ථාවන් මොනවද

ලංකාවේ බොහෝදෙනාට මේ සම්බන්ධයෙන් තිබෙන දැනුමත් අඩුයි කියා මට පුද්ගලික ව සිතුණු අවස්ථා තිබෙනවා. පළමුවෙන් ම නීතිය තුළ ලිංගික අතවරය නිර්වචනය කර ඇත්තේ කුමන ආකාරයට ද කියා සොයා බලමු. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව ලිංගික අතවර කිරීම පැහැදිලි ව ම දඬුවම් ලබා දෙන අපරාධමය වරදකි. 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත අනුව 345 වගන්තියේ සඳහන් ආකාරයට අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් කරන කවර හෝ තැනැත්තෙකු ලිංගික අතවර කිරීමේ වරද සිදු කරයි. බස් රථයේ හෝ දුම්රියක සෙනඟ පිරී ඇති අවස්ථාවක යම් පිරිමියෙක් තමන්ගේ අත හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශය හෝ කාන්තාවකගේ අකැමැත්තෙන් ඇගේ ශරීරයේ ගැටෙන්නට සලස්වනවා නම්, එවැනි අවස්ථාවක ඒ කාන්‍තාවට අප්‍රසන්නතාවයක්, බයක් ඇති වන නිසා එවැනි ක්‍රියාවක් සාපරාධී බලහත්කාරය පෑමෙන් සිදුවන ලිංගික අතවර කිරීමක්. මගේ මිතුරිය තුසිතානි මුහුණ දුන් ආකාරයේ සිදුවීමක් ගත්තොත් ඒවාත් පැහැදිලි ව ම ලිංගික අතවර කිරීමක් යටතට ගත හැකියි. විශේෂයෙන්, වෙනත් පිරිමියෙක්ගේ හෝ කාන්තාවකගේ හෝ වෙනත් කවුරුන් හෝ තැනැත්තෙක්ගේ අකැමැත්තෙන් ඒ කෙනා ව ස්පර්ශ කලොත්, වැළඳගත්තොත්, සිප ගත්තොත් එයත් ලිංගික අතවර කිරීමක්. පොදු ප්‍රවාහනය තුළ දි සමහර පිරිමි අත්දෙක බැඳගෙන වෙනත් අයට නොපෙනෙන ආකාරයට තමන්ගෙ එහා ආසනයේ හෝ ඉදිරිපස ආසනයේ සිටින කාන්තාවගේ අත ස්පර්ශ කරනවා. තවත් සමහරු පොදු ව්‍යවහාරයේ හඳුන්වන ආකාරයට නම්, “ ජැක් ගහනවා ”. සමහරු, ගවුමක් ඇඳන් ඉන්න තරුණියකගෙ ගවුම ඉහළට ඔසවන ආකාරයේ යම් යම් ක්‍රියාවන් සිදු කර ඒ තරුණිය ව විශාල අපහසුතාවයකට, ලැජ්ජාවකට පත් කරවනවා. මේ සියල්ල කාන්තාවන්ට එරෙහි ව සිදුවන ලිංගික අතවර කිරීම්. මේනිසා, තරුණ කොල්ලොන්ට කියන්නට තියෙන්නෙ නම්, විහිලුවටවත් තරුණියකගේ අකැමැත්තෙන් ඇයව අපහසුතාවයට පත් වෙන ආකාරයට අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට උත්සහ කරන්න එපා. එසේ කලොත් එය ඔබව ලිංගික අතවර කිරීමේ වරදට හසු වීමට නිමිත්තක් විය හැකි බව මතක තබා ගන්න. 

ඔබේ ක්‍රියාවකින් මෙන් ම ඔබ සිදු කරන වාචික ප්‍රකාශවලින් ද ලිංගික අතවරයක් සිදුවිය හැකි ඔබ දන්නවා ද ? ඇතැම් පුද්ගලයන් කාන්තාවන්ට “ බඩුව ” වැනි නොමනා ආකාරයේ වචනවලින් බැණ වදින අවස්ථා තිබෙනවා. එවැනි වචන භාවිතා කිරීම නිසා කාන්තාව තුළ අප්‍රසන්නතාවයක්, ලැජ්ජාවක් ඇති වන්නේ නම් එයත් ලිංගික අතවර කිරීමක් ලෙස සලකා පැමිණිලි කිරීමේ හැකියාවක් ඇත. රැකියාවක උසස්වීමක් ලබා දීමට ලිංගික වාසි ඉල්ලා සිටීම, ලිංගික ව කාමුක ශබ්ද ඇති කිරීම, ලිංගිකත්වය මුල් කොටගත් විහිළු කිරීම හෝ කතන්දර කීම වැනි අවස්ථාවලදී ද ලිංගික අතවරයක් සිදු විය හැකිය. එමෙන්ම, කාන්තාවක හෝ පිරිමියෙකුට අප්‍රසන්නතාවයක් ඇහි වන අන්දමට දිව දික් කිරීම, තොල ලෙව කෑම, අත්/ඇඟිලි යොදා ගනිමින් ලිංගික අදහස් පළ කිරීම වැනි අභිනයන් ද ලිංගික අතවර කිරීමක් යටතට ගැනීමේ හැකියාවක් තිබේ. යම් තැනැත්තෙක්ගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් ඒ තැනැත්තාගේ අවසරයක් නොමැති ව සමාජ මාධ්‍යවලට මුදා හැරියොත්, අසභ්‍ය වෙබ් අඩවිවලට මුදා හැරියොත් එයින් ද ලිංගික අතවර කිරීමක් සිදු වන බව බොහෝ නීතිවේදීන් විසින් පිළිගනී.

පාසල්, වීශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන තුළ ද ලිංගික අතවර කිරීම් සම්බන්ධ සිදුවීම් ඕනෑතරම් වාර්තා වී ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් ප්‍රතිපාදන යටතේ මෙන් ම 1988 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවලදී නවකවදය සහ වෙනත් ආකාරයේ හිංසනයන් තහනම් කිරීමේ පනතේ විධිවිධාන යටතේ ද අධ්‍යාපන ආයතන තුල සිදුවන ලිංගික අතවර කිරීම්වලට එරෙහි ව නඩු පැවරීම් සිදු වේ. මා දන්නා එක්තරා පිරිමි පාසලක උසස්පෙළ සිසුවෙක් තමන්ට පහළ ශ්‍රේණියේ සිටින අවුරුදු 16ක පමණ පිරිමි ළමයෙක් ලව්වා තමන්ගෙ ලිංගාශ්‍රිත ප්‍රදේශය ස්පර්ශ කරවාගෙන තියෙනවා. එය ළමා අපචාරයක් වගේ ම ලිංගික අතවර කිරීමක්. ඒ සිදුවීමට අදාළ ව අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව පරිදි අදාළ පාසල් සිසුවාට තමන්ගේ ජිවිතයේ හොඳම කාලයේදී දඬුවම් සිරගෙදරක සිර වී දඬුවම් විඳින්නට සිදුවුණා. 1988 නවකවදය සහ වෙනත් ආකාරයේ හිංසනයන් තහනම් කිරීමේ පනත අනුව අධ්‍යාපන ආයතනවලදී පුද්ගලයකු විසින් යම් ශිෂ්‍යයකු හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු නවකවදයට භාජනය කරමින් සිටින අතරතුර ලිංගික අතවරයක් හෝ බරපතළ අඩන්තේට්ටමක් සිදු විය හැකිය. යම් විශ්ව වීද්‍යාලයක් තුළ හෝ නේවාසිකාගාරයක් තුළ ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක ශිෂ්‍යයන් ව මේසයක් වටේ බලෙන් ඉන්දවගෙන ලිංගික ව කාමුක ශබ්ද නගන්නට යැයි බැණ වදිමින් බිය ගැන්නුවහොත් එය ත් මේ ලිංගික අතවර කිරීමේ වරද යටතට වැටේ. 

මේ කුමන හෝ ආකාරයකට ලිංගික අතවරයක් සිදු කරන පුද්ගලයෙක්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියේ සඳහන් අන්දමට අවුරුදු පහක් දක්වා කාලයකට දීර්ඝ විය හැකී අන්දමට දෙයාකාරයෙන් එක් ආකාරයකට(බරපතල වැඩ සහිත ව හෝ රහිත ව) බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකින් ම වුවද දඬුවම් කිරීමට අධිකරණයට බලය හිමි වී ඇත. එමෙන්ම, තමන්ට සිදු වූ කායික හෝ මානසික හානිය සම්බන්ධයෙන් ලිංගික අතවරය සිදු කළ තැනැත්තාගෙන් අධිකරණය ඉදිරියේදි වන්දි ඉල්ලා සිටිමේ හැකියාවක් ද පවතී. අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ පිටතදී නවකවදය දීමේ යෙදී සිටින අතරතුර ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරු වන තැනැත්තෙකුට නවකවදය සහ වෙනත් ආකාරයේ හිංසනයන් තහනම් කිරීමේ පනත යටතේ වසර 10කට නොවැඩි සිරදඬුවමක් සහ ඊට අමතර ව අධිකරණය මගීන් තීරණය කළ මුදලක් වන්දියක් වශයෙන් වින්දීයාට ගෙවීමට ද නියම කළ හැකිය. 

සේවා ස්ථානයකදී ද ඉහළ නිලධාරියෙක්ගෙන් පහළ නිලධාරියෙක්ට හෝ පහළ නිලධාරියෙක්ගෙන් ඉහළ නිලධාරියෙක්ට හෝ ලිංගික අතවර කිරීමක් සිදු විය හැකිය. ලිංගික අතවර කිරීමක ප්‍රතිඵලයක් ලෙස යම් සේවකයෙකුගේ සේවය අවසන් කර ඇත්නම් එම සේවය අවසන් ක්කිරීම කම්කරු විනිශ්චය සභාව තුළ දී විනිශ්චයට ලක් කිරීමට හැකියාව ඇත. මෙම අවස්ථාව වින්දිතයාට මෙන් ම වරදකරුට ද හිමි වේ. සේවය අවසන් කිරීම අසාධාරණ බව කම්කරු විනිශ්චය සභාව තුළ දී සනාථ වුවහොත් එම සේවකයා හිඟ වැටුප් සහිත ව හෝ රහිත ව යළි සේවයේ පිහිටිවීමට හෝ යළි සේවයේ පිහීටුවීමට හිලව් වශයෙන් වන්දියක් ගෙවීමට කම්කරු විනිශ්චය සභාවට නියම කළ හැකිය. තවද, කුමන හෝ ආකාරයක අතවරයක ප්‍රතිඵලයක් ලෙස රැකියාවෙන් ඉල්ලා අස් වන යම් සේවකයෙකුට සම්ප්‍රයුක්ත සේවය අවසන් කිරීම පදනම මත කම්කරු විනිශ්චය සභාවක් ඉදිරියේ නඩුවක් ගොනු කළ හැකි බවත් මතක තබා ගන්න.

Top