හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය සුරකිමු. (813)

post-title

මානව අයිතිවාසිකම් යාන්ත්‍රනය විසින් මනුෂ්‍ය ජීවිතය වඩාත් හොදින් පවත්වාගෙන යාම උදෙසා හේතුවන සියලුම සාධකයන්, ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රනයන් විසින් ස්පර්ශ නොකළ සහ රාජ්‍ය විසින් සීමා කිරීමට උත්සාහ කරනු ලබන අයිතීන් බලමුළු ගැන්වීම උදෙසා මානව හිමිකම් යාන්ත්‍රනය හරහා ප්‍රයත්න දරනු ලබයි. ඒ අනුව මානව හිමිකම් හරහා මානව ප්‍රජාවට පිළිගන්වනු ලබන වැදගත් අයිතිවාසිකමක් ලෙස හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය පෙන්වාදිය හැකිය. වධ හිංසාවට ලක් නොවී සිටීමට ඇති අයිතිය යනු කිසිම ආකාරයකින් උල්ලංඝනය කළ නොහැකි අනුල්ලංඝනීය අයිතියකි. එසේම එය ජීවත්වීමට ඇති අයිතියේම තවත් ප්‍රකාශනයකි. 

ශාරීරික සහ මානසික හිංසනයන්ගෙන් තොර ජීවිතයක් ගත කිරීම උදෙසා මෙන්මසෑම සමාජ අවකාශයක් තුළදීම, සංස්ථාවක් තුළදීම සහ සෑම සමාජ බැදීමක් තුළදීම හිංසනයෙන් සහ පීඩනයෙන් තොරව කටයුතු කිරීම උදෙසා සියලු මිනිසුන් ප්‍රිය කරනු ලබයි.නමුත් වර්තමානයේ නිරන්තරයෙන් ඇසෙන අත්දකින සහ වර්ධනය වන තත්ත්වයක් බවට හිංසනය පත්ව ඇත.එය විවිධ කණ්ඩායම් විසින් විවිධ ස්ථරයන් යටතේ, විවිධ ප්‍රමාණයන් යටතේ සිදුකරනු ලබයි. එමෙන්ම හිංසනය සමාජයේ සෑම ව්‍යුහයක් තුළම මුල්බැසගත් සමාජය විසින් අනිවාර්ය කරගත් සමාජ යථාර්ථයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම රාජ්‍ය යාන්ත්‍රනය හරහා රාජ්‍ය බලාධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන් හරහා පුරවැසියන් වෙත හිංසනයන් මුදා හරිනු ලබයි. 

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 05 වන වගන්තිය යටතේ“ කිසිම පුද්ගලයෙකු වධ හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකිල්ලකට හෝ දඬුවමකට භාජනය නොකළ යුතුය” යන්න සම්බන්ධයෙන් දක්වා ඇත. හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම උදෙසා ප්‍රකාශයට පත්ව ඇති මූලිකම නීතිමය තත්ත්වය වශයෙන් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය පෙන්වාදිය හැකිය. මානව හිමිකම් ප්‍රකාශනයට අතිරේකව හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විවිධ විදේශීය සහ දේශීය නීතීන් හදුනාගත හැකිය. ඒ අනුව1966 දෙසැම්බර් 16 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද සිවිල් සහ දේශපාල අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හරහා හිංසනයට එරෙහිව අදහස් ඉදිරපත් කර ඇත. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තවදුරටත් සවිබල ගැන්විමේ අරමුණින් මෙම සම්මුතිය සම්මත කරගන්නා ලදි. මෙහි 07 වන වගන්තිය යටතේ “කිසිම පුද්ගලයෙකු වධ හිංසාවට හෝ කෲර අමානුෂික පහත් සැලකීමකට හෝ දඬුවමකට ලක් නොකළ යුතුය. විශේෂයෙන්ම කිසිවෙකු ඔහුගේ ස්වාධීන අනුමැතිය නොමැතිව වෛද්‍ය හෝ විද්‍යානුකූල අත්හදා බැලීම්වලට භාජනය නොකළ යුතුය” යන්න සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇත. තවදුරටත්1948 දෙසැම්බර් 10 වන දින වධ හිංසාවලට සහ වෙනත් කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිලිවලට හෝ දඩුවම්වලට එරෙහි අන්තර්ජාතික සම්මුතිය (Convention Against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment) හරහා වගන්ති 33ක් යටතේ හිංසනයට එරෙහිව, හිංසයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇත. මේ හරහා රාජ්‍ය පාර්ශවයන් විසින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ප්‍රකාශිත මූලධර්මවලට අනුකූලව මානව පවුලේ සියලුම සමාජිකයන්ගේ සමාන සහ අහිමි කළ නොහැකි අයිතිවාසිකමක් වශයෙන් හිංසනයට එරෙහි අයිතිය පිළිගැනීමට ලක්කරනු ලබයි. නිදහස, යුක්තිය සහ සාමය යන අයිතිවාසිකම් මනුෂ්‍යයාට නෛසර්ගික පදනම යටතේ හිමිවන බව පිළිගනිමින් කෲර අමානුෂික වධ හිංසාවන්ට එරෙහි අයිතිය විශ්වීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමට සහ රජ්‍යන්ගේ බැදීම සලකා බැලීම මේ හරහා සිදුකරනු ලබයි. 

හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම උදෙසා දේශීය වශයෙන්ද විවිධ නීතිමය තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇත. එහි වැදගත් ලියවිල්ල වශයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වාදිය හැකිය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවට අනුව“ කිසිම තැනැත්තෙකු වධ හිංසාවට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට ලක්නොකළ යුත්තේය” යන්න සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇත.එමෙන්ම තවදුරටත් 1994 අංක 22 දරන අමානුෂික හෝ නින්දිත සැලකිලිවලට හෝ අඩුවම්වලට එරෙහි සම්මුති පනත හරහා ද හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය ආරක්ෂා කර ඇත. තවදුරටත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ 23, 28, 30, 111, 123 සහ 281යන වගන්ති යටතේද හිංසනයට එරෙහි අයිතිය ආරක්ෂා කිරීම උදෙසා අවශ්‍ය කරනු ලබන නීතීමය තත්වයන් සඳහන් කර ඇත. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 312, 313, 314, 317 සහ 321 යන වගන්නි යටතේද හිංසනයට එරෙහි අයිතිය සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් යම් යම් නීතිමය තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇත.ඒ අනුව උක්ත නීතිමය තත්ත්වයන් හරහා හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීම උදෙසා සෑම පුද්ගලයෙකුටම අනුල්ලංඝනීය අයිතියක් හිමිවන බව පෙන්වා දී ඇත.

වධ හිංසාව දැරිය නොහැකි සහ සමහරවිට දීර්ඝ කාලීන වේදනවන් ගෙන දෙන ක්‍රියාවන් වන අතර එය මානසික හෝ ශාරීරික විය හැකිය.ඒ අනුව ශාරීරික වශයෙන් ගත් කළ පහරදීම, වේදනාකාරී ස්ථාන අවහිර කිරීම, විදුලිසැර, රුධිරයේ ඔක්සිජන් නොමැතිකම, රසායන ද්‍රව්‍යවලට ආවරණය කිරීම, දැඩි ආලෝකය, ලිංගික පහරදීම, ර‍‍ඳවා තබා ගැනීමේ අඩු තත්ත්වයන් සහ කුසගින්නේ තැබීම වේ.මානසික වශයෙන් ගත් කළ වාචික අතවර, මරණ තර්ජන, තවදුරටත් වධහිංසා පැමිණවීම, තම පවුල/ මිතුරන්ට හානි පැමිණවීම, මරණ දණ්ඩනය පිළිබඳව අපහාස කිරීම, බලය යොදා සිදුකරන හැසිරීම් (උදා:- ලිංගික සබදතා සඳහා බල කිරීම) තම ආගමට විරුද්ධ ක්‍රියාවන් කිරීමට බල කිරීම යන ආදී වශයෙන් සිදුවිය හැකිය.

වධ හිංසනයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී එය බොහෝ දුරට සමාජගත වන්නේ නිල බලයෙන් ක්‍රියාත්මක වන එනම් අධිකාරී බලයක් යටතේ ක්‍රියාත්මක වන ආයතනයන් හා පුද්ගලයන් හරහාය. එවැනි ආයතනයන් හරහා පුද්ගල‌යෙකුගෙන් හෝ තුන්වන පාර්ශවයකින් තොරතුරු ලබා ගැනීම හෝ පාපොච්චාරණයක් වැනි අරමුණු සඳහා කායික හෝ මානසික වශයෙන් දැඩි වේදනාවක් හිතාමතාම ඇති කරනු ලබයි නම් එවැනි ක්‍රියාවන් හිංසනය වශයෙන් දැක්විය හැකිය. එමෙන්ම යම් පුද්ගලයෙකු හෝ තුන්වන පාර්ශවයක් විසින් සිදුකරන ලද සිදුකර ඇති බවට සැක කෙරෙන ක්‍රියාවන් සඳහා එම පුද්ගලයාට හෝ තුන්වන පාර්ශවයට දඬුවම් කිරීම හෝ බිය ගැන්වීම හෝ බල කිරීම හෝ යම් ආකාරයක වෙනස් කොට සැලකීමක් මත පදනම් වූ කිසියම් හේතුවක් නිසාවෙන් එවැනි වේදනාවක් රාජ්‍ය නිලධාරියෙකු හෝ නිල බලයෙන් ක්‍රියා කරන වෙනත් පුද්ගලයෙකුගේ අනුදැනුම මත හෝ කැමැත්ත මත ඇතිවේ නම් එවැනි ක්‍රියාවන් හිංසනය යටතට ගැනේ. මේ තුළ වින්දිතයා සම්පූර්ණයෙන් පාලනය කිරීමට වධ හිංසාවලට හැකිය. මෙම පාලනය මගින් එනම් ශාරීරික හෝ මානසික වේදනාවන් වින්දිතයාට ගෙනදීම සිදුවේ. එවැනි හිංසනයක් සිදුකිරීම උදෙසා කරුණු කිහිපයක් බලපෑම් කළ හැකිය. එනම්,

  • වින්දිතයා‌ගේ තොරතරු ලබා ගැනීම.
  • වින්දිතයාට පාපොච්චාරණයට බලපෑම් කිරීම.
  • සැබෑ හෝ ව්‍යාජ අපරාධ සඳහා දඬුවම් කිරීම. 
  • කාලකණ්ණි සතුටක් ලැබීම.
  • වින්දිතයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඔහු හෝ ඇය දුර්වල බව එනම් මානසික සූදානම් වීම ඒත්තු ගැන්වීම.
  • වධ හිංසාව සාධාරණීකරණය කිරීමට ඉහළ නිලධාරියෙකුගේ නියෝග ලැබුණු බව පැවසීම. 

2016 වර්ෂයේදී වධ හිංසාව සහ අනෙකුත් කෲර අමානුෂික සහ පහත් කොට සැලකීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තා කරුවෙකු ඔහුගේ වාර්තා හරහා ලංකාව සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කර ඇත. “වධ හිංසාව වූ කලී පොදු භාවිතාවකි. එය අපරාධ විමර්ශන කටයුතුවලදී නිරතුරුවම සිදුවේ. ” යනුවෙන් ප්‍රකාශ කර ඇත. අපරාධ කටයුතු විමර්ශනය කරනු ලබන ආයතනයන් විසින් ඔවුන්ගේ විමර්ශනය කටයුතුවලදී හිංසන ක්‍රමවේදනයන් භාවිතා කිරීමට පෙළඹී ඇත්තේ සැකකරුවන්ට වධ හිංසාවන් පැමිණවීම හරහා ඔවුන් විමර්ශනය කරනු ලබන කාර්යන් සම්බන්ධයෙන් ධනාත්මක පාපොච්චාරණයක් ඔවුන් වෙතින් ලබා ගත හැකිය යන සිතුවිල්ල මතයි. නමුත් මීට දශක කිහිපයකට පමණ පෙර සිටම අපරාධ විද්‍යාඥයන් විසින් වධ හිංසනයන් හරහා සත්‍ය සොයා ගැනීමට නොහැකි බව අවධාරණය කර ඇත. නමුත් මානසික හා ශාරීරික වධයන්ට පත්කිරීම හරහා හෝ පැය ගණනාවක් ප්‍රශ්න කිරීම හරහා බොහෝමයක් සැකකරුවන් තමන් නොකළ වැරදි පිළිගන්නා බව අධිකරණ මනෝ වෛද්‍යවරුන් (Forensic Psychologist) විසින් ඔප්පු කර තිබේ.

හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීම උදෙසා සෑම මනුෂ්‍යයකුටම අනුල්ලංඝනීය අයිතියක් පවතී. එය නීතිමව වශයෙන් තහවුරු කිරීමකට, සුජාතකරණයකට ලක්කර ඇත. නමුත් සැබෑ යථාර්ථය තුළ එවැනි අයිතියක් මනුෂ්‍යන්ට පවතීය යන පිළිගැනීම බැහැර කිරීමකට ලක්කර ඇති ආකාරය උක්ත කාරණාවන් හරහා පැහැදිලි වේ. විශේෂයෙන්ම රාජ්‍ය මැදිහත්වීම හරහා රාජ්‍ය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන් හරහා හිංසනය සමාජගත කිරීමට කටයුතු කරනු ලබයි. මෑතකාලීනව ලාංකීය සමාජ සන්දර්භය තුළ නිර්මාණය වී ඇති අරාජිකත්වය තුළ ජනතාවගේ පීඩනය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්වන සෑම අවස්ථාවකදීම රාජ්‍ය මැදිහත්වීම මත එම ජනතා පීඩනයන්, විරෝධතාවයන් පාලනය කිරීම උදෙසා අධික මර්ධනකාරී හිංසන ක්‍රමවේදයන් අනුගමනය කරන ආකාරය දැකගත හැකිය. එය හුදෙක් ශාරීරීක සහ මානසික යන දෙඅංශයම ඔස්සේ මුදා හැරීමට රාජ්‍ය කටයුතු කරනු ලබයි. ඒ අනුව හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීම උදෙසා අවශ්‍ය කරන පසුබිම, අවශ්‍ය කරන භූමිය රාජ්‍ය විසින් නිර්මාණය කළ යුතු තත්ත්වයක් තුළ සහ එවැනි සන්දර්භයක් නිර්මාණය කරන බවට විදේශීයවත්, දේශීයවත් ප්‍රතිඥා දී ඇති රාජ්‍ය විසින්ම එම අයිතිය උල්ලංඝනය කිරීමට කටයුතු කිරීමේ දී ජනතාවට, පුරවැසියන්ට අත්වන ඉරණම කුමක් ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වේ. කෙසේ නමුත් ශාරීරික හා මානසික හිංසනයන්ගෙන් තොර ජීවිතයක් ගත කිරීමට සෑම මනුෂ්‍යකුටම අයිතියක් හිමිවන අතර එය කිසිවෙකුට උදුරා ගැනීමට නොහැක. ඒ නිසාවෙන් හිංසනයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ඇති ඔබේ එම අයිතිය ආරක්ෂා කර ගැනීම උදෙසා සෑම මොහාතමක අවධියෙන් සිටීම ඉතා වැදගත් වේ.

Top