නඩු කතා - 03 ට්‍රයින් අපහාස නඩුව (795)

post-title

ලංකා ඉතිහාසයේ තවත් රසවත් නඩු කතාවක් ගැන නඩු කතා ලිපි මාලාව හරහා ලියන්න ඕන කියලා හිතාගෙන පොත් , පත්තර අවුස්සන වෙලාවෙදි මට හම්බවෙනවා තවත් අපූරු නඩුවක්. ඒ ට්‍රයින් අපහාස නඩුව. මේ නඩුවට අදාළව මේ ලිපියට කරුණු රැස් කරන්න කියවපු සමහර පත්තර ලිපිවල තිබුණු හෙඩ් ලයින් කිහිපයක් මම මුලින්ම මෙහි සඳහන් කරන්නේ මේ කතාවේ රසය වැඩි කරන්න ඒක උදව්වක් වේවි කියලා හිතාගෙන.

"නීතිපති පැරදවූ සිංහලේ පත්තර නඩුව" ලංකාදීප පුවත්පත මේ නඩුව ගැන වාර්තා සටහනක් තියලා තිබුණේ එහෙම

දිනමිණ පුවත්පත මේ ගැන සටහන් කරන්නේ

"ඔලිවර්ටත් බැට දුන් වමේ පත්‍රකලාවේදිනිය" මාතෘකාව යටතේ.

ඕං ඔය වගේ ලස්සන මාතෘකා එක්ක මේ නඩුව ගැන යම් යම් ප්‍රමාණයෙන් කරුණු ඒ ඒ ලිපිවල දක්වා තිබුණා. ඉතින් අද අපේ කතාව අන්න ඒ ට්‍රයින් අපහාස නඩුව පිළිබදව.

ලංකා නඩු ඉතිහාසය තුළ ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූ නඩුවක් ලෙස ට්‍රයින් අපහාස නඩුව හෙවත් සර් ඔලිවර් ගුණතිලක - තේජා ගුණවර්ධන අපහාස නඩුව හදුන්වන්න පුලුවන්. 

මේ අපූරු නඩුවට අදාළ කතාව මෙහෙමයි.

1952 දී පිහිට වූ නිදහස් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට 'ට්‍රයින්' නමින් පත්තරයක් පැවතුණා. ඕං ඔය පත්තරේ 1954 ජූලි මස 01 වෙනිදා, හරියටම කිව්වොත් ට්‍රයින් පත්තරේ අන්තිම මුද්‍රණය සිද්ධ වුණු දවසේ හරි අමුතු ලිපි කිහිපයක් පළ වෙනවා. ඒ වෙනකොට අග්‍රාණ්ඩුකාර පදවියට නම් කරලා හිටපු සර් ඔලිවර් ගුණතිලක මහතා මහ බැංකුවේ අධිපති සමග එකතු වී ජාත්‍යන්තර වංචාවක නියැළුණාය කියලා ට්‍රයින් පුවත්පතේ ලිපි මඟින් විස්තර කෙරෙන්න ගන්නවා. ඔන්න ඔය ලිපිය ලංකා දේශපාලනය ඇතුළේ කතිකාවතක් නිර්මාණය කෙරෙන්නට තරම් ප්‍රබල හේතුවක් වීමේ අවදානමකුත් ඒ වෙනකොට තියෙන්න ඇති නේද කියලා නිකමට වගේ අපිට කල්පනා කරන්ට පුලුවන්. කොටින්ම පත්තරේ පළවෙනි මුද්‍රණයට අමතරව පිටපත් 4000ක තවත් විශේෂ මුද්‍රණයකුත් කරන්න වෙන තරමට සමාජය ඇතුළෙන් මේ ලිපියට ඉල්ලුමකුත් තිබිලා තියෙනවා.

කොහොම නමුත්,

මේ පුවත්පත හරහා ඔලිවර් ගුණතිලකයන්ට අපහාස වූවා යැයි පවසමින් 1954 අගෝස්තු 5 වන දින තේජවතී ගුණවර්ධන ට එරෙහිව එවකට නීතිපති රාජ නීතීඥ හේම හෙන්‍රි බස්නායක මහතා විසින් ක්‍රියාත්මක වී ශ්‍රේෂ්ඨාධිකරණයට චෝදනා ඉදිරිපත් කෙරෙනවා.

විශේෂම සිදුවීම වෙන්නේ අධිකරණ ඇමතිව සිටි රාජ නීතිඥ ඊ.බී.වික්‍රමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට විධානයක් නිකුත් කරමින් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට දැනුවත් කිරීමයි. මේං මේ ක්‍රමය විශේෂයි. මේ ක්‍රමයට අපරාධ නඩු විසඳීමේදි ජූරි සභාවක් යොදා ගන්නෙ නැහැ. අපි ඒ ක්‍රමය හදුන්වනවා "ට්‍රයල් ඇට් බාර්" විසඳුම් ක්‍රමය කියලා. ඒ ක්‍රමය යටතේ නඩුව විභාග වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙක් ඉදිරියේ. ඉතින් මෙන්න මේ අපහාස නඩුව පිළිබඳ සාකච්ඡා වෙන්නෙත් ඔය කියන ට්‍රයල් ඇට් බාර් එකක් ඉස්සරහා.

ඒ අනුව, අග්‍රවිනීශ්චයකාර සර් ඇලන් රෝස් මහතා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ඊ.එච්.ටී.ගුණසේකර මහතා, ඇම්.ඇස්.පුල්ලේ මහතා යන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිශ්චය සභාව ඉදිරියේ මේ නඩුව සාකච්ඡාවට ගැනෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් එවකට නීතිපති රාජ නීතිඥ හේම හෙන් රි බස්නායක මහතා, එවකට සොලිසිටර් ජෙනරාල් රාජ නීතිඥ ටී.ඇස්.ප්‍රනාන්දු මහතා, රජයේ නීතීඥ වී.ඇස්.ඒ පුල්ලෙනායගම් මහතා, රජයේ නීතීඥ ආර්.ඇස්.වනසුන්දර මහතා පෙනී සිටිනවා.

විත්තිය වෙනුවෙන් රාජ නීතීඥ ඩී.ඇන්.ප්‍රීට් මහතා, අධි නීතීඥ ඒ.ඇස්.වනිගසූරිය මහතා, අධිනීතිඥ ඇල්.මුතුතන්ත්‍රී මහතා, අධි නීතීඥ ඇෆ්.ආර්.ඩයස් මහතා ත් ට්‍රයින් පත්තරයේ අයිතිකරුවන් වූ නිදහස් පත්‍ර සමාගම වෙනුවෙන් රාජ නීතීඥ ඩී.ඇස්.ජයවික්‍රම මහතා සහ අධිනීතිඥ ස්ටැන්ලි ද සොයිසා මහතා පෙනී සිටිනවා.

අපි දැන් බලමු මේ නඩුව සිදුවුණු විශේෂිත සිදුවීම් පිළිබඳව.

ප්‍රථමයෙන්ම නඩුව ආරම්භකිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර් විසින් විත්තිකාරියට චෝදනා පත්‍රය කියවා විත්තිකාරිය චෝදනාවට වැරදිකරුද? නිවැරදිකරුද ? යන්න විමසන්නට වෙනවා. ඔන්න ඔය වෙලාවෙදි ඇය වෙනුවෙන් පෙනී සිටි රාජනීතිඥ ප්‍රීට් මහතා නැඟී සිට මූලික විරෝධතා ඉදිරිපත්කරන්නට වෙනවා. මෙතනදි මේ ප්‍රීට් මහතා කවුද කියන කාරණාව සම්බන්ධයෙන් මම විශේෂ සටහනක් තැබිය යුතුමයි. 

එතුමා, රාජ්‍ය ද්‍රෝහී කැරලි නායකයෙකු ලෙස නම් දරා සිටි කෙන්යාවේ ජෝමෝ කිනියාතා එම බරපතළ චෝදනාවලියෙන් නිදහස් කර ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් සමඟ කරට කර තර්ක කර ජය ලබාගත් නීතිඥයෙක්. ඉතින් ඒ ප්‍රීට් මහතා මෙම ට්‍රයින් අපහාස නඩුවෙදි මූලික විරෝධතාවන් දෙකක් ඉදිරිපත් කෙරෙනවා. ඒ දෙක හරිම රසවත් තර්ක දෙකක්.

  1. ට්‍රයල් ඇට් බාර් නැමැති මෙම විශේෂ අධිකරණ ක්‍රමය මෙම නඩුවට යොදාගත නොහැකි බව.

ඒ සඳහා කරුණු දක්වමින් එතුමා ප්‍රකාශ කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 440(අ) වගන්තියේ දක්වා ඇති අවස්ථාවලදී පමණක් මෙම ක්‍රමය භාවිතා වන බවත් ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය යටතේ වූ වරදක් හෝ මහජන කැළඹීමක, මහජන හැඟීමක ඇවිස්සීමක් උක්ත සිදුවීමේ නොවී ඇති බැවින් අධිකරණ අමාත්‍යවරයා විසින් විධානය කළ මෙම විශේෂ අධිකරණය හමුවේ මෙම නඩුව විභාග නොකළ යුතු බවයි.

  1. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 385 වැනු වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් විත්තිකාරියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ චෝදනා සාවද්‍ය බව.

එහිදී ප්‍රීට් මහතා පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 385 යටතේ නීතිපතිවරයාට කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට චෝදනා ඉදිරිපත් කළ හැක්කේ එංගලන්තයේ නීතිපති විසින් රජය වෙනුවෙන් එසේ චෝදනා ඉදිරිපත් කල හැකි කාර්‍යයන් සඳහා පමණක් බවත් ඒ වනවිට සර් ඔලිවර් ගුණතිලක පාලන තන්ත්‍රයට අයත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු නොව අග්‍රාණ්ඩුකාර තනතුරට නම් කළ පුද්ගලයෙකු පමණක් වන බැවින් ඔහුද සාමන්‍ය පුද්ගලයෙකු වන හෙයින් මෙලෙස චෝදනා ගොනු කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මෙකී මූලික විරෝධතාවන් පිළිබඳව දින පහක් පමන තිස්සේ තර්ක කර අවසානයේ 1954 නොවැම්බර් 9 වන දා මෙම මූලික විරෝධතාවන් සම්බන්ධයෙන් අධිකරණය සිය මතය ප්‍රකාශ කරන්නට වුණා. 

එහිදී අධිකරණය ප්‍රකාශ කරන්නට වූයේ පළමු විරෝධතාවයට අනුව මෙම පුවත්පත් ලිපිය හරහා මහජන කැළඹීමක් සිදුවී නොමැති බවයි. නමුත් මහජන හැඟීම් ඇවිස්සීමක් සිදුවී ඇත්ද යන්න පරීක්ෂා කළ යුතු බවත් ජනතාව තුළ කටකතා පැතිර යමින් කුතුහලයක් මතුවීම පවා මහජන හැඟීම් ඇවිස්සීමක් සේ සළකා බලා නිසි ක්‍රියාපටිපාටියට අනුව අධිකරණ ඇමතුවරයා විධානය සිදුකර ඇති බැවින් ට්‍රයල් ඇඩ් බාර් යටතේ මෙම නඩුව කැඳවිය හැකි බවයි.

දෙවන විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණය සිය තීරණය ලෙසින් දීර්ඝ තර්ක විතර්ක කරුණු දැක්වීම් ගණනාවක් සළකා බලා ප්‍රකාශ කරන්නට වූයේ සර් ඔලිවර් ගුණතිලකයන් පාලන තන්ත්‍රයට අයත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවයි.

ඒ අනුව මූලික විරෝධතා නිෂ්ප්‍රභා වීමෙන් අනතුරුව නඩුව විභාග වන්නට පටන් ගන්නවා. ඔන්න දැන් තමා වැඩේ හරියටම පටන් ගන්නේ.

පැමිණිලිකාර පාර්ශවය විසින් තර්ක කරන්නට වෙනවා අදාළ දිනයේ පුවත්පත පළවුණේ විත්තිකාරියගේ අනුදැනුම යටතේය කියලා. නමුත් මේක අතිශය භාරදූර්‍ය කාර්‍යයක්. මොකද ඒ වෙනකොටත් ට්‍රයින් පත්තරය වෙනුවෙන් වේතන ලබන වෙනම කර්තෘ කෙනෙක්, පත්‍රයේ මුද්‍රණකරු හා ප්‍රකාශක වශයෙන් නම්කරන ලද කෙනෙක් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අදාළ ලිපියේ කතෘ තේජා ගුණවර්ධන යැයි ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂිත් පැමිණිල්ල සතුව නැති වෙනවා. ඔන්න ඔය තත්ත්වයත් එක්ක විත්තිය විසින් දක්වපු කරුණු දැක්වීම් ද සළකා බලා පැමිණිල්ලේ පළවෙනි තර්කය බිඳ වැටෙනවා.

පැමිණිල්ල විසින් ඉදිරිපත් කරපු තවත් තර්කයක් වෙන්නේ අදාළ දිනයේ පුවත්පත මුද්‍රණයට කඩදාසි රැගෙන ආවේ විත්තිකාරිය බවත් මෙතරම් පිටපත් ප්‍රමාණයකට අදාළ කඩදාසි ප්‍රමාණය ඇය දැන සිටියේ අදාළ ලිපියේ වැදගත්කම පිළිබඳ දැන සිටි හෙයින් බවත් පත්තරයේ පිටපත් ජූනි මස 30 වෙනි දින විත්තිකාරිය විසින් ස්වකීය මෝටර්‍රථයෙන් රැගෙන ගොස් ඇති බවත් ය.

නමුත් ජයවර්ධන මහතාගේ සාක්ෂි දැක්වීමෙන් කඩදාසි රැගෙන ආ වාහනයේ විත්තිකාරිය සිටි බවට වූ චෝදනාව පිළිගත නොහැකි බවටත්, ජයවර්ධන මහතා, ගණකාධිකාරි මහතා හා කොලට් නම් ලිපිකරු යන අයගේ සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පිටපත් වලට අවැසි කඩදාසි ප්‍රමාණය විත්තිකාරිය දැන සිටි බවට වූ චෝදනාවත් , හරස් ප්‍රශ්න ඇසීමෙදී ජයවර්ධන මහතාගේ සාක්ෂි පරස්පර වීම මත ජූනි මස 30 දින පත්තර රැගෙන ගිස් ඇත්තේ විත්තිකාරිය ගේ වාහනයෙන් යන චෝදනාවත් පිළිගත නොහැකි බවට අධිකරණය ප්‍රකාශ කරන්නට වුණා.

අවසානයේ 1954 දෙසැම්බර් 3 දින අධිකරණය සිය අවසාන තීරණය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නට වූයේ විත්තියේ කරුණු නොවිමසාම විත්තිකාරිය චෝදනාවෙන් නිදහස් බවයි.

උක්ත නඩුව හා සම්බන්ධ පුවත්පතේ කොටස් අයිතිය සම්බන්ධයෙන් එවකට ප්‍රධාන දේශපාලන පක්ෂයක්ද සම්බන්ධව සිටි අතර ඒ පිළිබඳවද මෙම නඩුවේදී සාකච්ඡා වූ නමුත් අවැසි වැදගත්ම කරුණු කිහිපය පමණක් සටහන් කොට මෙලෙස නවතිමි.

Top