නඩු කතා - 02 තිස්මඩ සෝමලතා මුණසිංහ ඝාතන නඩුව (789)

post-title

කඩුගන්නාව පොලිස් වසමට අයත් තිස්මඩ ගම්මානයෙන් බිහි වූ පළමු උපාධිධාරිනිය වූයේ අල්විස් වෙදමහතාගේත් එන්සොහාමි මහත්මියගෙත් වැඩිමහල් දියණිය වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී සෝමලතා මුණසිංහ මෙනවියයි. 

ප්‍රදේශයේ ආදර ගෞරවයට පත්ව සිටි මැය මහනුවර පරිපාලන අධ්‍යාපන පරිවර්තකයෙකුව සේවයේ නියුතුව සිටි ගාමිණී ජයසිංහ සමඟ විවාහ වීමට ගිවිසගෙන තිබුණු අතර ඒ වනවිට පරිපාලන සේවා විභාගයට සූදානම් වෙමින් මහනුවර - ගැටඹේ වැවිලි අමාත්‍ය කාර්‍යාංශයේ සේවයේ නිරත විය.

නමුත් අවාසනාවක මහතේ තරම වූයේ ඇය 1971 ජුනි මස 25 වන දින ඝාතනයට ලක් වීමයි.

මැණික්දිවෙල මහා විද්‍යාලයෙන් හා වැඩිදුර අධ්‍යාපනය පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයෙන් හදාරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කළ මැයගේ ඝාතනය පිටුපස රාජ්‍ය බලය අල්ලා ගැනීමට තරුණ පිරිස් සංවිධානය කළ අරගලයේ හස්තයන් නොතිබීම ද ඝාතනය සම්බන්දයෙන් කුතුහලය දනවන්නට හේතු විය.

ගම්මානයට පෑයූ සඳ අමාවකව බැස ගියේ මුළු පරිසරයම වැසිබර ගතියකින් පසුවූ දිනකය.

දුෂ්කර ගම්මානයක් වූ මෙහි ගමනාගමනය ද අතිදුෂ්කර විය. මහනුවර සිට තිස්මඩට කෙළින්ම පැමිණීමට බස් නොතිබිණි.පැමිණිය හැක්කේ මහනුවර සිට මැණික්දිවෙලට බසයෙන් පැමිණ නැවත එතනින් තිස්මඩට යෑමට වෙනත් බසයකට ගොඩ වීමෙනි. මාරයාගේ බැල්ම වැටී තිබූ එදින ද සෝමලතා සුපුරුදු පරිදි රාජකාරිය අවසන් කොට නිවසට පැමිණෙමින් සිටියාය. මැණික්දිවෙලින් බැස ගන්නා ඇයට තිස්මඩ දක්වා දිවෙන බස් රථය අල්ලා ගැනීමට නොහැකි වන්නේ මාරයාගේ ඔච්චමක් සේය. අවසානයේ සැතපුම් එකයි කාලක් පමණ වූ ගුප්ත මාවත දිගේ තනිවම ඉදිරියට ගමන් කිරීමට ඇය නොපසුබට වන්නේ ඇයට හෝ පවුලේ කිසිවෙකුට පොදු සතුරන් සමාජයේ නොසිටි බැවිනි. 

අවාසනාවක මහත....

'හිරේ වැටුණ නිළමෙගේ වත්ත' නමින් ප්‍රසිද්ධ වූ හුදකලා ඉඩමක මාරයා සැඟවි සිට ඇත. එම ඉඩමේ සැඟවී සිටි සාහසිකයින් විසින් ඇයව අල්ලාගෙන එම පාලු ඉඩමට රැගෙන යන්නට විය.

මේ වනවිටත් සෝමලතාගේ පැමිණිමේ ප්‍රමාදය පිළිබදව අල්විස් වෙදමහතා කලබල වී සිටියේය. අවට අසල්වාසීන්ට, මිතුරු මිතුරියන්ට දැනුවත් කර විමසා බැලූ නමුත් සෝමලතා පිළිබඳ ආරංචියක් නොවිණි.

______________________

ජුනි මස 27 වන දින දී සෝමලතාගේ මියගිය දේහය සොයාගන්නට හැකිවිය.

එතැන් සිට මරණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන්නට විය. මෙම මිනීමැරුම ඇසින් දුටු සේනපාල නැමති වෘත්තියෙන් ලී ඉරන්නෙක් විසින් මෙලෙස ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන්නට විය.

ඔහුට අනුව,

ඔහු "හිරේ වැටුණු නිළමගේ වත්ත"ට සවස් වරුවේ ගමන් කරන්නේ කොස් ගෙඩියක් කඩාගැනීම සඳහාය. එහිදී ඇසුණු ශබ්ද පිරික්සා බැලීමට ළං වනවිට ඔහු දකිනුයේ නැගිට සිටි ප්‍රේමදාසයි (3 වන චූදිතයා). තවදුරටත් ළං වී බලන විට සේනපාල දැක ඇත්තේ පුද්ගලයෙකු බිම හාන්සි කොට සිටින අතර එම පුද්ගලයාගේ සිරුර මත කෙනෙක් වාඩිවී සිටින බවයි. ඒ අන් කවරෙකුවත් නොව ප්‍රේමදාසගේ සොහොයුරු රිචඩ් (1වන චූදිතයා) ය. 

රිචඩ් විසින් සේනපාලව දැක ඔහුට තර්ජනය කර ඇති අතර සේනපාල ඉන් තැතිගැන්මට පත්ව ඇත. රිචඩ් ගේ බලකිරීම මත සිද්ධිය වන ස්ථානයට පැමිණෙන සේනපාල දකිනුයේ බිම හාන්සි කර ඇත්තේ අල්විස් වෙදමහතාගේ දියණිය සෝමලතා බවයි. තවදුරටත් දෙවන විත්තිකරු විසින් ඇගේ කකුල් දෙකෙන් අල්ලා සිටිය අතර ඇගේ සාරියේ කොටසක් කටේ ඔබා තිබෙනුද දකින්නට වී ඇත.

බිය වූ සේනපාල එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළත් සාහසිකයින්ගේ තර්ජනයන් හමුවේ ඔහු පාලනය විණි. පසුව රිචඩ් විසින් තම ඉණේ සඟවාගෙන සිටි අඟල් නවයක් පමණ දිග මල්කපන පිහියක් ගෙන සෝමලතාගේ ගෙල කපා ඇත. පසුව මළ සිරුර මහපාරට ගෙනැවිත් තබා ඇති අතර සෝමලතා පැළඳ සිටි කරාබු දෙක ප්‍රේමදාස විසින් ගලවා ගන ඇත.

_____________________

  • ජූලි මස 08වන දා ප්‍රශ්න කිරීම් සඳහා සේනපාලව සිරභාරයට ගන්නට විය.
  • ජූලි මස 16 වනදින තෙක් මහනුවර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර සේනපාල පිස්කල් භාරයේ තැබිණි.

සේනපාලගේ සාක්ෂි දීම් මත චූදිතයින් අත්තඩංගුවට ගැණිනි. දෙවන චූදිතයාගේ නිවසේ කුස්සියේ දුමේ සඟවා තිබී ඝාතනයට භාවිතා කළ මල් කපන පිහියද හමුවිය.

නමුත් අධිනීතිඥ චිට්ටි මහතා නඩු විභාගයේදී සේනපාලගේ සාක්ෂි වලට තදින්පහර දෙමින් පැවසූයේ සේනපාල ද අපරාධයට සම්බන්ධකරුවෙකු වන අතර ඔහු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සපයනුයේ හුදු ආත්මාරක්ෂාව උදෙසා බවයි.

සේනපාලගේ සාක්ෂි පිළිගන්නේ නම් පළමු සහ දෙවන විත්තිකරුවන් අපරාධයට සහභාගී වී ඇතත් තුන්වන විත්තිකරු ඊට සහභාගී වී නැතැයි යන තර්කය අධිකරණය හමුවේ ප්‍රශ්නගත විය. විනිසුරු මඬුල්ලේ ප්‍රධාන විනිසුරු එස්.එන්.ජී.ප්‍රනාන්දු මහතාගේ නිගමනය වූයේ තුන්වන විත්තිකරු නිදොස්කොට නිදහස් කළ යුතු බවයි. නමුත් පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සිසිල් ගුණවර්ධන මහතා, චූදිතයින් වෙනුවෙන් අධිනීතිඥ විජය වික්‍රමරත්න මහතා සමඟ අධිනීතිඥ ඒ.සී.ද සොයිසා මහතා පෙනී සිටි අතර ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ සේනපාලගේ සාක්ෂි වල සත්‍යතාවයේ අභියෝගයක් නොවූයෙන් විනාඩි 65ක් පුරාවට ජූරිසභාව කළ සාකච්ඡා වෙන් අනතුරුව විත්තිකරුවන් තිදෙනාම වරදට වරදකරුවන් කෙරෙන්නට විය.

මෙම තීන්දුවට එරෙහිව අපරාධ අභියාචනාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු වූ අතර 1973 ජූලි වලදී අග්‍රවිනිශ්චයකාර එම්.එන්.ජී.ප්‍රනාන්දු විනිශ්චයකාර අලස් සහ තාමෝදර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙය විභාග විය.

එහිදි පළමු සහ දෙවන විත්තිකරුවන් අපරාධය සඳහා සෘජුව සම්බන්ධ වූ බවට සැකයක් නොවුණ නමුත් තුන්වන චූදිතයා සතුව පොදු චේතනාවක් වීද යන්න ප්‍රශ්න ගත තර්කයක් විය.

ඔහු සතුව පොදු චේතනාවක් වී නම් එය ඔප්පු කළ යුත්තේ ප්‍රවර්ධක සාක්ෂි මගිනි. නමුත් නඩුව පුරාවට එවන් ප්‍රවර්ධක සාක්ෂි ඉදිරිපත්වීමක් සිදුවී නොතිබුණි. මේ බැව් අභියාචනාධිකරණයේදී චූදිතයින් වෙනුවෙන් නීතිඥවරු කරුණු දක්වා පැහැදිලි කරන්නට ද විය. ප්‍රධාන විනිසුරු අග්‍රවිනීශ්චයකාරතුමා ප්‍රකාශ කළේ තුන්වන විත්තිකරු සතුව පොදු චේතනාවක් නොතිබුණු අතර එහෙයින් ඔහු නිදහස් කළ යුතු බවයි.

නමුත්, තුන්වන චූදිත විත්තිකූඩුවට නැග ඔහුගේ නිදහසට කරුණු කියාපෑමට කටයුතු කර නොතිබුණි.


මේ හේතුව සළකා බලා අවසාන වශයෙන් අභියාචනා විනිසුරු මඬුල්ලේ නිගමනය වූයේද තුන්වන විත්තිකරු සම්බන්ධයෙන් එළඹී තිබූ තීරණය අසාධාරණ නොවන බවයි. ඒ අනුව තුන්වන විත්තිකරුගේ අභියාචනා පෙත්සමද නිෂ්ප්‍රභා කරන්නට විය.

Top