නඩු කතා - 01 වංගෙඩියක් මිනීමරුවා කළ සතාසිවම් නඩුව (783)

post-title

කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක මහ දවල් ගෙල සිර කර ස්ත්‍රියක් මරා දැමූ සතාසිවම් නඩුව දින 55ක් තිස්සේ මහාධිකරණයේ ජූරි සභාවේ පැවති නමුත් අවසානයේ කිසිවෙක් වරදකරු නොවීම ලංකා නඩු ඉතිහාසයේ වැදගත් සිදුවීමකි. 

1951 ඔක්තෝම්බර් මාසයේ බම්බලපිටියේ සෙනට් ඇල්බන් පෙදෙසේ අංක 7 දරන 'ජයමංගල' නිවසේ ඝාතනයක් සිදුවී ඇති බව පොලීසියට ආරංචි වන්නේ එම නිවසේ සේවය කළ මෙහෙකාරියක වූ පොඩිහාමි සිද්ධිය දැනගැනීමෙන් පසු ඇතිවූ තත්ත්වයෙන් අසල්වාසීන් හරහා ය.  ඒ අනුව පොලීසිය පැමිණ වහා පරීක්ෂක කටයුතු ආරම්භ කෙරෙන්නට විය. සිද්ධිය දැනගත් සතාසිවම් මැතිණියගේ සොයුරියත් සොයුරියගේ සැමියා වූ එවකට පහතරට වැවිලිකරු සංගමයේ සභාපති ඇස්.පත්මනාදන් මහතාත් සිද්ධිය වූ ජයමංගල නිවසට පැමිණ ඇත. නමුත් සතාසිවම් මැතිණියගේ සැමියා වූ සතාසිවම් මහතාගේ පැමිණීමක් සිදු නොවුණි. 

දින දහයක් පමණ නිවසේ සේවය කළ විලියම් නැමැති තරුණයා මේ වනවිටත් අතුරුදන්ව සිටි අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. ඔහු පිළිබඳ පරීක්ෂණ කෙතරම් වීද යත් ඔහු සොයා දෙන්නෙක්ට තෑග්ගක් ලබා දීමට පවා පොලීසිය කටයුතු කරන්නට විය. අවසානයේ විලියම්ව සොයාගැනීමට ලැබෙනුයේ තිස්සමහාරාමයේ හුංගම ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටියදී ය. ඒ සඳහා පොලිස් පරීක්ෂක වික්‍රමරත්න මහතාට ගොවියෙකුගේ වෙස් ගැනීමටද සිදු වූයේ ය. 

නඩුවෙහි ප්‍රධාන සැකකරුවෙකු බවට සතාසිවම් මහතා ද පත්විය. ඊට හේතු වූයේ ඔහුට ඉවෝන් ස්ටීවන්සන් නැමැති කාන්තාවක සමඟ ප්‍රේම සබදතාවක් ඇතැයි සැකකරමින් සතාසිවම් මැතිණිය දික්කසාද නඩුවක් පනවා තිබීමත් අදාළ ඝාතනය සිදුවූ දිනයේ සතාසිවම් මහතා එහි පැමිණ ගොස් තිබීමත් ය..

මෙම නඩුව වංගෙඩියේ නඩුව යැයි ප්‍රසිද්ධ වීමට හේතුවක් වූයේ මේ සඳහා වරදකරුවෙකු නොවීමයි. මියගිය සතාසිවම් මැතිණියගේ හතර හැවිරිදි දියණිය අදාළ ඝාතනය සම්බන්ධයෙන් මෙහෙකාර පොඩිහාමිට කී ආකාරයට පරීක්ෂා කර බලන විට සතාසිවම් මැතිණියගේ සිරුර තිබුණේ ගරාජයේ ය. ඇගේ බෙල්ල උඩින් වංගෙඩියක්ද තබා තිබුණි.

මෙම නඩුවට වරදකරුවෙකු නැති වූයේ ඇයි ද යන්න පිළිබද සැළකිල්ලට ලක් කිරීම වැදගත් ය. ඒ සදහා බලපෑ සාක්ෂි විශාල ප්‍රමාණයක් ඇත. වඩාත් වැදගත් ම සාක්ෂිය වූයේ වෛද්‍ය සාක්ෂි ය. කෙටියෙන් ම පැවසුවහොත් මරණය සිදුවූ වේලාව නිශ්චය කර ගැනීමට නොහැකි වීම මේ සදහා විශාල ව බලපා ඇත. 

ජී.ඇස්.ද සෙරම් මහතා මිනිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නාගරික හදිසි මරණ පරීක්ෂක ජේ. ඇන්. තිරුචෙල්වම් මහතා මරණ පරීක්ෂණය සිදු කරන්නට විය. සෙරම් මහතා ප්‍රකාශ කරේ ඔහු හවස 6.55 ට දේහය පරීක්ෂා කරන විට උෂ්ණත්වය අංශක 93.2ක්ව පැවති බවත් සිරුර දරදඬු වීමට පටන් ගෙන ඇත්තේ සවස 5.55 සිට බවත් , ශරීර අභ්‍යන්තරයේ තිබූ ඉදි ආප්ප කැබැලි වලට අනුවත් මරණය සිදුවිය හැක්කේ උදෑසන 10.00 - 11.30 ත් අතර බවත් ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ අභ්‍යන්තර තුවාල 11 ක් හා බාහිර තුවාල 18 ක් පැවති අතර ගෙල සිරකිරීමෙන් මරණය සිදුවී ඇති බවයි.

මෙම සාක්ෂිත් සමග මරණය වූ වෙලාව අතිශය වැදගත් වේ. 

අවසානයේ දී 1952 අප්‍රේල් 9 වෙනිදා දින 74ක් පුරා පැවති මූලික සාක්ෂි කැදවීම අවසන් කර  ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීම ආරම්භ කරන ලද මෙම නඩුවේ රසවත් ම කොටස දිග හැරෙනුයේ එතැන් සිට ය.

මේ වන විටත් , එනම් 1951 ඔක්තෝම්බර් 20 වැනි දින මූලික සාක්ෂි විභාගය සඳහා (1) සතාසිවම් මහතා විසින් සතාසිවම් මැතිණිය මැරූ බවටත් (2) විලියම් ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවටත් චෝදනා එල්ල වී තිබුණි.

එහිදී විලියම් ගේ සාක්ෂි දීමත් සමග සතාසිවම් මහතා 10.30 පමණ වන විට  ජයමංගල නිවසින් පිටවුණ බවට සාක්ෂි විත්තිකාර පාර්ශවයෙන් රැස් කරගෙන තිබී ඇත. ඒ අනුව බලන කළ මරණය සිදු වුණ වේලාව නිශ්වය කර ගැනීම වඩා වැදගත් වෙයි. එම නිසාම පැමිණිලිකාර පාර්ශවයෙන් මෙන් ම විත්තිකාර පාර්ශවයෙනුත් වෛද්‍ය සාක්ෂි කැදවා ඇත.

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන්, මුලින්ම අධිකරණය කැඳවනු ලැබ ඇත්තේ ලංකා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජී.ඇස්.ඩබ්.සෙරම් මහතාව ය. ඉහත ජේදයක දක්වා ඇති කරුණු වලට අනුව එතුමා සාක්ෂි දෙමින් පවසා ඇත්තේ මරණය සිදුවූයේ 10.00 ත් 11.30 අතර වන බවත් මරණය 11.30ට ආසන්න විය යුතු බවත් ය. මේ සාක්ෂිය පැමිණිලිකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළත් විත්තියේ වාසියට හේතුවෙන්නක් විය.

ලංකා විශ්වවිද්‍යාලයේ ශල්‍යකර්මය පිළිබඳ මහාචාර්ය , මහරෝහලේ ශල්‍ය වෛද්‍යවරයා වූ දොස්තර මිල්‍ රෝයි පෝල් මහතා සාක්කි දෙමින් පවසා ඇත්තේ මරණය වී ඇත්තේ උදේ 7.55ත් 9.55ත් අතර බවය. 

ලංකා විශ්වවිද්‍යාලයේ ශල්‍යකර්ම පිළිබද මහාචාර්ය මහ රෝහලේ බාහිර ශල්‍ය වෛද්‍යවරයා වූ දොස්තර ඇම්.වී.පී.පීරිස් මහතා සාක්කි දෙමින් ප්‍රකාශ කර ඇත්තේ  මරණය සිදු වී ඇත්තේ උදේ 7.42 ත් 10.35 ත් අතර බවය.

විත්තිය විසින් මෙම නඩුවේ වෛද්‍ය සාක්ෂි සඳහා ජාත්‍යන්තරයෙන් ප්‍රාමාණික විද්වතුන් කැඳවනු ලැබ ඇත. ඒ අනුව කැදවූ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ඇඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍යංශාධිපති සර් සිඩ්නි ස්මිත් මහතා ප්‍රකාශ කර ඇත්තේ මරණය වි ඇත්තේ උදෑසන 11 ට බවය.

කෙසේවෙතත් අවසානයේ විවිධ සාක්ෂි ගණනාවක් කැදවීමෙන් අනතුරුව දීර්ඝ නඩු විභාගයක් අවසන් කරමින් 1953 ජුනි 23 දින සතාසිවම් මහතා මිනීමැරුම් චෝදනාවෙන් නිදහස් කර ඇත. 

එසේ ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 283 යටතේ කොන්දේසි සහගත සමාවක් ලබා සිටි විලියම් තවදුරටත් අනීතිකව සිරභාරයේ තබාගෙන සිටින බවට හබෙයාස් කෝපස් ආඥා පත්‍රයක් අධිනීතීඥ ක්‍රිස්ටි සෙනවිරත්න මහතා විසිනි යොමු කර ඇත. එහි ප්‍රතිඵලයක් විදියට 1953 ජුනි 28 දා විලියම් ද නිදහස ලබයි.

අවසානයේ දී සතාසිවම් මැතිණියගේ ඝාතනයට වරදකරු කවුරුද යන්න ඉතිහාසය තුළ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන්නට සමත් ව ඇත. 

පැමිණිල්ල මෙහයවීම - අධිනීතිඥ පී.ටී.තමෝදරම් මහතා සමඟ රජයේ අධිනීතිඥ ජේ.ඒ.පී.චෙරුබිම් මහතා

විත්තිය වෙනුවෙන් - අධිනීතිඥ කේ.සී.නඩරාජා මහතා සමඟ අධිනීතිඥ කොල්වින් ආර්.ද සිල්වා මහතා (සතාසිවම් මහතාවෙනුවෙන්)

අධිනීතිඥ ක්‍රිස්ටි සෙනවිරත්න මහතා(විලියම් වෙනුවෙන්)

Reference - THE QUEEN v. M.SATHASIVAM 131 NLR 1953

Top