ප්‍රේමකරනවුන්ට බලපාන ලංකාවේ නීතිමය කරුණු (332)

post-title

හැගීම් කියන්නෙ මේ ලෝකේ ඕනම මනුස්සයෙක් ව ජීවත් කරවන හුස්ම වගේ දෙයක්. ආදරය කියන්නෙත් මිනිස්සුන්ගේ ජීවිත ජීවත් කරවන අතිශය සුන්දර හැගීමක්. සුනිල් ආරියරත්න මහතා 'ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්තයයි ' කියූවට සැබෑ ජීවිතයේ දි නම් ඕනම ආදර සම්බන්ධතාවයක් තුළ ආදරය මෙන් ම රාගයත් තියෙනවා. එය ඇත්තෙන්ම අතිශය සාමාන්‍ය තත්වයක්. සිග්මන් ෆ්‍රොයිඩ් පවා පවසන්නේ Sex and Hunger මනුස්සයෙක්ට තියෙන මුලික ම අවශ්‍යතා දෙකක් බව යි. ඒ කෙසේ වුවත් ලංකාව වැනි රටක සෙක්ස් කියන්නේ බොහෝ පුද්ගලික සහ සමාජ - සංස්කෘතික කාරණා මත ප්‍රසිද්ධියේ විවෘත ව සාකච්ඡා කිරීමට අකැමැති ම මාතෘකාවක්. අනෙක් අතට, ලංකාව කියන්නෙ ම නිදහසේ ආදරය කරන මිනිස්සුන්ට නිරන්තරයෙන් නීතියෙන් සහ සදාචාරයෙන් තහංචි පැනවෙන රටක්. අද මම මේ ලිපියෙන් ඔබට ගෙන එන්නෙ ආදරේ කරන පෙම්වතුන්ට වැදගත් වෙන සහ ඔවුන් දැනගත යුතු ම නීතිමය කාරණා කිහිපයක් පිළිබඳව යි.

ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් මාලාව යටතේ එන 14(1) උප වගන්තියට අනුව ඕනෑම පුද්ගලයකුට ශ්‍රී ලංකාව තුළ යාමේ ඒමේ නිදහස හිමි වෙනවා. එය සරල ව කිව්වොත්, ඕනෑම පුද්ගලයකුට ඕනෑම ස්ථානයක ගැවසීමට අයිතියක් හිමි වෙනවා. එසේ වුවත්, යම් පුද්ගලයෙක් හෝ පෙම්වතුන් යුවලක් පොදු ස්ථානයක ලිංගික කාර්යයක හෝ යම්කිසි අශෝභන හැසිරීමක නිරත වනවා නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට බලය හිමි වෙනවා. 

පොලිසිය ව්සින් පාක් වලදි බීච් වලදි, සිනමා ශාලාවලදි අශෝභන ලෙස හැසිරුනා යැයි චෝදනා කරමින් පෙම් කරන ස්ත්‍රීන්ට සහ පිරිමින්ට අවවාද කරන අවස්ථා මෙන් ම ඇතැම් යුවලවල් අත් අඩංගුවට ගත් අවස්ථා ද අපට අහන්න දකින්න ලැබෙනවා. හැබැයි ලංකාවේ ප්‍රසිද්ධ ස්තානයක හෝ රූම්ස් වලදි වයස අවු 16 ට වැඩි කපල්ස් අත් අඩංගුවට ගැනීමට, ඒ වෙනුවෙන් ම පැනවූ නිශ්චිත නීතියක් නොමැත. ඒ කෙසේ වුවත්, පොලිසිය විසින් වර්තමානයේ බොහෝ අවස්ථාවලදී පෙම්වතුන් අත් අඩංගුවට ගැනීමට යොදා ගන්නේ 1841 අයාල ආඥා පනතේ විධිවිධානයන් ය. අයාල ආඥා පනතේ 71 උප වගන්තිය යටතේ පොදු ස්ථානයක හෝ ඒ ආසන්නයේ බරපතල අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමේ බලය පොලිසියට තිබෙනවා. නමුත් මෙම පනතේ සදහන් වන ' බරපතල අශිෂ්ට ක්‍රියා ' හෝ ' අශෝභන ක්‍රියා ' යන්නට ගැනෙන්නේ කුමන ස්වරූපයේ හැසිරීම් ද යන්න පනත තුළ හෝ වෙනත් නීතියකවත් , අධිකරණ තීන්දුවක වත් පැහැදිලි ව අර්ථ නිරූපනය කර නොමැත. මේ නිසා, මෙම අයාල ආඥා පනතේ විධිවිධාන, පෙම්වතුන් ඉලක්ක කරගෙන ම යොදා ගත හැකි දැයි යන්න නිශ්චිත පිළිතුරක් නොමැති නෛතික ගැටලුවකි. 

ඇතැම් අවස්ථා වලදි මහජනයාට අප්‍රසන්නතාවයක් ඇතිවන අන්දමේ හැසිරීමක නිරත වූ බවට චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය යටතේ සදහන් ' මහජන කරදරය ' නම් වරද යටතේ පෙම්වතුන් ව අත් අඩංගුවට ගන්නා අවස්ථා ද දැකිය හැකියි. පවතින නීති තත්ත්වය සහ ප්‍රයෝගික තත්ත්වය මෙසේ වුවත්, ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමග ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවක හෝ සමාජ සම්මතය අනුව අශෝභන ක්‍රියාවක නිරත නොවී, කරට අත දාගෙන හෝ අතින් අල්ලාගෙන සිටින අවස්ථාවක ඔබ අශෝභන ලෙස හැසිරුණා යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගැනීමට උත්සහ කලහොත් එයට එරෙහි වීමට ඔබට අයිතියක් තිබෙන බව හොදින් මතක තබා ගන්න. හේතුව, එවැන්නක් අත්තනෝමතික ව සිර භාරයට ගැනීමක් වන නිසා එය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) උප වගන්තිය යටතේ අපට ලබා දී ඇති අයිතිවාසිකමක් කඩ කිරීමක් වෙනවා. නමුත්, බහුතරයක් පෙම්වතුන් මෙවැනි අවස්ථාවකදී ඔවුන් කිසිදු වරදක් නොකලත් පොලිස් නිලධාරින්ට හෝ අදාල බලධාරීන්ට එරෙහි ව කිසිදු අදහස් දැක්වීමක් සිදු වන්නෙ නැති තරම් ය. 

පොලිසිය විසින් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව සමහර Rooms පරීක්ෂා කරන අවස්ථා ද අපට නිතර අහන්න දකින්න ලැබෙනවා. එවැනි අවස්ථාවක වයස අවු 18ට වැඩි පුද්ගලයන්ට මෙන් ම වයස අවු 16ට වැඩි පුද්ගලයන්ටත් කිසිදු ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. නමුත්, අවු 16ට අඩු ඕනෑම කෙනෙකු ව අත් අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් තිබෙනවා. එවැනි අවස්ථාවක දණ්ඩ නීති සංග්‍රහයේ 350 සහ 352 වගන්තිවල එන අපහරණය නම් වරද යටතේ අත් අඩංගුවට ගත හැකියි. එම 352 වගන්තියට අනුව, වයස අවු : 14ට අඩු පිරිමියකු හෝ වයස අවු : 16 අඩු ස්ත්‍රියක් නීත්‍යානුකූල භාරකාරයාගේ කැමැත්තක් නොමැති ව ගෙන යාම හෝ ගෙන යාමට පෙළඹවීම නීතිමය වරදකි. ලංකාවේ පවතින නීතිය අනුව වයස අවු 16 සම්පුර්ණ කල ඕනෑම අයකුට තමන්ගේ කැමැත්ත මත වෙනත් අයකු සමග ලිංගිකව එකතු වීමට නීතියෙන් බාධාවක් නොමැත. නමුත්, මෙහි ඇති අවාසනාවන්ත තත්ත්වය වන්නේ අවු 16,17 වයස්වල ගැහැනු ළමයින් ලිංගිකව එක්වීම නිසා ගැබ් ගත්තත් ඔවුන්ට වයස අවු: 18 සම්පුර්ණ වනතුරු සාමාන්‍ය නීතිය යටතේ ව්වාහ වීමට නොහැකි වීම යි. මේ නිසා, ළමා මව්වරුන් බිහි වීමේ අවාසනාවන්ත තත්ත්වයක් දැනටමත් උදා වී ඇත. මෙය ලංකාවේ නීතියේ තිබෙන විශාල දුර්වලතාවයක්. මෙහිදී, විවාහ වීමේ වයස සහ ලිංගික කැමැත්ත දීමේ වයස එකම වයස් මට්ටමකට ගෙන ආ යුතුයි.

මෙම ප්‍රායෝගික යථාර්ථයන් සහ නීතියේ තිබෙන අඩුපාඩු වෙනස් කරගැනීමට නම් ඒ සදහා අප අතරින් ම සංවාදයක් , කථිකාවතක් ඇති විය යුතුයි. රටේ තරුණ තරුණියන් තමන්ගේ අයිතීන් සහ නිදහස වෙනුවෙන් ප්‍රගතිශීලී අන්දමට මැදිහත් වීමක් සිදු කල යුතුය. එමෙන්ම , පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරින් ද මීට වඩා ලිoගිකත්වය සහ ආදරය සම්බන්ධ ව විවෘත මනසකින් බැලීම වැදගත් ය. 

Top