වෙඩි නොවදින ඇදුම් සැල්ලුවට හදන්නයි මාගේ ට්‍රයි එක - දක්ෂිත (209 වන ලිපිය)

post-title

අද අපි වචන සංලාපයට එකතු කර ගන්නෙ වෙනස් ම චරිතයක්. ඔහු නමින් දක්ෂිත............. . ඔහු මේ වෙද්දි ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ. ඒ තමන්ගෙ ආචාර්ය උපාධිය හදාරන ගමන්. ඔහුගෙ ආචාර්ය උපාධි නිබන්ධන පර්යේෂණය ලෝකයේ බොහෝමයක් දෙනාගෙ අවධානයට ලක් වූ එකක්. ඒ තමයි වෙඩි නොවදින ඇගලුම්වල බර අඩු කර ගැනීම කියන එක. ඉතින් ලෝකයේම අවධානයට ලක්වන එහෙම විෂය කෂේත්‍රයක ලංකාවෙ කෙනෙක් පර්යේෂණයක නිරත වෙනවා කියුවාම ඒක රටක් විදියට අපිටත් ආඩම්බරයක්. ඉතින් අපි කතා කරමු අද සංලාපයේ දි දක්ෂිත එක්ක මේ දේවල් ගැන.

  1. දක්ෂිත ඔබ ගැනකෙටිහැදින්වීමක් කරමුද?

මං ගැන කෙටියෙන් කියුවොත් මගේ නම දක්ෂිත. මගේ ගම කැළණිය. මං මූලික අධ්‍යාපනය ලැබුවෙ කොළඹ අසෝක විද්‍යාලයෙන්. ඊට පස්සෙ නාලන්දා විද්‍යාලයට ඇතුල් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අරඹන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙන්. එහිදී මම B.Sc. Eng උපාධිය හැදෑරුවා. පස්සෙ මම ඕස්ට්‍රේලියාවට එනවා වැඩිදුර අධ්‍යාපනය සදහා. 2018 වසරේ මං Sydney University School of Civil Engineering එකේ ආචාර්ය උපාධිය හැදෑරීම ආරම්භ කරා. දැන් ඉන්නේ එහි අවසන් වසරෙ.

  1. මුලින් ම අපි කතාකරමු ඔබ ඇයි මේ වගේ වෘත්තියකට ප්‍රවිශ්ට උනේ කියන එක ගැන

වෘත්තියක් කිව්වට තාම මම full-time student කෙනෙක් නෙ. හැබැයි වෙනත් රැකියාවකට නැතුව මේ පැත්තට එන්න මූලික හේතුව මන් 2015-2016 Germany වල කරපු internship එක කිව්වොත් හරි. ඒ ජීවිතේ හරිම නිදහස්. අලුතෙන් දෙයක් හිතන්න, අලුත් දෙයක් කරන්න අවසථාව ලැබෙනව වගේම පීඩනය අඩුයි කියල හිතුනා. Industry එකේ ජීවිතේ හිතන තරම් සුන්දර නෑ කියල තමයි ඒකෙ හිටපු කට්ටිය කිව්වෙ. ඊට අමතරව industry එකේ ඒ දවස්වල හිටියා මගේ මෙන්ටොර්, පුබුදුඅයියා. මේ පැත්තට එන්න ඒකත් ලොකු හේතුවක් වුණා.

  1. ලංකාව වගේ රටක ඉගනගන්න ගොඩක් අය පස්සෙ ලංකාව අතෑරලා යනවා කියලා සමාජයේ මැසිවිල්ලක් තියෙනවා. ඔබ මොකද්ද ඒ ගැන හිතන්නෙ

මෙහෙමයි ඒ කතාවෙ දෙපැත්තක් තියෙනවා. අපේ කට්ටියට (බොහෝමයක් දෙනාට) 1 වසර ඉදන් 13 වසර වෙනකනුත්, එතන ඉදන් තව අවුරුදු 4ක් campus යනකනුත් අපේ රටේ රජය බිලියන 400කට අධික මුදලක් වැය කරනවා. එහෙම කරාට පස්සෙ පිටරටකටගිහින් PR 1 ගහගෙන එහෙට වෙලා ඉන්න එකේ අවුලක් නැහැ කියන්න බෑ කාටවත්.

අනෙක් අතට මන් දැකලා තියෙන සමහරක් දෙනා පිටරටවල හිටියත් ලංකාවට ලොකු සේවයක් කරනවා. එහෙම අයත් ඉන්නවා. තව ඉතින් උපාධියක් මට්ටමට ම ඉගෙන නොගත් අයට මට හිතෙන විදියට ලංකාවෙ තියෙන අවස්තා සීමිතයි සමහර රටවලට වඩා.

කොහොම හරි ඉතින් මේ brain drain 1 නවත්තනවා කියලා ආපු වියත්මග වගේ පල් හොරු නැතුව, system change 1ක් ඕන.

  1. ඔබ වැඩිදුර අධ්‍යාපනය හදාරන්න තෝරාගන තියෙන විෂය ක්ෂේත්‍රය ගැන අපි කතාකරමුද?

දැනට නම් වෙනස් විෂය ක්ෂේත්‍රයක වැඩ කරගෙන යනවා.

Ph.D. එකට නම් මම කරන්නෙ දැනට පාවිච්චි වෙන soft armour වල බර, ඝනත්වය අඩුකරලා, ක්‍රියාකාරිත්වය (performance) වැඩිකරන්න උත්සහ කරන එක. ඒක කරන්නෙ වෙනස් ආකාරවල ආසක්තද්‍රව්‍ය (adhesive) සහ බහුඅවයවක (polymer) පාවිච්චි කරලා. ගිය සතියෙ කරා අපි gas gun testටිකක්, ඒකෙන් හොද ප්‍රතිඵල ලැබිලා තියෙනවා. බලමු ඉස්සරහට වැඩේ හරියයිද කියල.

මීට අමතරව blast and impact effects on structures (metals, polymers, auxetics) සහ sustainability එහෙම කරනව. මේ ඔක්කොගෙන්ම පර්යේෂණ පත්‍රිකා 10ක් පමණ පළකරලා තියෙනවා. මම මොරටුවේTextile and Apparel Engineering Department එකත් එක්ක තාම වැඩකරනවා. තව මෙහේ UNSW at ADFAඑක්ක වැඩකරනවා.

  1. ඔබගේ පර්‍යේෂණය කොයි ආකාරයට ඉදිරියේදී ලෝකයට වැදගත් වෙයි ද?

දැනට තියෙන ක්‍රමවලට වඩා අඩුවියදමකින් ක්‍රියාකාරිත්වය වැඩිකරන ක්‍රමයක් තමයි මගෙ නිබන්ධනයෙ තියෙන්නෙ. ඉතින් ලංකාව වගේ රටකට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි. දැනට පාවිච්චි වෙන ක්‍රමවල අපි දැක්ක අඩුපාඩුවක් තමයි තරමක් ඉහළ උෂ්ණත්වවලදී ක්‍රියාකාරිත්වය අඩුවීම. ඒ නිසා අපි විවිධ උෂ්ණත්වවලදී මෙන් ම fatigue loading යටතේ මෙම ද්‍රව්‍යයේ හැසිරීමත් විශේෂයෙන් සළකා බලනවා. ඒකත් අපි දැක්ක තව අඩුපාඩුවක්. මේ සියල්ල ඉතාම අඩු වියදමින් සහ සරළව නිපදවිය හැකි අන්දමින් කිරීම තමයි මේකෙ තියෙන වාසිය. Gas gun සහ commercial projectile impact test යොදාගෙන අන්තිම අත්හදා බැලීම් ටික කෙරෙන්නෙ. හැබැයි මේවට යන අධික වියදම නිසාම finite element analysis වැනි ක්‍රමවේදයන් බහුලව ම භාවිතා වෙනවා මගෙ නිබන්ධනයේ.

මේක වෙනත් භාවිතයන් සදහා වුනත් යොදාගන්න පුලුවන් ඉතා සරල ක්‍රමවේදයක්, pressure vessels, fan blade containment systems වගේ.

ඒ ගැන පර්යේෂණ පත්‍රිකා කීපයක් පළකරන්න අදහසක් තියෙනව. එන විදියට බලමු නේද?

  1. අනාගතයේදි ලංකාවට ආයෙමත් එන්න අදහසක් තියෙනවා ද?

උපාධිය අවසන් වෙච්ච ගමන් ලංකාවට එනවා. ඇවිල්ලා job එකක් හොයාගන්න එක තමයි වැඩේ ඉතින්.

  1. ඔබ හදාරන විෂය ක්ෂේත්‍රය තුළ ලංකාව වගේ රටක කොහොම රැකියා අවස්තාද තියෙන්නෙ?

Industry එකේ රැකියාවකට නම් කිසිම කැමැත්තක් නෑ. Sydney University ලෝකයේ පළවෙනි විශ්වවිද්‍යාල 50 අතර තියෙන නිසා, ලංකාවේ විශ්වවිද්‍යාලයක ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය වගේ රැකියාවක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ මොකද නිදහසේ වැඩකරන්න පුලුවන් කියලා හිතෙන නිසා.

  1. ඔබගේ පර්‍යේෂණ ප්‍රතිඵල භාවිත කරමින් ලංකාවට ප්‍රයෝජනවත් දේවල් කරන්න අදහසක් තියේද?

එහෙම කරන්න නම් අදහසක් තියෙනවා. හැබැයි ඉතින් ඇවිල්ලා තමයි බලන්න වෙන්නෙ නේද? මේ වගේ පර්යේෂණ සදහා අවශ්‍ය උපකරණ (Split-Hopkinson bar, gas gun, drop tower) ලංකාවෙ නැති නිසා මූලිකවම. කවදහරි මේ වගේ උපකරණ ටිකක් දවසක ලංකාවට ගෙන්නන්න බලාපොරොත්තුවක් නැතුවා ම නෙමේ. එතකන් මෙහේ (Australian) විශ්වවිද්‍යාල එක්ක ඒ වැඩටික කරගෙන යන්න පුලුවන්. කලින් කියුවා වගේ ඉස්සරාට එන විදියක් බලලා හොදම දේ කරන්න හිතන් ඉන්නෙ.

  1. පහුගිය දවසක ඔබ සමාජ සේවා කටයුතුවල නිරත වුනා නේද? අපි කැමතියි ඒ ගැනත් කතා කරන්න

ආ... ඒක මේ ඇත්තටම පොඩියට පටන් ගත්ත වැඩක්. මගේ උපන්දිනයට ලංකාවෙ හොස්පිටල්එකකට (NHSL Neurology Ward) අත්‍යවශ්‍ය උපකරණයක් අරන් දුන්නා සමාජ මාද්‍ය (Facebook) හරහා කරපු fundraiser එකකින්. ඔක්කොටම 375,000 වගේ වැයවුණා. විශේෂත්වය වුනේ මේ මුලු මුදලම වගේ දවස් දෙකක් වැනි ඉතා සුළු කාලයක් ඇතුළත රැස්වීම. ඉතින් ඊට පස්සෙ මේ වගේ වැඩගොඩක සම්බන්ධීකාරක වැඩ කීපයකුත් කරා.

ඒ කටයුත්තට දායකවුන හැමෝටම ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේඅවුරුද්දෙ ඊට වඩා ලොකු campaign එකක් කරලා වටිනාකමින් වැඩි, රෝහලකට අත්‍යවශ්‍ය උපකරණයක් අරන් දෙන්න හිතාගෙන ඉන්නවා. වැඩත් එක්ක කාලය හොයාගන්න අපහසුයි. ඒත් ඒ වැඩේට උත්සහයක් ගන්නවා.

මේවට අමතරව ඉතින් වෙන පොඩි පොඩි වැඩත් කරගෙන යනවා. ලංකාවෙ විශ්වවිද්‍යාලයක ළමයෙක්ට ශිෂ්‍යත්වයක් දෙන ඒව වගේ දේවල්. ඒක කරන්නෙ මෙහේ අපේ ගෙදර ඉන්න set එක (KK අයියා, කාවින්ද, කුශාන් සහ මම). අපි(27th Batch Textile Engineering) මේ ළගදි අපේ මොරටු campus එකටත් ශිෂ්‍යත්ව දෙකක් ආරම්භ කරා. ඒක කරන්නෙ අපේ batch එකේ 34 දෙනෙක් එකතු වෙලා.

තව ඉතින් මේ වගේ ශිෂ්‍යත්ව එකක් දෙකක් ආරම්භ කරන්න අදහසක් තියෙනව. ඉතින් මතක් කරන්න ඕන මේවා ඔක්කොම කරන්න පුලුවන්කම ලැබෙන්නෙ වටේ ඉන්න යාලුවො ටික නිසා. මේ වැඩවලට නන් අයුරින් දායක වෙන හැමෝටම මගේ ස්තුතිය හිමිවෙන්න ඕන.

10 .අවසානයේදී කෙනෙක්ට ඔබ වාගේම පර්යේෂණ කටයුතු කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ ඔවුන්ට ලබාදෙන අවවාදය මොකද්ද ?

මෙහෙමයි ඉතින්, ඒක තීරණය වෙන්නෙ තමන්ට යන්න අවශ්‍ය කොතනටද කියන එක මත. මං වගේ පර්යේෂණම කරලා campus එකකට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක්ට නම් කියන්න තියෙන්නෙ PhD scholarship දැන් ගොඩක් තරගකාරී වෙලා. ඒ නිසා ගොඩක් වෙලාවට M.Sc (or M.Res) උපාධියක් වගේ තියෙනව නම් හොදයි. තව ඉතින් හොද supervisor කෙනෙක් සහ මාතෘකාවක් තෝරගන්න එකත් කරන්න ඕන. ඊට අමතරව තම තමන්ගෙ timeline එක අවුල් කරගන්නෙ නැතුව වැඩටික plan කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නෙ.



Top