ඉතිහාසයත් එක්ක මුහුදට හේදෙන මන්නාරමේ ඩොරික් බංගලාව (162 වන ලිපිය)

post-title

ලෝකයේ අනෙක් රටවල් එක්ක ගත්තාම ලංකාව කියන්නේ සාපේක්ෂව පුංචි රටක්. ඒත් නිකමට ඇහුවොත් කෙනෙක්ගෙන් මේ පුංචි ලංකාවේ හතර වටේම කරක් ගහල තියනවද කියල අන්න එතැනදී බොහෝ දෙනක් නිරුත්තරයි. මොකද ලංකාවේ හතර වටේම කියන්නේ බස්නාහිර දකුණ නැගෙනහිර වගේම උතුරත් අයිති වෙන කුලකයක්. ඒත් සැරිසරන බොහෝ දෙනෙක්ට උතුරු නැගෙනහිරට ගිහින් ඒ පරිසරයේ හුස්මක් ගන්න අමතක වෙනවා. ඒක ඇත්තටම කටුක ඉතිහාසය විසින් අපට අමතක කරවන ලද්දක්. කොහොම උනත් ඔන්න දැන් ඉඩකඩ තියනවා නිදහසේ හුස්මක් ගන්න ලංකාවේ ඉහළ කෙලවරටත් යන්න. ඉතිං සැරිසරන්නෝ විදියට බහුතරයකට මග ඇරෙන ලංකාවේ උතුරු කෙළවරේ ලස්සනම තැන් මග හරවා ගන්න අපි නම් සූදානම් නැහැ. අන්න ඒ නිසාම මේ ලියවෙන්නේ උතුරු කෙළවරේ තල් අරණක සැරිසරපු සටහනක්.

මන්නාරම් දූපත ගැන ගිය සතිවල ලියැවුණු ලිපි පෝළිමක අපි කතා කළේ තලෙයිමන්නාරම් ජැටියෙන් පටන් අරන් ඉතිහාසය අන්දමන්ද කරන ආදම්ගේ පාලම මත්තෙන් මන්නාරමේ අලි ගස් සෙවණට ඇවිදගෙන ගියපු ගමන.

ඉතිං මන්නාරම් දූපතේ එහා මෙහා ගෙවපු දවසක අවසානයකට ඔන්න මෙන්න තියෙද්දී ආයිමත් අපි රාජේශ් සහෝදරයාගේ ගෙදරට ලඟා වුණේ උඩුදුවන බඩගින්නකුත් එක්ක. ආගන්තුක සත්කාරයෙන් නම් කිසිදු අඩුවක් නොවුණු බත් පිඟානම පිරිලා තිබුණේ මදි නොකියන්න රස බෙදපු මුහුදු කෑමවලින්. ඒ සියල්ලක් අහවර වෙන තැන දවසේ අවසානයත් සටහන් වෙලා තිබුනේ අපි නොදැනුවත්වමයි. තල්වැටකින් සීමාවුණු වෙල්යායක් ඉස්සරහ පිහිටල තිබුණු රාජේශ් සහෝදරයාගේ නිවහන දවසක අවසානයක් වෙනුවෙන් හොඳම නවාතැනක් වුණා.

දවල් දවස හොද හැටි එළිය දුන්නු ඉර යන්තමට මලානික වෙද්දි තල් ගස් අතරින් වැටුණු ලා රතුපාට ඉරඑළිය මැව්වේ මන්නාරමේ සැන්දෑවක ලස්සන මේ තරම් කියල කියන්න බැරි තරම් සුන්දර සිතුවමක්. ඒත් එක්කම වියළි පරිසරය පිහගෙන එන හුළඟ ගෙනාවේ දවල් දවසම රත්වුණු ශරීර කූඩුවලට සුවදායක බවක්. ඉතිං ඒ මන්නාරමේ සැරිසරපු දවසක අවසානයක්. ඒත් පුලුවන්ද සුන්දරම දවසකට එහෙම ලේසියෙන් අවසානයක් දෙන්න ? ලේසියෙන් බැහැ.

“ දෙයාර් ඊස් අ වොන්ඩර් ප්ලේස් තංගමනී. කියන්නේ අල්ලි රාණි කොට්ටෙයි. හෑව් යු බීන් දෙයාර් ”

ඒ රාජේශ් අයියා. ඔහුගේ වචනවල තිබ්බේ මන්නාරමේ ඔහු කතා කරන දමිල භාෂාව නෙවෙයි. මේ අපේ ජාතිය කියන එකම භාෂාවකුත් නෙවෙයි. මනුස්සකම පිරුණු විශ්වීය භාෂාවක්. ජාතිය -ආගම - භාෂාව - කුලය කියන්නේ අපි හැමෝම මිනිස්සු කියන පොදු රාමුව ඇතුළේ දී මොන තරම් අර්ථ ශූන්‍ය දේවල් ද කියල දැනෙන්නේ අපි හිර වෙලා ඉන්න කූඩුවලින් එළියට බැස්සාම ; කොටින්ම අපිම බදා ගෙන ඉන්න භෞතික මානසික සීමාවන්වලින් එළියට පැන්නාම. කතාවට අදාළ නැති වුණත් ඒ ටික ලිව්වේ හිමීට හිතන්න. ඉතිං කොහොම වුණත් ඒ සොඳුරු ඇරයුමත් එක්ක අපි ඉක්මන් වුණේ බහින ඉරට කලියෙන් අල්ලි රාණි කොටුවට යන්න. සැන්දෑ අහස මන්නාරම් මුහුද රත්තරන් පාට කරන අතරට ටික වෙලාවකින් අපි නැවතුනේ මුහුදු සීමාවෙම පිහිටන විශාල තැනිතලා බිමක. බැලූ බැල්මටම දකින්න පුළුවන් වුණේ තැනිතලා බිම කෙළවරක ගරා වැටෙන ගඩොල් ගොඩනැගිල්ලක් එක්ක ඊට යාබදවම පිහිටි අහස සිප ගන්න ස්මාරකයක්. 

අල්ලි රාණි කොට්ටෙයි ! ඒක ටිකක් නුපුරුදුයි වගේ. ඒකට හේතුව වෙන්නේ මෙම ගොඩනැගිල්ලට අල්ලි රාණි කොට්ටෙයි කියලා නම දෙන්නේ දමිළ භාෂාවෙන් වීම. විශේෂයෙන් මෙහි ඉතිහාසය ගත්තාම විවිධ කාල වකවානු තුළ මෙම ගොඩනැගිල්ල ආශ්‍රය කර ගෙන විවධ කතාවන් ඉතිහාසයේ ලියැවෙන බව දකින්න පුළුවන්. මන්නාරමේ බහුතරයක් දමිල ජනතාව මේ ගොඩනැගිල්ලට අල්ලි රාණි කොට්ටෙයි නැතිනම් අලි රාණි කොටුව විදියට නම් දුන්නත් බොහෝ දෙනෙක් අතර මෙම ගොඩනැගිල්ල ප්‍රසිද්ධ වෙන්නේ ඩොරික් බංගලාව විදියට. ඒකට හේතුව වෙන්නේ මෙම ඩොරික් ගොඩනැගිල්ල ලංකාවේ පලවෙනි ආණ්ඩුකරු වෙන ෆෙඩ්රික් නොර්ත් විසින් සාදවන ලද්දක් වීම. ඒත් ඇත්තටම ඇයි මුහුද යාබදවම මෙවන් ගොඩනැගිල්ලක්? ඒකට ඔහුට විශේෂ හේතුවක් තිබුණද? අන්න ඒ කාරණා වලදී අපිට සිද්ද වෙන්නේ අතීතය හොයාන කිමිදෙන්න.

මේ ඩොරික් බංගලාව ගොඩ නැගෙන්නේ වර්ෂ 1802-1804 කියන කාල සීමාවේ දී. ඒ ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ඔහු විසින් ම නිර්මාණය කරන ලද සැළසුමකට අනුව. මන්නාරම් මූදු බොක්කේ ශිලා වතුර මුහුදු තීරයට නුදුරින් පිහිටන ගල් පර්වතයක් උඩ දර්ශනීය ආකාරයෙන් නිමවුණු මේ ගොඩනැගිල්ල විධිමත් ගෘහ නිර්මාණ ශිල්පයකට ගොඩ නගන ලද්දක්. කොහොම වුණත් මන්නාරම කියන්නේ සෞම්‍ය සිසිල් දේශගුණයක් සහිත වටපිටාවක් තියෙන ප්‍රදේශයක් නොවෙන නිසාම ඩොරික් ගොඩනැගිල්ල නිම වෙන්නේ දැවැන්ත ගඩොල් බිත්ති සහිතව. ඒ ඇතුළත උෂ්ණත්වය අවම කරන අරමුණින්. දැනට පවතින නටඹුන් අතර හමු වන්නේ පහත මාලයේ නටඹුන් පමණක් වුනාට ඩොරික් ගොඩනැගිල්ල කියන්නේ එවකට තිබුණු දෙමහල් ගොඩනැගිල්ලක්. ඒ වගේම සුන්දරම නිවස්නයක්. Discription Of the Ceylon (1807) කෘතියේ පවා “ අවිවාදයෙන්ම එය මෙම දිවයිනේ පැවති මනස්කාන්තම ගොඩනැගිල්ල වූ බව” සඳහන් වෙනවා. එසේම “ඩොරික්” යන්නෙහි ග්‍රීක බසින් අර්ථය වෙන්නේ “දැවැන්ත කුළුණු සහ ආරුක්කුවලින් යුක්ත වූ” යන අදහස. ඉතිං එයාකාරයේ ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළ නිසාවෙන් මේ ගොඩනැගිල්ල ඩොරික් යන නමින් හැඳින්වුණු බවට පවතින්නේත් තවත් මතයක්. කෙසේ නමුත් මේ ඩොරික් නිවහන ලංකාවේ මුතු කර්මාන්තයේත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. විශේෂයෙන් ම ලංකාවේ මුතු කර්මාන්තය පැවතුනේ ශිලා වතුර සහ කොන්ඩච්චි ප්‍රදේශ ආශ්‍රිතව. එවකට බටහිර ජාතීන් සතු වූ මෙරට මුතු කර්මාන්තය ඔවුන් විසින් අධීක්ෂණය කළේ මේ ඩොරික් බංගලාව ආශ්‍රය කර ගනිමින්. ඒ නිසාවෙන්ම මෙහි බොහෝ බටහිර පාලකයන් විෂයෙහි නවාතැන් සැපයීමද සිදු වුණා. ඉංග්‍රීසීන් සම්බන්ධ ඉතිහාසය එහෙම වෙනකොට උඩරට රාජධානිය සම්බන්ධ කර ගෙන මේ ආශ්‍රිතව ගොඩ නැගෙන්නේ තවත් කතාවක්. ඒ උඩරට රාජධානියේ කරලියද්දේ බණ්ඩාරගේ දියණිය දෝන කතරිනා මෙහි සිර කර ගෙන සිටි බවට. එම සිද්ධිය පදනම් කර ගනිමින්ම දමිල භාවිතයක් ලෙස අල්ලි රාණි කොට්ටෙයි ලෙස මෙම ඩොරික් බංගලාව අදටත් හැඳින්වෙනවා.

මුහුදට පාට එකතු කරන සැන්දෑ අහසත් එක්ක අපූරුම වටපිටාවක් මවන මන්නාරම් මූදු බොක්කේ ෆෙඩ්රික් නොර්ත් බංගලාව ඇත්තටම අපේ තල් අරණේ සැරිසර අමතක නොවෙන තරම් සුන්දර කළා. ඒ ඇස් ඉස්සරහා හුස්ම වැටෙන එහි අතීතයක් එක්ක. කොහොම වුණත් බහින ඉරත් එක්ක මන්නාරමේ දකින්න විඳින්න ලස්සනම තැනක් වෙන මේ ඩොරික් බංගලාව අද නම් පවතින්නේ ගරා වැටෙමින්. මුහුද ආසන්නයෙන් පිහිටන නිසාවෙන්ම වෙරළ ඛාදනයත් එක්ක බොහෝ දුරට හේදිලා ගියපු ඩොරික් ගොඩනැගිල්ලේ බොහොමයක් නටඹුන් අද දකින්න පුළුවන් වෙන්නේ විසිරුණු ගඩොල් විදියට. ඒ වගේම අතීතයේ යහමින් වැජඹුණු මාලිගයක් වුණත් අද ඩොරික් බංගලාව මුහුදක් අයිනේ හුදකලාව සිය අවසන් හුස්ම එකතු කරන්නේ ඒ සඳහා හිමි විය යුතු නියම වටිනාකම නොදුන් නිසාවෙන්ම ගරා වැටෙන හුදු ගොඩනැගිල්ලක් විදියට. අවසානයක් විදියට මතක් කරන්න ඕනෑම දේ - පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත උතුරු අර්ධද්වීපයේ බොහොමයක් වැදගත් ස්ථානයන්ට උරුම වුණු දුක්බර අවසානයම සුන්දර ඩොරික් ගොඩනැගිල්ලටත් අත් නොවිය යුතු බවයි.

Top