මන්නාරම් දූපතේ දවසක සැරිසරක්

post-title
  • ආදම්ගේ පාලම මත්තෙන් ඉතිහාසයට
  • වර්ණවත් මාළු සැරිසරන පැහැදිලිම කීරි වෙරල තීරය
  • මන්නාරමට සෙවණ දෙන සුවිසල් අලි ගස ලංකාවේ එකම බයෝ බැබ් ගසද ?

තල් අරණේ ලස්සන හොයන් යන ගමනක දී අපි ඉස්සරලාම සැරිසැරුවේ මන්නාරම් දූපතේ. ගිය සතියේ ලියැවුණු විදියටම අතීතයේ කොළඹ කොටුවෙන් චෙන්නායිවලට ටිකට් අරන් තලෙයිමන්නාරම් තොටින් ඉන්දියාවට යන්න නැව් නැග්ග තලෙයිමන්නාරම් ජැටියත් බලාගෙන ආපසු එන ගමනේ දී ඇස රැදුණු තවත් ඉසව් බොහොමයක් වුණා. ඒ අතර අපේ දෙවන නැවතුම වුනේ සුප්‍රසිද්ධ ආදම්ගේ පාලම. ගමන් මාර්ගය සඳහන් කරනවා නම් තලෙයිමනාරම් ජැටියේ ඉඳන් ඌරුමලේ හරහා ආදම්ගේ පාලම දක්වා ඉක්මනින්ම ප්‍රවේශ වෙන්න පුළුවන්. පවතින වැලි සහිත පොලොව නිසාම වැඩි දුරක් වාහනයෙන් යන්න බැරි තැන අපේ ඊළඟ විකල්පය වුණේ දෙපා වලට ගමන භාර කරන එක. ඒත් වැඩි වෙලාවක් යන්න කලින් ඒක ඒ තරමට සුන්දර අත්දැකීමක් නොවන බව දැනුනේ අසීමාන්තිකව රත් වුණු වැල්ලට දාගෙන හිටපු රබර් සෙරෙප්පු පවා උණු වෙන තැනදි. කොහොම වුනත් අව් රශ්මිය මොහොතකින් පරදවන්න සමත් මුහුදු හුළඟත් එක්ක වැලි තලාව මත්තෙන් ආදම්ගේ පාලම පැත්තට ඇවිද ගෙන යද්දී අපි කාගේත් සිතුවිලි දිව්වේ ඇත්තටම ආදම්ගේ පාලම මත්තෙන් වර්තමානය පෙරලගෙන ඉතිහාසයට.

ඒ ගැන කතා කරද්දී මෙරට වශයෙන් පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක් වෙන මේ ආදම්ගේ පාලම කියන්නේ බොහෝ මතවාදයන්ට තුඩු දෙන සහ අවසානාත්මක වශයෙන් ප්‍රශ්නාර්ථ බොහොමයක් ඉතිරි කරන මාතෘකාවක්. වාල්මිකී විසින් රචනා කරන්නට යෙදුණු ඉන්දියානු සංස්කෘතික වීර කාව්‍යක් වන රාමානයනය තුළ පවා ලංකාව සහ ඉන්දියාව සම්බන්ධ කරන මුහුදට ඉහලින් පවතින පාලමක් ගැන සඳහන් කරනවා. සීතා නැවත දිනා ගැනීම සඳහා මහා රාවණයන් සමඟ යුධ වැදුණු රාමට සහය වූ වානර හමුදාම විසින් ඒ පාලම ඉදි කිරීමට යෙදුණු බව ඒ හරහා ස්ථාපිත කරන මතවාදය වෙනවා. නමුත් වර්තමානය වන විට හඳුනා ගන්නා ලද විවිධ ඉසව් ඔස්සේ ගොඩ නැගී ඇති ප්‍රශ්නාර්ථය නම් එවන් තාක්ෂණික උපක්‍රමයන් සහිත පාලමක් මිනිස් නිර්මාණයක් ලෙස මිසක වානර නිර්මාණයක් විය හැකිද යන්නයි. එහි දී නාසා ආයතනය පෙන්වා දෙන්නේ මෙම පාලමට පදනම් වන විශිෂ්ට වක්‍රතාවය සහ එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේ දී එය ස්වභාවික නිර්මාණයක් හෝ වානර නිර්මාණයක් විය නොහැකි බවයි. කෙසේ නමුත් ඉන්දියාවේ තමිල්නාන්ඩු ගිනිකොණ වෙරළට ඔබ්බෙන් වූ රාමේශ්වරම් දූපත සහ ශ්‍රී ලංකාවේ වයඹ දිග වෙරළට ඔබ්බෙන් වන මන්නාරම් දූපත එකිනෙකට සම්බන්ධ කරමින් සාදන ලද හෝ ස්වභාවිකව නිර්මාණය වන ලද හෝ යම් පාලමක් තිබූ බවට පවතින්නේ නම් බැහැර කළ නොහැකි ආකාරයේ දෘශ්‍යමානිත වලංගු සාක්ෂිය. මෑතකදී නාසා ආයතනය මගින් චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගෙන කරන ලද පර්යේෂණයන් අනුව පෙන්වා දෙන්නේ එය නිසැකවම මිනිස් මොලයකින් සහ මිනිස් අතකින් නිමැවුනක් බවය.එසේම එය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ලෝකයේ පැරණිතම පාලම ලෙස සැලකිය හැකි බවත් එය අතීත හෙළයන් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් සාදන ලද්දක් බව තහවුරු කළ හැකි බවත්ය. කෙසේ නමුත් මෙයාකාරයට එක් එක් මතවාදයන් පදනම් කර ගනිමින් එක් එක් ආකාරයෙන් නම් දෙන ලද ආදම්ගේ පාලම විටෙක රාම පාලම , හනුමාන් පාලම, රාවනගේ පාලම , සේතු සමුද්‍රම් යන විවිධ නාමයන්ගෙන් හඳුන්වයි. ඉතිහාසය එයාකාරයට වන විටචන්ද්‍රිකා චායරූපයකින් මිසක සාමාන්‍ය චායරූපයකින් සම්පූර්ණ වශයෙන් ග්‍රහණය කර ගත නොහැකිසමස්ත ආදම්ගේ පාලම සම්බන්ධයෙන් වඩාත් හොද අදහසක් ලබා ගැනීමට නම් සිතියම් අධ්‍යනය කළ යුතුය.

ආදම්ගේ පාලමෙන් ආපහු එන ගමනේ දි මේ වෙනකොට කාටත් ඕන වෙලා තිබුනේ ගිනි ගන්න තරමට දැනෙන නුහුරු රස්නෙත් එක්ක ඉක්මනටම වතුරකට බහින්න. ඉතිං අහල පහල හම්බුන අයගෙන් අමාරු දෙමළෙන් ලේසි සිංහලත් පොඩ්ඩක් එකතු කරලා අපි නාගන්න තැනක් හෙව්වා. හැමෝගෙම එකම උත්තරේ වුණේ කීරි වෙරළ තීරය. (Keeri Beach) මොහොතකින් කීරි වෙරළට ආපු කවුරුත් හිතන්නත් කලියෙන් මුහුදේ. පැතිරුණු සුදු පාට වෙරළ තීරය වගේම ලා නිල් පාට පැහැදිලි මුහුදු වතුරත් කීරි මුහුදු තීරයට එන කාගේත් හිත් ක්ෂණිකයෙන් පැහැර ගන්නවා. ඒ නිසාම එය සංචාරකයන් බොහොමයක් ගැවසෙන වෙරළ තීරයක්. සෑම විටම මෙහි පැහැදිලි වතුර වර්ණවත් කරන කුඩා මාළු රංචු බොහොමයක් වෙරළ ආසන්නයේ සැරිසරන ආකාරය දකින්න පුළුවන්.

මන්නාරම් දූපතට පායපු ඉර යන්තම් අවරට හැරෙද්දී දැනුනු බඩගින්නත් එක්ක කාටත් මතක් වුණේ ආයිමත් රාජේශ් සහෝදරයාගේ ගෙදර. ඒත් ඊට කලින් මන්නාරමේ අපිට බලන්න තවත් දෙයක් තිබුණා. ඒ දකුණු ආසියාවේ විශාලතම බයෝබැබ් ගස. කීරි වෙරළ තීරයේ ඉදන් මිනිත්තු කිහිපයක ගමනකින් පස්සේ පල්ලිමුණේ තියෙන බයෝබැබ් ගස දක්වා ලඟා වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් එය හඳුන්වන්නේ අලි ගස නමින්. කොහොම වුණත් මන්නාරමට සංචාරය කරන්න එන බොහොමයක් සංචාරකයන් මෙම බයෝබැබ් ගස බලන්න දකින්න ආවත් ඒ බොහෝ දෙනෙක් මෙම වෘක්ෂයේ ඉතිහාසය සහ වටිනාකම හරියාකාරව නොදන්නා තරම්.

“ ඇයි අපි මේ යෝධ ගහක් බලන්න ආවේ? ”

අපි අසළම හිටපු පුංචි දරුවෙක් කටකාරකමට ඒක ඇහුවේ වැඩිහිටියෙක්ගෙන්. ඉතිං අපිත් කතාව අහන් හිටියේ සාධනීය උත්තරයක් බලාපොරොත්තුවෙන්.

“ ආහාහ් .. මේක තමයි ලංකාවේ තියෙන එකම බයෝබැබ් ගස. ”

වැඩිහිටියාගේ උත්තරය සරලයි. ඒත් ඇත්තටම මේ මන්නාරමේ සුවිසල් බයෝබැබ් ගස ලංකාවේ තියෙන එකම බයෝබැබ් ගසද ???

කොහෙත්ම නැහැ. ඒක වැරදී. ඉතිං ලංකාවට බයෝබැබ් ආවේ කොහෙන්ද කියන තැන ඉදන් අපි කතාව පටන් ගමු. ලංකාවට බයෝබැබ් ශාක එන්නේ යටත් විජිත සමයේ. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව , මැඩගස්කරය වගේ රටවල්වලට ආවේනික වුණු මේ ශාක මෙරටට ගෙවන්නේ පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින්. එකළ සරුවට කෙරුණු අශ්ව වෙළදාමත් සමඟ මේ බයෝබැබ් ශාක ලංකාවට ගේන්නේ අශ්වයන්ට ඖෂධ වශයෙන් යොදා ගන්න. අදටත් වැඩි වශයෙන්ම අශ්වයන් දකින්න ලැබෙන්නේ ඩෙල්ෆ් දූපත ආශ්‍රිතව වීම ඊට හොඳම සාක්ෂියක්. කොහොම වුනත් පැහැදිලිවම ලංකාවේ දකින්න ලැබෙන එකම බයෝබැබ් ශාකය මෙය නෙවෙයි. දැනට පවතින තොරතුරු අනුව ලංකාවේ හඳුනා ගත හැකි බයෝබැබ් ගස් 40ක පමණ ප්‍රමාණයෙන් 34ක් පමණම දකින්න ලැබෙන්නේ මන්නාරම ආශ්‍රිතව. ඒ බොහෝ ගස් අවුරුදු 300ත් 400ත් අතර ඉතිහාසයකට හිමිකම් කියනවා. නමුත් මෙම මන්නාරමේ සුවිසල් බයෝබැබ් ගස තමයි ලංකාවේ පැරණිතම බයෝබැබ් ගස වෙන්නේ. ඒ අවුරුදු 800ක පමණ අතීතයකට හිමිකම් කියමින්. ඒ වගේම අඩි 64ක පමණ වට ප්‍රමාණයකින් සහ අඩි 24ක පමණ උසකින් යුක්ත එය දකුණු ආසියාවේ විශාලතම ගස විදියට හඳුනා ගන්නත් පුළුවන්. ඉතිං මේ තරම් ඉතිහාසගත වගේම පාරසරික වටිනාකමකුත් තියෙන මන්නාරමේ සුවිසල් බයෝබැබ් ගසේ අනාගතය ගැන නම් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්. මොකද සංචාරකයන් නොමදව ගැවසෙන මේ අවට අවිධිමත්ව බැහැර කළ කැලිකසල බෞයෝබැබ් ගස පාමුල පවා දකින්න ලැබුණා. ඉතිං ගිනිදන නගරයේ වැජඹෙන සුවිසල් අලි ගස සම්බන්ධයෙන් අනාගතයට ශේෂ විය යුත්තේ සමබන්ධීකරණයක් මිසක ප්‍රශ්නාර්ථයක් නොවන බවත් මතක් කළ යුතුයි.

මන්නාරම් දූපතේ එහා මෙහා ගෙවපු දවසක අවසානයකට ඔන්න මෙන්න තියෙද්දී ආයිමත් අපි ලඟා වුණේ මන්නාරමේ අපිට නවාතැන් දුන්නු රාජේශ් සහෝදරයාගේ ගෙදරට.තල් වැටකින් සීමා වුණු වෙල් යායක් ඉස්සරහ පිහිටල තිබුණු රාජේශ් සහෝදරයාගේ නිවහන දවසක අවසානයක් වෙනුවෙන් හොඳම නවාතැනක් වුණා. දවල් දවස හොදහැටි එළිය දුන්නු ඉර යන්තමට මලානික වෙද්දි තල් ගස් අතරින් වැටුණු ලා රතු පාට ඉර එළිය මැව්වේ මන්නාරමේ සැන්දෑවක ලස්සන මේ තරම් කියල කියන්න බැරි තරම් සුන්දර සිතුවමක්. ඒත් එක්කම වියළි පරිසරය පිහගෙන එන හුළඟ ගෙනාවේ දවල් දවසම රත් වුණු ශරීර කූඩුවලට සුවදායක බවක්. ඉතිං ඒ මන්නාරමේ දවසක සැරිසරක්.

Top