පිල් විදා ගත් මොණරගල (203 වන ලිපිය)

post-title

පී කොක් හිල් දක්වා ගමන් මාර්ගය නුවර සිට නම් දිවෙන්නේ ගම්පොළ පසු කොට උලපනේ මාවතුර මාස්වෙල මාර්ගය හරහා ය. ඒ හැරත් නුවර ආසන්නයේම පිහිටි පී කොක් හිල් සැරිසරන කාහටත් හුරුපුරුදු ය. කදු පාමුල දක්වා දෙපස වටපිටාව ලියන්නට නොව මවන්නට තරම් ලස්සනය .බොහෝවිට මඟ දෙපස එක පෙලට ස්ථානගත වන ආරක්ෂක බල පවුරු වන්නේ පිහිටන රූස්ස වෘක්‍ෂයන් ය. අහස පිරුණු ලා නිලට නොදෙවෙනිව පෙනෙන තෙක් මානයේ පැතිරුණු ලා කොළ පැහැති තේ වතු යායවල් දෑසට එකතු කරන්නේ අත් හල නොහැකි දසුනකි. හුදකලා ගමන් මගට යම් හෝ කාර්යය බහුලත්වයක් එක් කලේ නම් ඒ කලාතුරකින් ඉහළ පහළ ගිය දළු ලොරියකි. දළු ලොරිය පසු වීමෙන් අනතුරුව ද හාත්පස වෙලාගත් තේ දළු සුවඳ නම් එලෙසම ය. හෝරාවක ගත වීමෙන් ද අකාමකා නොවන තරමටම බලවත්ය. ඉතිං සියල්ල හුවාගත් සුන්දරත්වය නම් සොබාදහමට සමීප වන තරමටම තව තවත් තීව්‍ර ය. 

අනපේක්ෂිතව කඩන් හැලෙන පිනි වරුසා කොතරම් සීතල ද යත් හිම තුහින මෙනි. එහෙත් ඒ මිනිත්තු කිහිපයකට ය. නැවත ඈතින් උණුසුම රැගත් හිරු එළිය හෙමි හෙමින් කලඑළි බසින්නේ යලිදු පරිසරයට තරමක උණුසුමක් එක් කරමිනි. ඒ සියල්ල සමඟ ගතවන සොඳුරුම කාලසීමාවකට පසු මොණරගල පාමුලටළඟාවිය හැකිය. ගමනට ගත වන කාලය හොරාවකටත් අඩු ය. එතැන් පටන් පා ගමනින් යා යුතු ගමන් මග දෙපස ඉහළටම දිවෙන එකම ෆයිනස් කැලෑවකි. වියලි ෆයිනස් කොළ අතු වැතිරගත් බිම මත ඔහේ පැතිරුණු කැලෑ මල් යායවල් දසුනට ප්‍රිය ය. රූස්ස ෆයිනස් පියසි පිහ ගෙන එන සුළඟ දෙසවන් වෙත සමීප කරන්නේ බිය මුසු සංගීතය කි. නමුදු ගතට විඩාවක් එක් නොකරන තරමට සුව පහසු විලසිනි. ඉතිං ගමන නම් කිසි ලෙසකින්වත් අපහසු නැත. වින්දනයට ම විවෘත ය. විනාඩි 20ක් පමණගත වීමෙන් අනතුරුව පිල් විදහා ගත් මොණරගල ඉස්මත්තටළඟාවියහැකිය. පළමුව මුණ ගැහෙන දෙවොල සහ බුදු මැඳුර එක සිතින් සොබාදහමට තව තවත් එක්කාසු කරන්නේ සිසිලසක් යැයි නොසිතෙන්නේ නම් අරුමය කි. ඒ තරමටම අවට පරිසරය නිසලය. සොඳුරු ය. දෑසට එකතු කර ගන්නට පහළින් පෙනෙන දෑ බොහෝ ය. සොඳුරුතම දසුන නම් මොණරගල මුඳුනතට දිස් වන කොත්මලේ ඉසව්ව ය. ජලය හිඟ වුවද අවට වසා ගත් කොළ පැහැය පරදවා ලා නිල් පැහැයෙන් දිස්න දෙන ජලාශය දෑසින් දකින්නට නොව එක සිතින් බැදෙන්නට තරම් ලස්සනය. කඳු ඉස්මත්තේ ගත වන මොහොතක් පාසාම මුරණ්ඩු ලෙස ගත වැළඳ ගන්නා සුළඟ හැම විටෙකම නැවුම් ය.මුහුදු මට්ටමේ සිට මීටර් 1500ක් පමණ උසකින් යුත් මොනරගල සිට අවට නරඹන්නන් උදෙසා ස්වභාවයෙන් ම නිමැවුණු ත්‍රාසජනකම වේදිකාව කි. එහි ස්වභාවයෙන් ම පිහිටි පර්වතයෙන් ඉදිරියට නෙරා ආ තවත් සුවිශේෂ පර්වත කොටසකි. සැරිසරන්නන් අතර පී කොක් හිල් හෙවත් මොනරගල බොහෝ සෙයින් ජනප්‍රිය වීමට ද හේතු කාරණා සපයන්නේ ද එයය. එහි සිට බලන්නෙක්ට කොත්මලේ ඇතුළුව අවට හාත්පස වටපිටාව එයාකාරයෙන් ම කුරුළු ඇසකින් නිරීක්ෂණයට ඉඩ හසර ලැබේ. නමුදු ප්‍රවේසම් විය යුත්තේ මොනරගල ඉස්මත්තේ සැරිසරන සැඩ සුලඟිනි. සැන්දෑයාමයක නම් කඳුමුදුන සිසාරා ඇතිරෙන මළ හිරු රැස් මවන්නේ දෑසට එක්කාසු කර ගත නොහැකි තරමේ සොඳුරු දසුනකි. ඉතිං පිල්විදාගත් මොණරගල සැබැවින්ම සැරිසරන කාගෙත් නෙත් සිත් පැහැර ගන්නා ඉසව්වක් වන බව නම් නො අනුමානය.

Top