එබැවින් "මදුරුවෝ", මදුරුවෝ ගැන ම නොවේ! (640)

post-title

මදුරු දැලේ කැරකෙන මදුරුවා 'චටාස්' අනුකරණයෙන් තැලී පොඩි වී යන සේ අත් පහරකින් උගෙ ඇට කැබැලි පියාපත් මුඛය යන සියල්ල සමතලා කර දමා, ඉතිරිවන ලේ පැල්ලම දෙස බලා සියුම් තෘප්තියක් ලැබ, එය සෝදා හරිනු විනා, අත් පා දිගු කර ඌට ලේ බොන්න ඉඩ දී, එයින් කුසල් රැස්කරගන්නා සිරිමත් මගෙ සකි වැනි උපාසක භවතුන් බුකියෙහි විනා මෙරට සිටිතැයි කිව නොහේ. අවම වශයෙන් ඇඟේ වසන මදුරුවා අතෙන් ගසා බසා පන්නා දැමීම හෝ සිදුවේ. මදුරුවාගෙන් මිනිසා මේ ලබන තෘප්තිය වනාහි, ආදි මානවයන්ගේ ලේ වැගිරවීමේ ආශාව යැයි ද, රටක සොල්දාදුවකු සතුරා මරා ලබන විශ්‍රාන්තියකැයි ද, මදුරුවා පසුපස ලුහුබැඳීම පුරාණ රජදරුවන් දඩකෙළියේ මුවන් පසුපස යාම බඳු ආහ්ලාදයකැයිද කියනා සිරී නම් කථකයෙක්, චින්තක රණසිංහ ලියූ 'යුතෝපියාව' කෙටිකතා සංග්‍රහයේ සිටී. ඔහු පෙනී සිටින කතාවේ නම, ' මදුරුවෝ' ය. කතා සංග්‍රහයේ සාර්ථක ම කතාව වන්නේ ද එය ය. 

මේ කථකයා මදුරුවන් මරන, ඒ කූං හඬට ආසා කරන, පෙම්වතියට යවන ලියුම්වලත් මැරූ මදුරුවන් ගණන ලියා යවන, කවකට්ටෙන් මැරූ මදුරුවන් අමුණා තබන, 'රති දූ' පත්තරෙනුත් මදුරුවෙකු වැනි කතුන් සොයන අයෙකි. මුලු කතාව ම, මදුරුවන් අනුව යයි. ඔහුට පෙනෙන මතක් වෙන සියල්ල ම මදුරු හඬට, රුවට සමානව පෙනේ. බස් රියේ එංජිමේ හඬ ඇසෙන්නේත් මදුරු හඬ මෙනි. සිය රැවුල් ගස් පවා ඔහුට පෙනෙන්නේ මදුරු අඬු මෙනි. වැසි වලාකුළු පෙනෙන්නේ මදුරු රැළක් මෙනි. වැහි බිඳු පතිතවීම් මදුරු දෂ්ටන බඳුය. රමණය කරන කත පවා ඔහුට මදුරුවෙකු බඳු ආස්වාදයක් සපයයි. කථකයාගේ නංගීගේ නම ද, 'මධුරි' ය. 

"මගේ රත්තරං ඕමාලි, ඊයේ මම මදුරුවන් 27ක් පමණ මරා දැම්මා. (මගේ ගාණ එකකින් දෙකකින් එහා මෙහා වෙන්නත් පුළුවන්). උන් අතරින් බොහෝමයක් කළු, තඩි මදුරුවන්.මදුරුවෝ මරා දෑත් සෝදා ගත් පසු මට ඔබේ මුහුණ කවුළු දොරින් එබී පෙනෙන්නට වුණා. ඔබ ළාසඳ පහනක්. කැත තඩි මදුරුවෝ මරදානේ මුඩුක්කුවල ඉන්න නරක ගෑනු වගේ. ඔබ දෙව්දුවක් බව මා යලිත් පැවසිය යුතුයි. ඉතින් ඕමාලි ඔබේ ගෙවත්තේ මදුරුවෝ කොපමණ සංඛ්යාවක් සිටිනවාද? උන් මරා දැමීම ඔබ විසිනුත් කරනු ලැබ ඇතැයි සිතනවා. අනිද්දා(එනම් 18වන බදාදා) සවස 2-3අතර සිකුරාදා පොළ හන්දියේ නින්ජා ලොකු දැන්වීම ඇඳි පුවරුව ළඟට එන්න. මම එතන බලාන ඉන්නවා"

මේ කතාව, මරණය - රමණය - රුධිරය - ආශාව - තෘප්තිය - පීඩාව මුසුවන්නකි. රචකයා නිර්මාණශීලීව කථකයා වන සිරීගේ මනෝ භාව නිරූපණය කරයි. ඔහු මදුරුවන් හැඳින්වීමට යොදන්නේ, 'තඩි කැත ලොකු' වැනි වදන්ය. ඒ සා වූ උන්ට ම ආලය කිරීම, බියුටි ඇන්ඩ් ද බීස්ට් වැනි දයලෙක්තික සිහිකරවයි. මේ ආශාව, හොඳ සුදු ගුණවත් අයට ම නොව, බය දනවන රුදුරු බවක් පෙන්වන අයට වීම වෙන ම කතා කළ යුත්තකි. ඔහුගේ ප්‍රීතියත් දෙවනුව කී කොටස වෙතය. එබැවිනි, බැණ බැණ මර මර වුව ආසා කරනුයේ.

කෙසේ හෝ සිරීගේ විඤ්ඤාණය පුරා අරක් ගෙන සිටින මදුරුවන් ඔහුව එක්තරා උමතු බවකට පත් කරයි.මදුරුවන් ගැන තමාට ඇති ප්‍රියජනක අවස්ථා සියල්ල ම, ඔහු කියාගෙන යයි. ඔහුගේ මනස හැසිරෙන ආකාරය, අපට සිහිකරවන්නේ, යුද්ධයෙන් අසවල් පිලේ මිය ගිය ගණන මෙතෙකැයි කියමින් ලඹ දුන් වාර්තාකරණයයි. කෙටිකතාවේ භාෂාව ජී.බී.සේනානායකගේ බඳු ආත්මීය කථන ක්‍රමයක් සිහි කරවයි. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය කතාවට සාධාරණයක් ඉටුකරයි. ඇතැම් තැන් හාස්‍යජනකය. සිරී බොරු උපාසකයෙකු නොවන, අවංකව තමා කරන කියන දෑ කියන්නෙකු වන බැවින් පාඨකයාට ඔහුගේ ක්‍රියා ජුගුප්සාජනක වුවත් ඔහු වෙනුවෙන් අත එසැවෙයි. විවාහ නොවන හෝ දියුණුවක් නොලබන හෝ ලෙසින් සමාජය නිමැවූ වට්ටෝරු දිවියට අනුගතව වෙසෙන්නෙකු නොවන සිරී පරාජිත, ඕලාරික චරිතයක් ලෙස නම් නොකර, ඔහුගේ සිතිවිලි අභ්‍යන්තරය විවරණයට එක් මාතෘකාවක් තෝරාගෙන කිඳාබැසීම සාධනීයය.

"සමහර දිනක මම අපේ වත්තේ කැළිකසළ දමන ඉහත්තාවට වී මගේ සරම දණිහ තෙක් ඔසවා වලාපොට ගන්වා හෝරාවක් පමණ සිටිමි. මදුරුවන් රංචු පිටින් අවුත් මගේ දෙපය වසාගත් පසු මම පිස්සෙකු මෙන් ඒ මේ අතට හැරෙමින් චට පටස් අනුකරණයෙන් උන් මරා දමමි"

" ඒ මොහොතේ බිත්ති කන්දට උඩින් රූං අනුකරණයක් නංවමින් මදුරුවා මගේ කුටියට පිවිසෙයි. ඌ තඩි කැත සත්වයෙකි. උගේ හිස පෙදෙස කළු ම කළුය. මරා අත්ලට ගතහොත් උගේ සුදු බඩ බැලීමට මට පුළුවන් බව ක්ෂණිකවම මගේ සිතට එත්ම ඌ පැරිෂූටයක් මෙන් පාත්වී නිරාවරණය වී ඇති මගේ දකුණු කකුලේ වසයි. මම කරමින් සිටි කාර්ය නවතා, ඉතා සීරු මාරුවෙන් කය නොසොල්වමින්, සුරත විදහා පාමින් උගේ ඇඟ මතට මරු පහරක් දීමට පෙර ම ඒ කාලකන්නියා රුං ගා මගේ කණ කොළොප්පම් කරමින් නැවත ගුවනට නගියි"

කතාව අවසන් වන්නේ, මොහු බසයේ සිටින කාන්තාවකගේ පිටේ වැසූ මදුරුවා මරන්නට ගොස් මගීන්ගෙන් පහර ලැබ බසයෙන් බිමට පනිනා සිදුවීමකිනි.

එබැවින් "මදුරුවෝ", මදුරුවෝ ගැන ම නොවේ!

--------------------------------------------------------------------------

හොයාගෙන කියවන්න - යුතෝපියාව : චින්තක රණසිංහ : ස්ටාර්ප්ලස් පබ්ලිකේශන්: නෙප්චූන්

Top