විවේචන එල්ල වී ඇත්නම් ඔබ සැබෑ ම දක්ෂයෙක් ! (614)

post-title

සමාජයේදී ඔබට මට නිරන්තරයෙන් දකින්නට ලැබෙන, මුහුණ දීමට සිදුවෙන තත්ත්වයක් ලෙස විවේචන දැක්විය හැකියි. ඔබ මෙතෙක් ගත කළ ජිවිත කාලය තුළදී කුමන හෝ ආකාරයේ විවේචනයකට මුහුණ දී තිබෙනවාද ? එසේ නම් ඔබ සැබෑවටම දක්ෂයෙකි. ඔබ අනිවාර්යයෙන්ම අන් අයට වඩා කැපී පෙනෙන සුවිශේෂී අයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ අන් අයට වඩා වෙනස් ආකාරයකින් සිතූ අයෙකි. වෙනස් ආකාරයකින් ක්‍රියා කළ අයෙකි. ඉතින් ඔබට නිරන්තරයෙන් සමාජයෙන් විවේචන එල්ල වීම සාමාන්‍යයි. එය කිසිම විටෙක අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. විවේචනය යහපත් විවේචන මෙන්ම අයහපත් විවේචන ලෙස දෙයාකාරයෙන් සිදු වෙයි. යහපත් විවේචන ඔබේ ජිවිතයට සවියකි. මම මේ ලිපියෙන් ඔබට කියන්නට උත්සාහ කරන්නේ අයහපත් විවේචනයන් ද ජීවිතයට සවියක් කර ගත යුතු බවයි.

යම් පුද්ගලයෙකුට සමාජයෙන් විවේචන එල්ල වන්නේ ඇයි ?

කිසියම් පුද්ගලයෙක් බහුතරයක් සිතන, ක්‍රියා කරන ආකාරයෙන් පිටතට පැමිණ ලෝකය දෙස වෙනස් නවමු මානයකින් බලන්නට දකින්නට පුරුදු වූ දින පටන්ම එම පුද්ගලයාට නිරන්තරයෙන් විවේචන වලට ලක් වීමට සිදු වෙයි. ඒ ඔහු හෝ ඇය බහුතර මතයෙන් වෙන් වී නිදහස්ව සිතීම හා ක්‍රියා කිරීම නිසයි. මෙය ඉතාමත් සාමාන්‍ය තත්ත්වයකි.

වෙනත් රටවල පවතින දියුණු චින්තමනය වෙනස්කම්, හැඩගැසීම් හා බලන විට අප රටෙහි එම තත්ත්වය ඊට තරමක් පහතින් තිබෙන බව පැහැදිලිවම දැකගත හැකි යි. නමුත් එහි ද විශේෂත්වයක් මම දකින්නේ නැහැ. ඒ ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතුරින් එකක් වීම යි. යුරෝපීය මිනිසුන්ගේ චින්තනමය රටාව හා ආසියාතික රටවල චින්තනමය රටාව අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඊට බලපා ඇත්තේ සංස්කෘතිය යි. ආසියාතික මිනිසුන්වන අපි බොහෝ සාම්ප්‍රදායික අදහස් හා මතිමතාන්දරවලින් මිදෙන්නට අකමැති ජාතියක් බව කිව යුතුමයි. ඇතැම් විට ඉතා කුඩා ප්‍රමාණයක් මේ සංස්කෘතිය අතික්‍රමණය කරනවා. ඒ උවමනාව කොපමණ පැවතියත් සම්ප්‍රදායික අදහස්වලින් මිදෙන්නට බිය පිරිසකුත් ඉන්නවා. ඒවගේම එවැනි අදහස් හා මතවාද කිසිම විටෙක අත්හරින්න අකමැති පිරිසකුත් ඉන්නවා.

ඉතින්, මෙවැනි සමාජයක ජිවත්වන ඔබ යම් විවේචනයන්ට ලක් වී ඇත්නම් ඔබ අන් අයට වඩා සුවිශේෂී වූ නිසා බව මම ලිපිය ආරම්භයේදීම දැක්වුයේ ඒකයි. ඔබ බහුතරයකට වඩා වෙනස් ලෙස සිතනවා නම්, ඔබට අනිවාර්යයෙන්ම විවේචන එල්ල විය හැකි බව ඔබ දන්නවා. ඇතැම් විට ඔබ නොදන්නවා වුවත් ඔබේ යටි සිත එය බලාපොරොත්තු වනවාත් ඇති. මෙය ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක් නිසා ඔබ ඒ ගැන තවදුරටත් දුක් විය යුතු නැහැ. ඒ ගැන සිතමින් දුර්වල විය යුතුත් නැහැ.

යම් පුද්ගලයකුට විවේචන එල්ල වීම විවිධ ආකාරයෙන් සිදු විය හැකියි. එසේම විවේචන එල්ල කිරීමට හේතුත් විවිධාකාර විය හැකියි. තමන්ට කල නොහැකි දෙයක් වෙනත් අයෙකු කිරීම බලා සිටීමට නොහැකි වූ පිරිස විවේචන එල්ල කරන පිරිස අතර සිටින භයානකම පිරිස ලෙස මම දකිනවා. ඔවුන් බොහෝ විට ඊර්ෂ්‍යාකාර සිත් ඇති පුද්ගලයින් වේ. තමන්ට කිරීමට නොහැකි වූ දෙයක් වෙනත් අයෙකු සිදු කරන විට ඒ ගැන අවංකවම සතුටු වන්නට ඒ පිරිසට නොහැකියි.

එසේම තමන්ට අයිතිවන්නට තිබු දෙයක් අන් සතු වූ විට එම පුද්ගලයාට විවේචන එල්ල කරන පිරිසකුත් අප සමාජයේම සිටිනවා. මේ පිරිසත් ඉතාමත් භයානකයි. තමන්ට හිමි වන්නට තිබූ දෙයක් වෙනත් පුද්ගලයකු හිමි කරගැනීම ඔවුන්ට දරාගන්න නොහැකියි. එම නිසාම එම පුද්ගලයාට එරෙහිව නිරන්තර විවේචන එල්ල කිරීමට එම පිරිස කටයුතු කරනවා. අහිමි වූ දේ අත්හැරීමට හා එය හිමි වූ පුද්ගලයාට නිසි ඇගයීම දීමට ඔවුන්ට නොහැකියි. යම් දෙයක් අපට අහිමි වූවොත් එය හිමි වූ පුද්ගලයාට විවේචන එල්ල කිරීමෙන් අත්පත් කර ගත හැකි යමක් නැති තරම් ය.

එසේම තමන් සිටින සාම්ප්‍රදායික රාමුව තුළ සිට පුද්ගලයින්ට නිරන්තර විවේචන එල්ල කරන පිරිසකුත් සමාජයේ සිටිනවා. ඔවුන් බොහෝ විට නවමු දේ යහපත් ලෙස වැළඳගන්නට අකමැති පිරිසකි. ඇතැම් විට යල් පැන ගිය මතිමතාන්දර මත එල්බ සිටිමින් ඉන් ඔබ්බට යමක් සිතීමට, කිරීමට අකමැති පිරිසකි. ඔවුන් ඔවුන්ගේ රාමුව තුළ සිරවී එම රාමුව අතික්‍රමණය කළ පුද්ගලයින් විවේචනය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. 

මේ කුමන හෝ අයුරකින් ඔබ කිසිවකුගේ හෝ විවේචනයට ලක් වී ඇත්නම් නම් ඔබ ඉතාමත් සුවිශේෂී අයෙක් බව නැවත වරක් කිව යුතුම යි. ඉතින්, ඔබ කළ යුත්තේ විවේචන හමුවේ කඩා වැටීම නොවේ. ඒවාට ශක්තිමත්ව මුහුණ දීමයි. ඔබ සිතට එකඟව සමාජයට යහපතක් වන කිසියම් ක්‍රියාවක් කළහොත් ඒ සම්බන්ධයෙන් ඔබට එල්ලවන විවේචනවලට ඔබ බිය විය යුතු නැහැ. ඔබ ඔබට සත්‍යවාදී නම්, ඔබ ඔබට අවංකනම් සමාජයෙන් කුමන විවේචන එල්ල වුවත් ඔබ ශාරීරිකව හෝ මානසිකව කඩා වැටිය යුතු නැහැ.

විවේචන හමුවේ ඔබ තවදුරටත් ඔබම වීම නවතාලිය යුතු නොවේ. ඔබ වෙතට එල්ල කරන ගල් මුල් තුළින් කිසිවකුට බිද දැමිය නොහැකි ශක්තිමත් පදනමක් ඔබම සකස් කර ගන්න. ඔබ කරන සෑම ක්‍රියාවකටම යහපත් ඇගයීම් පමණක් බලාපොරොත්තු වන්න එපා. ජීවිතයේදී සැමවිටම ඔබට ඇගයීම් පමණක්ම හිමි නොවේ. ප්‍රශංසා මෙන්ම නින්දා ද අනිවාර්යයෙන්ම හිමි වෙයි. ඒ බව විශාරද නන්දා මාලනියන් ගීතයකින් මෙසේද ගායනා කර තිබෙනවා. 

“පූජාසනයේ ඔබ හිඳුවා

ඔබට පුදන මේ ලෝකයමයි හෙට

ඔබට එරෙහි වී නැගිටින්නේ...”

මේ සෑම තත්ත්වයකදීම එක ලෙස නොසැලී සිටීම වැදගත්ම කාරණය වෙනවා. ඇගයීම්, ප්‍රශංසා හමුවේ පමණට වඩා උදම් වීමත්, විවේචන, නින්දා හමුවේ පමණටත් වඩා දුර්වල වීමත් සිදු නොකළ යුතු යි.

ඔබ යමක් සිදු කළ විට ඔබට විවේචන එල්ල වන්නේ නම් සතුටු වෙන්න. ඒ එය ඔබට තවත් ශක්තිමත් වීමට ලැබුන අත්වාරුවක් විය හැකි යි. මිනිසා කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙන පුද්ගලයෙක්. සෑම පුද්ගලයකුටම එක හා සමාන අදහස් ආකල්ප පිහිටන්නේ නැති ය. ඉතින් එකිනෙකට වෙනස් ආකල්ප හා මතිමතාන්දර දරන මිනිසුන් අතරින් විවේචන එල්ල වීම සාමාන්‍ය තත්ත්වයකි. මිනිසුන් වුනත් නිරන්තරයෙන් ගල් ගසන්නේ ඵල ඇති වෘක්ෂයකට යි. ඔබත් එවැනිම ශක්තිමත් වෘක්ෂයක් බව අමතක කරන්න එපා.

යම්කිසි පුද්ගලයෙකු ඔබව මානසිකව හෝ ශාරීරිකව බිද දැමීමට විවේචන භාවිතා කරයි නම්, කිසිම විටෙක ඔවුන්ට ජය අත් කර දී පරාජය බාරගන්නට උත්සාහ කරන්න එපා. මා මෙයින් අදහස් කළේ ඔබත් ඔවුන් මෙන්ම ක්‍රියා කළ යුතු බව නොවේ. ඔබ කිසිම විටෙක ඔවුන්ගේ තත්ත්වයට පත් නොවිය යුතුයි. නමුත් ඔවුන්ට අවශ්‍ය පරිදි ඔබ ජිවත් වීමට උත්සාහ නොකළ යුතුයි යන්න යි. ඔබ වෙත එල්ල වන විවේචනයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්නට තරම් ඔබේ හිත ශක්තිමත් කර ගන්න. ඔබ ඇතුලාන්තයෙන් ශක්තිමත් පුද්ගලයකු වූ විට කිසිවකුට ඔබව වාචිකව හෝ මානසිකව බිඳ දැමීමට නොහැකියි. සුමට, පහසු මාර්ගයක ඇවිද යනවාට වඩා ගල්බෝරළු, බාධක ඇති මාර්ගයක ගමන් කරද්දී ඔබ ශක්තිමත් වනවා වැඩි බව නිතර සිහියේ තබා ගන්න... !!!

Top