ඔබේ සුන්දරත්වය ඔබේ දෑසින්ම විඳින්න ! (561)

post-title

ඔබ හරිම ලස්සනයි ! ඔබ හරිම ප්‍රියකරුයි ! ඔබ හරිම සුන්දරයි ! 

කවුරුම හෝ කෙනෙක් ඔබට එසේ පවසනවාට ඔබ කැමතියි නේද? ඔබ එවැනි වදන් ඇසීමට ප්‍රිය කරනවා නේද ? ඇගයීම්, වර්ණනා ලැබීමට ඕනෑම කෙනෙක් කැමතියි. විශේෂයෙන් ඔබේ පෙනුම ගැන කෙනෙකු වර්ණනා කරනවාට ඔබ හරිම කැමතියි. සමහරවිට ඔබේ ගතිගුණ වර්ණනා කරනවාටත් වඩා ඔබ එය බලාපොරොත්තු වෙනවා ඇති. කිසියම් කෙනෙක් ඔබේ පෙනුම ගැන සිත් රිදෙන යමක් පැවසූ විට ඔබ මානසිකව බිඳ වැටෙන්නේ ඒක යි.

ඔබේ පෙනුම ගැන බාහිර අයෙක් වර්ණනා කිරීම අත්‍යවශ්‍යම ද? සැබවින්ම එය අවශ්‍ය නොවේ. වඩාත් වැදගත් වන්නේ ඔබ ගැන, ඔබේ පෙනුම ගැන ඔබ තුළ තිබෙන හැඟීම පමණයි. ඔබේ සුන්දරත්වය ඔබ විඳිය යුත්තේ ඔබේ දෑසින්ම පමණයි. ඔබ සුන්දර අයෙක් නොවෙයි කියා මිනිසුන් ඔබට කීවත්, ඔබට ඔබ සුන්දරයි නම් ඒ ප්‍රමාණවත් නේද? මේ ලෝකයේ ජිවත්වන සෑම පුද්ගලයෙක්ම ඔවුනට ආවේනික වූ සුන්දරත්වයකින් යුක්ත වෙනවා. මේ ලෝකයටම ඔබ වැනි අයෙකුට සිටින්නේ ඔබම පමණයි. ඉතින්, ඔබ හරිම විශේෂයි !

ඔබට ඇත්තේ පැහැපත් සමක් වුවත්, අඳුරු පැහැ සමක් වුවත් එය ඔබේ සුන්දරත්වයට බාධාවක් නොවේ. ඇතැම් යුවතියන්ට දිගු වරලස හැඩකාර වුවත් සමහර යුවතියන්ට ගැළපෙන්නේ කෙටි වරලසක් විය හැකියි. ඔබේ ශරීරයේ පැහැය, ශරීරයේ හැඩය, ශරීරයේ උස ආදිය කුමන ආකාරයට පිහිටා තිබුණත් ඒ ඔබට ගැළපෙනම විදිහයි. බාහිර පුද්ගලයින් කුමක් කීවත් ඔබ ලස්සනයි. ඔබ ඔබට ආදරය කරන්න. වැදගත් වන්නේ එයයි.

මුහුණ පොත ඔස්සේ මුණ ගැසුණු ආදර සම්බන්ධතාවලදී පළමු හමුව කෙසේ වූවා දැයි මුහුණු පොතේ එක්තරා ප්‍රසිද්ධ පිටුවක ප්‍රශ්නයක් අසා තිබෙනු මා දුටුවා. එහි බොහොමයක් පිළිතුරු සපයා තිබුණේ තරුණයින් විසිනි. එහි ඔවුන් දක්වා තිබූ අදහස් දුටු විට සැබැවින්ම මසිත කළකිරීමක් හටගත්තා. බොහෝ තරුණයින් කියා තිබුණේ ඔවුනට එවූ පින්තූරවල සිටින සුන්දර තරුණිය සැබෑවට නොසිටි බවයි. ඇතැම් පුද්ගලයින් එම තරුණියන්ව මුණ නොගැසීම පලා ගොස් තිබුණා. ඇතැම් තරුණයින් දක්වා තිබුණේ එම යුවතියගේ ගතිගුණ කෙතරම් යහපත් වුවත් පෙනුම අවලස්සන නිසා එසේ මුණ නොගැසීම පලා යාමට හේතු වූ බවයි. “ අපෝ තාර පීප්පයක් වගේ”, “ කන්න නෑ වගේ ඇටකටු විතරයි”, “ ෆොටෝවල වගේ නෙමෙයි කට්ට කලුයි” වැනි වදන් බොහොමයක් ඒ අතර තිබුණා.

එයින් පෙනී ගිය කරුණ වූයේ අද වන විට ආදර සම්බන්ධතාවක් පටන් ගැනීමේදී බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන ප්‍රමුඛ කරුණ වන්නේ අනෙකාගේ බාහිර පෙනුම බවයි. බාහිර පෙනුමෙන් කිසිම විටක පුද්ගලයකුගේ අභ්‍යන්තරය මැනිය නොහැකියි. මේ ලෝකයේ ජීවත් වෙන කිසිම කෙනෙක්ව ඔවුන්ගේ බාහිර ස්වරූපයෙන් මනින්න එපා. කෙනෙක්ගේ අඩුපාඩු දිහා බලලා හිනාවෙන්න එපා. එවැනි පුද්ගලයින්ව සමාජයේ කොන් කරන්න එපා. කිසිම කෙනෙක් අවලස්සන නෑ. ඒ මිනිසුන් ඔබටත් වඩා මනුස්සකමින් පිරුණු අය වෙන්න පුළුවන්. ඉතින්, බාහිර පෙනුමෙන් අයෙකු මැනීම සාර්ථක නොවන්නේ එකයි.

ඔබ හරිම සුන්දරයි. ඔබට තිබෙන්නේ ඔබටම විශේෂිත වූ සුන්දරත්වයක්. කෙනෙකු ඔබේ බාහිර පෙනුම හේතුවෙන් ඔබව අත් හැර දැමුවේ නම් ඒ ගැන සිතමින් ඔබ තවදුරටත් වේදනාවෙන් කල්ගත කරන්න එපා. බාහිර පෙනුමෙන් ඔබේ ප්‍රතිරූපය මනින මිනිසුන් ඔබේ ජිවිතයෙන් ඈත් වන තරමට හොඳයි. එවිට සුන්දර සිතකින් ඔබේ සුන්දරත්වය දකින අයෙකු ඔබට මුණ ගැසේවි. ඔබ කැමති ඔබට ගැළපෙන විලාසිතා ඔබම තෝරා ගන්න. ඔබව තවත් සුන්දර කර ගත හැක්කේ ඔබටම පමණයි. බාහිර පුද්ගලයින් කුමක් කීවත් ඔබ ඔබේ පෙනුම ගැන තෘප්තිමත් සිතින් කල් ගත කරන්න. ඔබට මෙවැනි පෙනුමක් ලබා දීම ගැන ස්තූතිවන්ත වන්න. ඔබේ සුන්දරත්වය ඔබම දකින්න. එය සතුටින් විඳින්න !

Top