මුළුතැන්ගෙයි වීරයාගෙන් ජීවිතය උගනිමු (532)

post-title

කුස්සිය එදා පටන් ලියලා දීලා තිබුනෙ කාන්තාවන්ට උනාට අද වෙනකොට ඒක වෙනස් වෙලා. ඇත්තටම කිව්වොත් වෙනස් කළා. මුළු ලෝකයකම රස වට්ටෝරු අතරට ලංකාවේ අපේකම අරන්ගිය නිහතමානී සූපවේදියා.

එදා ගල්කිස්ස මහ හෝටලේ ගල් අඟුරු ඇද්ද ඔහු අද නමින් දේශබන්දු ආචාර්ය තේමාදුරගේ පබ්ලිස් සිල්වා. ජීවිතය බිංදුවේ ඉඳන් පටන්ගන්න මිනිස්සුන්ට, ඕනි තරම් අංක තියෙනවා එකතුකරගන්න. ඒ වටිනාකම අඩුවැඩි කරගන්න එක තීරණය වෙන්නෙ තමන්ගේ උත්සාහය මත.

අපේකමත් එක්ක ලෝකයක් දිනපු , හරිහමන් පාසල් ගමනක් නොතිබුන ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්තයාගෙ ජීවිත කතාව ඇතුලෙ තියෙන මේ රස රහස අපි අද හොයමු. උත්සාහය කියන්නෙම හාස්කමක් කියලා මේ කතාව අවසන් වෙනකොට ඔයාගෙ හිතට දැනෙයි.

" මගෙ අම්මා ඉස්කොලේ ගිහින් නෑ.තාත්තා ඉස්කෝලේ ගිහිල්ලත් නෑ.හැමෝටම ජීවත්වෙන්න ගෙයක් දොරක් තියෙනකොට මම ඉපදෙනකොට අපිට කියලා අපේ මේ පුංචි රටේ එක වැලි කැටයකවත් අයිතියක් අපිට තිබිලා නෑ.මම ඉපදිලා තියෙන්නෙත් අනුන්ගේ පැල්පතක.දුක කියන රහ පුංචි කාලේ ඉඳන්ම මගෙ බඩට වගේම හිතටත් දැනුණා.මොකද තාත්තාට රස්සාවක් තිබුනෙ නෑ.මගෙ අම්මා සෑහෙන දුකක් වින්ඳා.අම්මා කූඩයක් අරගෙන ගාල්ලෙ ඉඳන් හැතැප්ම හයක් තියෙන මාකට් එකට පයින් යනවා.ඒ ගිහින් අයින් කරන එළවළු තෝරලා අරන් ආයෙම හැතැප්ම හයක් අම්මා පයින් එනවා.ඒ ඇවිදින් අම්මයි මමයි ඒ එළවළු හොඳට සුද්ද කරලා ගෙයින් ගෙට අරන් ගිහින් විකුණනවා.අදටත් කුණු තක්කාලි වල තියෙන සුවඳ මට දැනෙනවා. " 

මාකට් එකකට ගිහින් තියෙනවා නම් ඔයාගෙ නහය කුණු එළවළුවක පලතුරක කුයිල විඳලා තියෙනවා නම් ඔයාට ඇත්තටම දැනෙයි මේ කතාව මේ තරම් රසවත්ව අපිට කියවන්න හම්බුනේ ඇයි කියලා.

" අඹ ගෙඩියක පොතු අයින් කරලා කපලා බලනකොට සිලි සිලි ගාලා පණුවො නලියනවා.එහෙම අඹ මම ඕනිවටත් වඩා කාලා තියෙනවා.ඒ රහ අදටත් මට මතකයි.ඒ මගෙ මුල.ඉස්කෝලේ ගියාට මට ඉගෙනගන්න උනන්දුවක් තිබ්බෙම නෑ.අම්මා තාත්තා බලකරන්නෙ නෑ.ඕනි විදියකට හැදියන් කියලා හැදුන ළමයෙක් තමා මම.ඔහොම කාලයක් ඉන්නකොට හාමුදුරුවෝ කෙනෙක් මාව එක්කන් ගියා පන්සලකට මහණ කරන්න කියලා.මම පන්සලෙන් පැනලා ආවා.ඊට පස්සෙ මට උගන්නන්න කියලා වත්තලට මාව එක්ක ගියා මහත්තයෙක්.එතකොට මම හරි පුංචි දරුවෙක්.මම බලන් හිටියා මාව ඉස්කෝලේ යවනකන්.ඒත් අන්තිමට ඒ මහත්තයගෙ ළමයි ඉස්කොලේ ගිහින් එනකන් මම ගෙදර වළං පිඟන් හෝදලා ගෙදර වැඩ සේරම කරන් බලන් හිටියා.ඒ මහත්තුරු ආගමේ අය.හැමදාම ඌරු මස් කෑම මේසේ තියෙනවා.හැබැයි මට හම්බුනේ ඌරු තෙල් ටිකකුයි පාන් කෑල්ලකුයි විතරයි.පුදුම දුකක් ඒක ඒ වයසට.ඉතින් අමාරුවෙන් අකුරු ගැටගහලා මම දවසක් හොරාට තාත්තාට ලිව්වා, " මාව ඇවිත් එක්ක යන්න " කියලා. ඒ දවස්වල තැපැල් පතක් සතයයි.ඒ සතේට මම එදා ගුටිකෑවා."

අද වෙනකොට අපිට රස බලන්න බැරිඋන කෑම ජාතිවල පවා රස විඳින පබ්ලිස් මහත්තයගෙ එදා බඩේ ගින්න කුස්සියේ කුණුබක්කියට සීමාවෙලා තිබ්බා.

" තාත්තා මාව මහත්තයලගෙ ගෙදරින් එක්ක ඇවිත් මාළු අල්ලන්න මඩකලපුවට යවනවා.මට ගෙදර යන්න ඕනි කියලා මම එක්ක හිටිය මාමාට කිව්වා. සල්ලි නැති නිසා මාමා එක්ක එකතුවෙලා පොල් කඩලා ඒවා විකුණලා සල්ලි හොයාන කොළඹ ආවා.එතකොට මට වයස අවුරුදු දහයක් ඇති. ගෙදර හිටියෙ අවුරුද්දයි මම ආයෙම පැනලා පිටකොටුවට එනවා.තේ කඩේ රස්සාවක් කරා, බස්වල නැගලා සීනි බෝල විකුණුවා.ඒ කාලේ මම නිදාගත්තෙ පේමන්ට් එකේ.හොරකම් කරන්න පුරුදු උනා.පොලිසි ගානේ ඕනිවටත් වඩා ගිහින් තියෙනවා.ඒ වීදී ජීවිතය තමා මගේ ජීවිතේ විශ්වවිද්‍යාලය.හොද නරක කියන දේවල් ඉගෙනගත්ත තැන.ඔහොම කාලයක් ඉන්නකොට කලබල කාලේ නරක දේවල් ඔක්කොටම ආයුබෝවන් කියලා මම ගමේ ගියා.කුලී වැඩ කරලා හම්බකරා.අවුරුදු විස්සෙදි මම කසාඳ බඳිනවා.මගෙ නෝනට වයස එතකොට දාහතයි.එදා දැනගෙන හිටියෙ නෑ බැන්දම කන්න බොන්න දෙන්න ඕනි කියලා.මගේ නෝනා තමා ලණු අඹරලා මට කන්න බොන්න දුන්නෙ.මම කුලී වැඩ කලා, කරත්ත ඇද්දා.ඔහොම කරදර පිට ඉන්නකොට නෝනගෙ අයියා ගල්කිස්සේ හෝටලේ වැඩ කරනවා.මාව අයියා ලඟට යැව්වා. ඉස්සර හිටියෙ චෙෆ්ලා නෙමෙයි බාස්ලා. බාස්ට බෝතලයක් එහෙම අරන් ගිහින් දුන්නත් රස්සාව හම්බුනේ නෑ.මම එදා අයියට කිව්වා මට රස්සාව එපා මට මම ගෙනාව බෝතලේ දෙන්න මම ගෙදර යන්නම් කියලා.ඊට පස්සෙ මට රස්සාවක් හම්බුනා.ඒ තමා ගල්කිස්ස මහ හොටලේ කුස්සියට ගල් අඟුරු දාන්න.රුපියල් හතලික පඩියට."

 ජීවිතය කියන්නෙ පරීක්ෂණයක්.ඒ පරීක්ෂණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි මූණදෙන රටාව එක්කයි ඒ පරීක්ෂණයෙන් සමත්ද අසමත්ද කියලා තීරණය වෙන්නෙ.ඔයාගෙ පරීක්ෂණයේ තීරකයා වෙනින් කවුරුත් නෙමෙයි. ඒ ඔයාමයි.

" මට ලොකු ආසාවක් තිබ්බා මේ දේවල් ඉගෙනගන්න.ඉතින් අවුරුදු පහළොවකට විතර පස්සෙ හෝටලේ දෙවෙනි බාස් තනතුරට පුරප්පාඩවක් තිබිලා වැඩි ඡන්දෙන් මාව තෝරගන්නවා.එහෙම ආව මේ ගමනේ මම අද වෙනකොට ගල්කිස්ස මහ හෝටලේ අධ්‍යක්ෂ කෙනෙක්.මම මගේ දවස පටන්ගන්නෙ පාන්දර දෙකට.ඊට පස්සෙ කෝප්ප සෝදලා මූණසෝදගෙන ඇවිත් වතුර රත්වෙන්න තියලා මම යනවා බුදුන් වඳින්න මල් නෙලන්න.ඒ ඇවිත් තේ හදලා බුදුන්ට ගිලන්පස වෙනම හදනවා දෙයියන්ට වෙනම එකක් හදනවා.අද වෙනකන් බුදුහාමුදුරුවන්ට කලියෙන් මම තේක පිළිගන්වන්නෙ මගෙ දෙයියන්නට.ඒ වෙනින් කවුරුත් නෙමෙයි අවුරුදු හැටහතරක් මගේ හයියට හිටිය මගේ නෝනට .ඇගේ ඒ කැපවීමට මම ණය ගැතියි. " 

අද වෙනකොට ඔහුගේ ලොකු පුතා රැකියාවෙන් විශ්‍රාම ගියත් පබ්ලිස් සිල්වා මහත්තයා අදටත් වැඩ.වයස අවුරුදු අසූ හතරයි.ඉතින් මුළුතැන්ගෙය කියන්නෙ ඔහුට ඔසු කුටියක්.ඔහුගේ මුළුතැන්ගෙයට එන කිසිම දෙයක් ඔහු විසිකරන්න ඉඩ දෙන්නෙ නෑ.ඒ වටිනාකම ඔහු දෙන්න ඇත්තෙ ඔහු ගෙවාගෙන ආව ගමන් මගේ රසත් එක්කම වෙන්න ඇති.ඒ රසය කාටවත් අදටත් හොරකම් කරන්න බැරි රසයක්.ඔහු තිරුවානා ගලෙන් පවා රස මවපු සූපවේදයට අනුව විස්මිත වට්ටෝරුවක්.

" ඉස්කොලේ හතර පන්තිය වෙනකන් ගිය මම අද කතෘ කෙනෙක්.ලෝකයේ ආහාර සම්බන්ධව පොඩිම වට්ටෝරු පොතත් මම සතුයි,මහා සූපවංශයත් මම සතුයි.ඔබේ පවුලට ,ඔබ ආදරය කරන අයට, ඔබ සූපවේදියෙක් නම් ඔබේ ආහාර රසවිඳින හැමෝටම සකස්කරන ඒ ආහාරයට,බීමට අමතක නොකර ඔබේ ආදරය මුසුකරන්න.වසවිස වලින් ඈත්වෙන්න.මේ පොළොවට ආදරේ කරන්න. " 

ඉතින් ඔහු අපිට කියනවා කතාවක්.වැරදුන තැන් ආයෙ ආයෙම මුණගැහෙන්න වැඩ නොකර උත්සාහය එක්ක ඔයාගෙ මාවත ඔයාම නිර්මාණය කරගන්න.මිනිස්සුන්ට ආදරේ කරන්න.මට බෑ කියන තැනට වඩා මට ඕනි , මට පුළුවන් කියන තැනින් පටන්ගන්න. සල්ලි හොයන්න උත්සාහ කරනවට වඩා ජීවිතය හොයාගන්න උත්සාහ කරන්න.අද ඉන්න තැනට වඩා පියවරක් හරි ඉදිරියට යන්න උත්සාහ කරන්න.

"සල්ලි උපයන්න, ජීවත්වෙන්න ඕනි නිසා.ඒත් කවදාවත් ජීවත්වෙන්න එපා , සල්ලි විතරක්ම හොයන්න."

ඉක්මන් ගමන් කොටයි කියන නිසා ඉවසීමෙන් මුණගැහෙන හැම පරීක්ෂණයකටම මූණදෙන්න. ඔයාට පුළුවන් ආපිටම හැරිලා බලනකොට ඔයා ගැනම ආඩම්බර වෙන්න.ඔයා ඔයාගෙ කතාව විශ්වාස කරන්න.

පබිලියෙස් සිංඤෝ පබ්ලිස් සිල්වා විදියට පබ්ලිශ් උනා වගේ ඔයාටත් පුළුවන් පබ්ලිශ් වෙන්න.හොරකම් කරලා නෙමෙයි.ඔයාම උත්සාහ කරලා.



ස්තූති පබ්ලිස් මහත්තයා ! 

මම ලෑස්ති මගේ කතාවෙන් පබ්ලිශ් වෙන්න. ඉතින් ඔයත් ලෑස්තිද ?

Top