ඇති නැති පරතරයට විසඳුම කොතැනද? (443)

post-title

වර්තමාන ලෝකය යනු ඇති නැති පරතරය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින කාල වකවානුවකි. මෙකී දුප්පත්, පොහොසත් භේදය විසින් ලෝකය තුළ වර්තමානය වනවිට දරුණු මානව ඛේදවාචකයක් ද නිර්මාණය කෙරෙමින් පවතී. අද ලෝකයේ බිලියනපතියන් වේගයෙන් ඉහළ යමින් පවතින විට එයට වඩා වැඩි වේගයකින් ලෝකයේ දිළිඳු ජනතාව ඉහළ යමින් පවතින තත්ත්වයක් උදා වී ඇත. එහෙයින් වර්තමාන ගෝලීය සමාජ සන්දර්භය තුළ දරිද්‍රතාවය යන සංකල්පය අද වනවිට සමස්ථ මානව සමාජය තුළම වර්ධනය වෙමින් පවත්නා වූ පොදු සමාජ ප්‍රශ්නයක් බවට පත්වී හමාරය.

දරිද්‍රතාවය යනු පුද්ගලයෙකුගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රමාණවත් ද්‍රව්‍යමය සම්පත් හෝ ආදායමක් නොමැතිවීම වශයෙන් හැඳින්විය හැකි වන අතර එය සමාජ, ආර්ථික සහ දේශපාලන යනාදී වූ පැතිකඩ ගණනාවක් ඔස්සේම තීරණය වන්නකි. වර්තමාන ලෝක ජනගහනයෙන් මිලියන 700කට වැඩි පිරිසක් ජීවත්වනුයේ දිනකට ඩොලර් 1.9කට වඩා අඩු ආදායමක් ලබන තත්ත්වයේ ය. එමෙන්ම ලෝකයේ නාගරික ජනතාවගෙන් තුනෙන් එකකටත් වඩා වැඩි පිරිසක් ජීවත් වනුයේ ද මුඩුක්කුවල ය.

දරිද්‍රතාවය යනු යහපැවැත්මෙන් වියුක්ත වීමයි.

( ලෝක බැංකුව, 2000 ) 

දරිද්‍රතාවය පිළිබඳ ව ශ්‍රී ලංකාව තුළ ද විවිධ වූ කතාබහ ඇති වුවත්, අද එහි වත්මන් තත්ත්වය පවතිනුයේ ඉතාමත් බැරෑරුම් ස්ථානයකය. දරිද්‍රතාවය යන සංකල්පය ගෝලීය වශයෙන් හඳුනා ගැනීමේදී මුල් කාලයේදී දරිද්‍රතාවය යන්න මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා වන සම්පත් හිඟතාවය ලෙස අර්ථ දැක්වූවත් වර්තමානය වනවිට එය විස්තීරණ සංකල්පයක් බවට පත්ව ඇත. දරිද්‍රතාවය පිළිබඳ ව ශ්‍රී ලංකාව තුළ සාකච්ඡාවට බඳුන් වනුයේ 1940 දශකයේ සිටය. ඒ ශ්‍රී ලංකාවෙහි දරිද්‍රතාවය තුරන් කිරීම සහ අසමානතාවය අවම කිරීම සඳහා වන අවශ්‍යතාවය 1940 දශකයේ සිටම ලංකාව තුළ පැවති නිසාවෙනි. 

ශ්‍රී ලංකාව තුළ වර්තමානය වනවිට ආහාර, ඇදුම් පැළඳුම්, නිවාස ඇතුළු මූලික අවශ්‍යතාවයන් සම්පාදනය කර ගැනීමට මෙන්ම යහපත් ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීමට ද රට තුළ බොහෝ පිරිසකට හැකිවී නොමැත. එසේ නමුත් ලෝකයේ ඉතාම වේගයෙන් දිළිඳුකම පිටුදකින රට බවට පත්වීමට චීනයට හැකියාව ලැබී ඇත. වසර 2000 වනවිට එරට ජනගහනයෙන් 40%ක් පමණ ජීවත්වූයේ අන්ත දරිද්‍රතා කඩඉමෙන් පහළ වූ අතර, වර්තමානය වනවිට ඔවුන් එකී තත්ත්වයෙන් මිදී ඇත්තේ ද ඔවුන්ගේම උත්සාහයෙනි.

එහිදී චීනය කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙළක් දියත් කළ අතර, ඔවුන් එහිදී පළමුව සිදුකරන ලද්දේ රටේ ජනතාවගේ දරිද්‍රතාවයට අදාළ විද්‍යාත්මක දත්ත එක් රැස් කිරීමයි. පසුව එම දත්ත මත පදනම්ව ගොඩනඟන ලද පුරෝකථනයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම සිදුකරන ලදී. එහිදී චීනය මුලින්ම සිදුකරන ලද්දේ ඉහළ නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ගොඩනංවා, එමඟින් ආදායම් උත්පාදනය ඉහළ දැමීමයි. එහිදී රටේ ජනතාව ද මේ සඳහා උපක්‍රමශීලීව යොදාගනු ලැබීය. ඒ හේතුවෙන් ම අද වනවිට චීනය තම නිෂ්පාදන ආර්ථිකය ප්‍රබල කර ගනිමින් තම නිෂ්පාදනයන් අලෙවි කිරීම සඳහා ගෝලීය වෙළෙඳපොළක් ද ඔවුන් විසින් නිර්මාණය කරගෙන ඇත. එහෙයින් වර්තමාන ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම චීන නිෂ්පාදනයන් ආක්‍රමණය කර අවසන් ය. නමුත් ශ්‍රී ලංකාවෙහි තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් ය. එසේ ශ්‍රී ලංකාවට දරිද්‍රතාවයෙන් පීඩා විදීමට සිදුවී ඇත්තේ රට තුළ කිසිවෙකුත් ක්‍රමවත් නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳ ව නොසිතන නිසාවෙනි. එවිට රටක් වශයෙන් ආදායම් උපයන්නේ කෙසේද? එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින බදු ප්‍රතිපත්තිය මඟින් ද අද අප රටේ සමස්ථ ජනතාව ම පීඩනයකට ලක්කර අවසන් ය.

මෙම දරිද්‍රතාවය පිටු දැකීම සඳහා ලෝකය තුළ විවිධ වූ උපායමාර්ගයන් යොදාගැනීම සිදුවන අතර යටිතල පහසුකම් වර්ධනය කිරීම ඒ අතරින් ප්‍රමුඛ වූවකි. මහාමාර්ග තැනීම මේ අතරින් විශේෂිත වන අතර, මහාමාර්ග තැනීම නිසා නාගරික ප්‍රදේශවල පවතින සම්පත් ග්‍රාමීය ප්‍රදේශවලට ළඟාවීම පහසු වනු ඇත. එසේම ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදනයන් නාගරික ප්‍රදේශවලට ගෙනයාමට ද හැකියාව ලැබෙනු ඇත. මෙහිදී ආහාර හිඟය මැඩපැවැත්වීම සඳහා ද විවිධ වූ නවීන විද්‍යාත්මක කෘෂිකාර්මික ක්‍රමවේදයන් හඳුන්වාදීම තුළින් ආහාර හිඟය විශාල ලෙස පාලනය කර ගනිමින් සාගින්න තුරන් කිරීමට ද හැකියාව ලැබෙනු ඇත.

නමුත් බොහෝ ජන සමාජවල දරිද්‍රතාවය පිටුදැකීම සඳහා බරපතළ බාධක පවතින අතර එහිදී සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාග්ධනය වෙනත් රටවලට නීති විරෝධී ලෙස ගලායෑම සිදුවීම ද දරිද්‍රතාවය ඇතිවීම සඳහා බලපානු ලබයි. එසේම දිළිඳු සමාජවල බුද්ධිමත් ජනතාව සංවර්ධිත සමාජවලට ඇඳීයාම මෙන්ම ධනය සීමිත පිරිසක් අත පමණක් රැඳී තිබීම වැනි හේතූන් ද දරිද්‍රතාවය වර්ධනය වීම සඳහා බලපානු ලබයි.

ඒ අනුව වර්තමාන සමාජ ක්‍රමය විසින් ලෝකයට දායාද කර ඇත්තේ සුළුපටු අසමානතාවයක් නොව, සත්‍යය වශයෙන්ම එය මානව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ම වන බැව් මේ අනුව අපට මනාව පැහැදිලි වන්නකි.

එබැවින් කිසියම් සමාජයක් තුළින් දරිද්‍රතාවය පිටු දැකීමට නම් සමාජ සාධාරණත්වය ද, නීතියෙහි ආධිපත්‍යය ද සුරක්ෂිත කිරීම අවශ්‍ය වන අතර, ඒ ඔස්සේ නවෝත්පාදනයන් ද මල් ඵල දරනු ඇත. එමෙන්ම සාධාරණත්වය හෝ නීතියේ ආධිපත්‍යය නොමැති රටක නවෝත්පාදනය ද සිහිනයක්ම ය. ඒ අනුව එවැනි රටක් තුළ දරිද්‍රතාවය පිටුදැකීම යන්න ද තවදුරටත් සිහිනයක් ම වන බව නම් නොරහසකි.

Top