ඔබත් ලිංගික හිංසනයට ලක් වූ වින්දිතයෙක් ද? (434)

post-title

“පසුගිය වර්ෂයේ දිනයක පුද්ගලයෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මට වීඩියෝ කෝල් ගැනීමට උත්සාහ කලා, අත්වැරදීමකින් එක් ඇමතුමක් මා විසින් ගත් නිසා එම පුද්ගලයා එම තප්පර කිහිපයක වීඩියෝ කෝල් එක රෙකෝඩ් කර මගේ නමින් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් සකසා එය මුදා හැර තිබුණා. මගේ මිතුරන්ගේ සහයෝගයෙන් මම එම ගිණුම ගලවා දැමුවත්, මේ වර්ෂයේදී නැවතත් එම පුද්ගලයා එලෙසම මගේ නමින් ගිණුමක් විවෘත කර වෙනත් ගැහැණු ළමයෙකුගේ අසභ්‍ය ඡායාරූපත් මගේ එම පරණ කෙටි වීඩියෝවත් දමා නැවත මට ලිංගික තර්ජනය කළා .මෙවර මට සී.අයි.ඩී. සහය ලබා ගැනීමට සිදු වුණා එම ගිණුම ඉවත් කරන්න. ඉතින් මම මේ පුද්ගලයා කවුදැයි දන්නේ නෑ. තවමත් මට අභිරහසක්. මම දැන් සමාජ මාධ්‍ය ජාලා වල මගේ ඡායාරූප පල කරන්නේ නෑ. එම පුද්ගලයා හඳුනා ගන්නා තෙක් මට නිදහසක්ද දැනෙන්නේ නෑ. මෙම සිදුවීම නිසා මම, සමාජ මාධ්‍ය ජාලා කිහිපයකම පිටු විවෘත කළා මෙවැනි හිංසන වලින් බේරී සිටින්නේ කොහොමද කියල මම වගේම තරුණියන්ව දැනුවත් කරන්න.” (තරුණියක මුහුණ පෑ සයිබර් හිංසනයක අත්දැකීම් බෙදා ගැනීමක්)

වර්තමානය වන විට බහුලවම අසන්නට හා දකින්නට ලිංගික හිංසන වලින් සයිබර් ලිංගික හිංසන ඉදිරියෙන් සිටියි. වසංගතය නිසා බොහෝ දෙනා නිවෙස් වල රැඳී සිටීමත්, වැඩිපුර සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීමට පෙළඹීම මෙයට ප්‍රධාන හේතුවක්. පුද්ගලයෙකුට හිංසා කිරීම සඳහා විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිත කිරීම මූලිකවම සයිබර් හිංසන ලෙස හැඳින්වෙන අතර බොහෝ විට අප එදිනෙදා භාවිත කරන ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඊමේල්, වට්ස්ඇප් ආදී විවිධ සමාජ මාධ්‍ය ජාලා ඇප් හරහා මේවා බොහෝ විට සිදු වෙයි. අසභ්‍ය ඡායාරූප පල කිරීම, තර්ජනය කිරීම, එම පුද්ගලයා ලෙස පෙනී සිටීම, අපහාසාත්මක තොරතුරු ප්‍රචාරණය කිරීම වැනි බොහෝ ක්‍රියාකාරකම් මෙම සයිබර් හිංසන ගණයට වැටෙන අතර, මේවාගේ වින්දිතයන් බහුතරයක්ම කාන්තාවන් ය. මෙම සයිබර් හිංසන වලට අමතරව, මහමඟ සහ වෘත්තීය ස්ථානයේ දී  සිදුවන හිරිහැර, නිවසේදී සිදුවන ගෘහස්ත හිංසන ලෙස විවිධ පැතිකඩයන් ඔස්සේ වර්ග කල හැකි ලිංගික හිංසන කාන්තාවන්ට දිනපතා මුහුණ දීමට සිදු වේ.

සංඛ්‍යා ලේඛන වලට අනුව, 2019 කාන්තා සුබසාධක සමීක්ෂණයෙන්(Women’s Wellbeing Survey 2019) පෙන්නුම් කරන්නේ සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු(24.9%) හවුල්කරුවෙකු හෝ හවුල්කරුවෙකු නොවන අයෙකු විසින් ශාරීරික හා/හෝ ලිංගික හිංසනයන්ට මුහුණ දී ඇති බවත්, සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (39.8%) ශාරීරික, ලිංගික, චිත්තවේගීය සහ / හෝ ආර්ථික හිංසන සහ / හෝ සහකරුවා විසින් හැසිරීම් පාලනය කිරීම් කර ඇතෙම වාර්තාවේ දැක්වෙන්නේ, වතුකරයේ වෙසෙන කාන්තාවන්ගෙන් තුනෙන් එකකට වඩා (37.9%) සිය ජීවිත කාලය තුළ ශාරීරික හිංසනය අත්විඳින බවයි. 2017 දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව 90% කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයන් වලට ලක් වේ. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැහැනියක සහ පිරිමියෙකු අතර පැවතිය යුතු සම අයිතිය පිළිගෙන තහවුරු කර තිබෙන අතර, නීතිය ඉදිරියේ දී එක හා සමානව පිදුම් ලැබීමට හා ස්ත්‍රී පුරුෂ භාවය මත ඇතිවිය හැකි වෙනස් ලෙස සැලකීම් වැළක්වීමද ප්‍රත්‍යක්ෂ කොට තිබේ. CEDAW(Convention on the Elimination of All Forms of Discrimination against Women) ගිවිසුමට අනුව අනුව කාන්තාවන්ට සිදුවන සියලුම ආකාරයේ වෙනස් ලෙස සැලකීම් ඉවත් කිරීම වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට ශ්‍රී ලංකාව එකඟ වී තිබේ. නමුත් මෙවන් පසුබිමක කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැර වල අඩුවක් දකින්නට නැත. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එම ලිංගික හිංසන සිදු කරන පුද්ගලයින් එය දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නොදැන සිටීමත්, ඒවායින් පීඩාවට පත්වෙන වින්දිතයා විසින් එම හිංසන වලට ගත හැකි නෛතික පියවර ගැන නොදැන සිටීමත් ය. සහ ඒවාට ලක්වන කාන්තාවන් තව දුරටත් නිහඬව සිටීමයි. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයක් දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එය ඔප්පු වුවහොත් බරපතළ වැඩ සහිතව හෝ රහිතව වසර පහක් සිරගෙට යෑමට සිදු වේ.

සමාජ වැඩ ශිෂ්‍යාවන් දෙදෙනෙකු විසින් ඔවුන්ට සීදූව ප්‍රදේශයේ මහ මඟදී මුහුණ දීමට සිදු වූ ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් තබා තිබුණු අතර එයට විශේෂ අවදානයක් රජය විසින් ලබා දීම නිසා, එම ප්‍රදේශයේ මහ මඟ ආරක්ෂාව සම්බන්ධයෙන් පිරික්සා බැලීමට අදාළ බලධාරීන් පියවර ගනු ලැබිණ. එම ට්විටර් පණිවුඩය නිසා වෙනත් ට්විටර් පරිශීලකයන් ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීමද සුවිශේෂත්වකි. ශ්‍රී ලංකාවේ අපට දකින්නට නොහැකි දෙයක් නම්, මෙවැනි ගැටලු කතා කිරීමට එම ලිංගික හිංසන වලට ලක්වන වින්දිතයන් මැලි කමක් දැක්වීමයි. සමාජයෙන් එල්ලවිය හැකි විවිධ වැරදි චෝදනා, අපහාස කිරීම්, ගෞරවය සම්බන්ධ කාරනා විසින් ඔවුන්ව නතර කරනු ලැබේ.

“මගෙන් බොහෝ අය විමසුවා, අපි එවෙලෙ ඇඳන් හිටියේ මොන වගේ ඇඳුම් ද කියල. තව කෙනෙක් අහල තිබුණා හවස් වරුවක එලියට යනවා නම් පිරිමි පුද්ගලයෙකු හා නොගියේ ඇයි කියල. කාටවත් ප්‍රශ්නයක් උනේ නෑ එම මොහොතේ පාරේ කොපමණ පිරිමින් සංඛ්‍යාවක් සිටියද, වාහන තිබුණද සහ අපි කෑ ගැහුවත් කවුරුත් අපිට උදව් කරන්නට ආවෙ නැත්තෙ ඇයි කියන එක ගැන”

“මගේ පවුලෙ අය ඇහුවා, ඔයා එහෙම දෙයක් ප්‍රසිද්ධියේ කියන්න ගියේ ඇයි කියල. ඒක මගේ ගෞරවයට හානියක් කියල. නමුත් මට අවශ්‍ය උනේ මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න. මට මෙවැනිම මහ මඟදී ලිංගික හිංසනයක් වෙනකොට මගේ වයස අවුරුදු 14යි. මට ඒ ගැන කාටවත් කියන්න ධෛර්‍යක් තිබුණේ නෑ. එය කාලයක් යනතුරුම මට කම්පනයක්ව තිබුණා. ”

ඉහත ට්විටර් පණිවුඩ පළ කල ශිෂ්‍යාවන්ට ලැබී තිබුණු පෞද්ගලික පණිවුඩ හා ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් එසේ වුණු අතර, අද වන විට ඔවුන් ඔවුන්ගේ සමාජ වැඩ ක්ෂේත්‍ර වල මුණ ගැසෙන තරුණ ගැහැනු ළමයින්ට මෙම අත්දැකීම් භාවිතයෙන් ලිංගික හිංසන වලට එරෙහිව නැගී සිටීමට කල යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිති. අත්දැකීම් බෙදා ගැනීම, අධ්‍යාපනය ලබා දීම, දැනුවත් කිරීම, කතා කිරීමට බිය නොවීම හා නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම, ලිංගික හිංසන ගැන කතා කිරීමට සමාජ මාධ්‍ය ජාලා භාවිතය, සමාජ මාධ්‍ය වල පවතින ආරක්ෂක ප්‍රතිපත්ති ගැන දැනුවත් වීම, දෙමාපියන් දරුවන් හා මෙම විෂයන් ගැන විවෘතව කතා කිරීම, නෛතිකමය කාරණා සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ආදී බොහෝ දෑ මෙම ලිංගික හිංසන වැළැක්වීම සඳහා ඒවාට නතු විය හැකි පුද්ගලයින් අතර මූලික වශයෙන් සිදු විය යුතු යැයි ඔවුන්ගේ විශ්වාසයයි. කෙසේ නමුත් කාන්තාවන්ට හෝ පුරුෂයන්ට හෝ වේවා සිදු විය හැකි ලිංගික හිංසන වැළක්වීමට නම් සමාජයේ ඒවා සම්බන්ධයෙන් පවතින “ඇඳුම නිසා ලිංගික හිරිහැර සිදුවේ” වැනි වැරදි ආකල්ප සහ මිත්‍යා මත වෙනුවෙන් සියලු දෙනාම සටන් කල යුතුය.


References:

https://www.bbc.com/sinhala/sri-lanka-47054590

http://www.statistics.gov.lk/Resource/refference/WWS_2019_Final_Report

https://www.ft.lk/columns/Violence-against-women-in-Sri-Lanka/4-710091

Top