සංස්කෘතිය අහිංසක ද? නැතහොත් එය උගුලක් ද? (467)

post-title

මිහිමත ජීවත්වන්නා වූ සෑම පුද්ගලයෙකුම කිසියම් වූ සංස්කෘතියකට අයත් වන සංස්කෘතික සත්ත්වයෙකි. එමෙන්ම අතිශයින් ප්‍රාථමික ජන සමාජයක් තුළ පවා වුවද කිසියම් වූ සංස්කෘතියක් පවතී. මෙසේ සෑම සමාජ කොටසක් තුළම පවතින්නා වූ එකී සංස්කෘතිය ඇතැම් විටෙක මිනිසා සිතන තරමට ම අහිංසක වූවක් ද? නොඑසේනම් එය සමස්ථ සමාජයම වෙනස්ම මාවතක් කරා යොමුකරවන්නක් ද? 

සංස්කෘතියක් යනු, පරිපූර්ණ ලෙස උගත්, සමාජීය වශයෙන් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට ව්‍යාප්ත කරනු ලබන හැසිරීම් රටාවක්, චර්යා පද්ධතියක් ලෙස සරලව අපට අර්ථකතනය කළ හැකිය. කිසියම් සමාජ කණ්ඩායමක පවතිනු ලබන සංස්කෘතිය තුළින් එකී සමාජීය මිනිසාගේ සිරිත්විරිත්, ඇවතුම් පැවතුම්, ඇදහිලි විශ්වාස යනාදී වූ සියල්ලම නිර්මාණය කරනු ලබන අතර ඒ සියල්ල නිර්මාණය වනු ලබන්නේ ඔවුන් ජීවත්වන තම සංස්කෘතියට අනුරූප වන ලෙසටය. 

එමෙන්ම සංස්කෘතිය තුළ භාෂාව ද අතිශය තීරණාත්මක වේ. සමාජයක් මෙන්ම මනුෂ්‍යයන් තවත් මනුෂ්‍යයන්ගෙන් වෙනස්වන අතිශය තීරණාත්මක කරුණක් වනුයේ ද භාෂාවයි. එහෙයින් බලන කල සංස්කෘතිය එක් එක් සමාජයක තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

එසේම වෙනත් සමාජවලින් වෙන් වී ඇමර්සන් වනයේ හෝ කොංගෝ වනයේ ජීවත්වන ප්‍රාථමික මිනිසුන් අතර ද එක් පරපුරක් විසින් තවත් පරපුරක් වෙත ගෙනයනු ලබන සංස්කෘතියක් පවතී. මෙසේ එක් එක් සංස්කෘතීන්වලට අයත් මිනිසුන් තම සංස්කෘතියට අයත්, සංස්කෘතිය නැමැති පාට කණ්නාඩියට අනුව තම ලෝකය අර්ථගන්වා ගනු ලබයි. ශරීරය නිරාවරණය කර ගනිමින්, අඬ වශයෙන් ඇඳුම් ඇඳගත් විදේශකයෙකු දුටු සැණින්ම ඔවුන්ගේ සංස්කෘතිය අසම්මත සංස්කෘතියක් යැයි ලාංකේය සංස්කෘතිය තුළ ජීවත්වන අපට විටෙක සිතෙන්නට පුළුවනි. නමුත් ඒ ඔවුන්ගේ සංස්කෘතියයි. එහෙත් ලාංකේය සමාජය තුළද එපරිද්දෙන්ම ශරීරය ආවරණය නොවූ අමුඩය ඇඳගත් ගොවියෙකු දුටුවිට ඔහු තම සංස්කෘතියට පටහැනි පුද්ගලයෙකු ලෙස ලාංකේය සමාජීය මිනිසා කිසිවිටෙකත් නොදකියි. එහෙයින් අපව කොටුකරනු ලබන මෙම සංස්කෘතිය, සමාජීය වශයෙන් පමණක්ම ගොඩනඟා ගත්තකි. මෙසේ සමාජය තුළ එකිනෙකා දකින දෘෂ්ටිය තීරණය කරනු ලබන්නේ ද ඔවුන් අයත් සංස්කෘතිය විසින්ම ය.

තවත් අතකින් සංස්කෘතිය යනු මිනිසාගේ ආශාවන් මර්ධනය කරනු ලබන්නකි. තවත් අතකින් ගත්විට අධිපති සංස්කෘතියක් විසින් අනෙකුත් ආන්තික සංස්කෘතීන් පාගා දැමීම සිදුකරනු ලබන්නකි. හැන්දෙන්, ගෑරුප්පුවෙන් ආහාර ගැනීම වැනි අධිපතිවාදී සංස්කෘතියකට අයත් සංස්කෘතිකාංගයක් නොදැන සිටීම ඇතැම්විට ඇතැම් සමාජයකින් කොන් කිරීමට එය හේතුවක් වනු ඇත. මෙසේ අද වනවිට බොහෝ ආහාර සංස්කෘතීන්ච බටහිර රටවල් ආක්‍රමණය කොට හමාරය. එය ලාංකේය සමාජය දෙස බලන කල අපට ඉඳුරාම පැහැදිලි වන සත්‍යයකි. මෙසේ සෑම සංස්කෘතියක් පිටුපසම මර්ධනය කිරීම්, පාලනය කිරීම් යනාදී වූ බල ක්ෂේත්‍රයක් ක්‍රියාත්මක වේ. එහෙයින් සැබැවින්ම සංස්කෘතිය යන්න අහිංසක නොවූවක් ය.

එමෙන්ම සංස්කෘතිය යනු නිරන්තරයෙන්ම වෙනස් වන්නකි. මෙහිදී විවිධ සංස්කෘතීන් සමඟ ගැටීමෙන් කිසියම් සංස්කෘතියක් වෙනස්වීමට භාජනය වීම ද ගෝලීයකරණය වූ ලෝකය තුළ නොවැළැක්විය හැක්කකි. ශ්‍රීලංකාවේ මධ්‍යම පාන්තික දරුවෙකුගේ උදෑසන, දිවා සහ රාත්‍රී ආහාරවේල් දෙස විමසිල්ලෙන් බැලූවිට පෙනෙන බොහෝ කාරණා අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබනුයේ ඔහු ගන්නා බොහෝ ආහාරවල මූලයන් වෙනත් රටක නිර්මාණය වීමය. මෙහිදී මුල් කාලීන සමාජය සංස්කෘතික විසරණය හේතුකොටගෙන විශාල වෙනසකට ලක්නොවූවත් පසුව සංස්කෘතියේ වෙනස්වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය. එහෙයින් පෙර පැවති සංස්කෘතිය රැක ගැනීමට කටයුතු කිරීම යනු එක්තරා ආකාරයකින් එය මුග්ධ ක්‍රියාවක් ද වනු ඇත. ලාංකේය සංස්කෘතිය ගත්විට එය ද අද වනවිට විවිධ වූ වෙනස්කම්වලට ලක් වී හමාරය. ගැහැණු ළමයින් කලිසම් ඇඳීම පිළිබඳ ව යම් ආන්දෝලනාත්මක මතයක් මීට දශක කිහිපයකට පෙර ලාංකේය සමාජය තුළ පැවතිණි. නමුත් අද වනවිට ගැහැණු ළමයා පමණක් නොව සමස්ථ කාන්තා සමාජයම කලිසම් ඇඳීම සිදුකළත් කිසිඳු විරෝධයක් ලාංකේය සමාජය තුළ පැන නැගෙන්නේ නැත. ඒ සංස්කෘතියේ සිදුවූ වෙනස්වීම නිසාවෙනි.

මේ අනුව මිනිසා යනු සමාජ සංස්කෘතියේම කොටසක් ව, සංස්කෘතික උගුලට හසුවී සිටින සත්ත්වයෙක් බැව් අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. ඒ අයුරින් බලන කල සංස්කෘතිය, සැබවින්ම අහිංසක නොවූවවක් ම වන්නේ ය.

Top