තෙල් නැව නිසා ගත්ත වන්දියෙන් පුලුවන් ද මියයන සත්තු ජීවත් කරන්න (413)

post-title

සොබාදහම කියන්නේ හරි අපූරු නිර්මාණයක්. ඒ සොබාදහමේ එක් නිෂ්පාදනයක් විදියට තමයි මිනිසුන් බිහිවෙලා තියෙන්නේ. මිනිසා බිහිවෙන්නෙත් වානර පරම්පරාවෙන්. ගතානුගතිකව කාලානුරූපීව පරිවර්තනය වෙමින් තමා මිනිසා කියන සත්ත්වයා දියුණු මොළයක් සහිතව මේ ලෝකයට දායාද වුණේ. ඉතින් එතකොට සොබාදහමේ අනෙක් නිපැයුම් තමයි සුළග, වැස්ස, සතා සිවුපාවා, ගස්වැල්, දියඇලි, ගංගා, වැව්, පොකුණු, ඇළදොළ කියන්නෙත්. ඉතිං එතකොට හුස්ම ගන්න අයිතිය තියෙන්නෙත් මිනිසුන්ට විතරක් නෙවෙයි. සොබාදහමේ අනෙක් නිපැයුම් වලටත් අයිතිය තියෙනවා. ඒවා පණ ඇති වෙන්නත් පුලුවන්. පණ නැති වෙන්නත් පුලුවන්. ඒත් හුස්ම ගන්න එක ඒ කාගෙත් පොදු අයිතිවාසිකමක්. 

2019 දෙසැම්බර් චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වසංගතය පැතිරයාම ආරම්භ වීමත් එය අද වනවිට ලොව පුරා පැතිර යාමත් සමග සොබාදහම හරි අපූරු පාඩමක් කියා දුන්නා. එහෙම කියන්න හේතුව තමයි මිනිසුන්ව ඇතුළට හිර කරලා දාලා ගස්වැල් , සතා සිවුපාවා ඇළදොළවල් අලුතෙන් හුස්ම ගන්න පටන් ගත්තා. මිනිස්සුන්ට මේ අත්විදින්න වුණු දේවල් එක්කයි තේරුණේ නිදහස කියන්නේ ජිවත්වෙන්න නැතිවම බැරි දෙයක් කියලා. මනුෂ්‍යයෙක් එක්ක කතා බහ කරන්නේ නැතිව ගෙදර බිත්ති හතරට හිරවෙලා ඉද්දි තමයි මිනිස්සුන්ට තේරුණේ හිරවෙලා ජීවිතේ ගත කරන එක කොච්චර අමාරුද කියලා. එතකොට චුට්ටක් හිතලා බලන්න සත්තු වත්තේ කූඩු අතරේ හිරවෙලා ඉන්න සත්තු කොච්චර නම් පීඩාවක් විදිනවා ඇතිද? නිදහසේ කැළෑ කොළේ ඇවිදින්න නිදහසේ ගුවනේ සැරිසරන්න අවකාශය නැතිව මිනිස්සු වුණු අපි කොයිතරම් නම් සොබාදහමේ අනිත් නිපැයුම් වල නිදහස සීමා කරලද? ලෝකයේ එක එක රටවල මිනිස්සු එක එක සත්තු මරලා මස් අනුභව කරනවා. හිතලා බලන්න ඒ සත්තුත් අපි වගේම නිදහසේ ජීවත් වෙන්න හුස්ම ගන්න කැමති ඇති නේද? අපිව කවුරුහරි මරන්න එද්දි කොච්චර නම් මරණ බියක් මිනිස්සු වුණු අපට දැනෙනවාද? ඉතිං ඒ බයම සත්තුන්ටත් දැනෙනවා. 

මිනිස්සුන්ගෙයි අනෙක් සත්තුන්ගෙයි තියෙන එකම වෙනස මිනිසාට තරම් දියුණු මොළයක් නැති එක විතරයි. ගස් වුණත් හුස්ම ගන්නවා. ගස් කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන නිසා තමයි අපිට අද හොද වාතාශ්‍රයක් ලැබෙන්නේ නොමිලේම. ඒත් හිතලා බලන්න මේ මෑත වකවානුවේ ඉන්දියාවේ දිල්ලි නුවර විශාලා මහනුවරක් වගේ වෙද්දි කොයිතරම් නම් මිනිස්සු ප්‍රමාණයක් හුස්ම ගන්න ඔක්සිජන් නැතිව මැරුණද? එහෙම දකිද්දිවත් හුස්මක වටිනාකම නොතේරෙන මිනිස්සු තමයි අද මේ ලෝකේ ඉන්නෙ. මිනිස්සු ගෙවල් වලට හිරවුණාම චීනයේ මල් පිපුණේ නැති චෙරි ගස් වලත් මල් පිපිලා ඵලදරන්න වුණා. ඒ වගේම ජපානයේ එතෙක්කල් නොපිපුණු සකුරා ගසුත් මලින් බරවෙන්න ගත්තා. කාණු හරහා රසායනික ද්‍රව්‍යය ඇළ දොළ ගංගා වලට එකතු වෙන්නෙ නැති නිසා කැළණි ගගේ වතුරත් පිරිසිදු වුණා. ඒ වගේම තමයි සතා සිවුපාවා වගේම කුරුල්ලොත් හිතුමතේට පාරවල් දිගේ ඇවිදගෙන යන්න වුණා. වෙනදාට මිනිස්සුන්ගෙන් පිරුණු පාරවල් සත්තුන්ගෙන් පිරිල ඉතිරිල ගියෙ ඒ හින්දයි.මොකද ඊට කලින් ඒ සත්තු එච්චර කාලයක් හිරවෙලා තමයි හුස්ම ගත්තෙ. ලැබුණු නිදහස හැම ගහ කොළක්ම , සතා සිව්පාවෙක්ම ප්‍රයෝජනයට ගත්තා. ඒකෙන්ම පේනවා මිනිස්සු උනු අපි සොබාදහමේ අනෙකුත් නිපැයුම්වල අයිතීන් කොතෙරම් උදුරාගෙන ඉදල තියෙනවද කියල.

ලංකාවේ කොළඹ නගරෙ පවා හිටවලා තිබ්බ ගස්වල මල් පිපෙන්න ගත්තෙ මිනිස්සු ගෙදරට කොටු උනාට පස්සෙ. ඊටත් වඩා පුදුම හිතෙන කාරණාවක් තියෙනවා. කොරෝනා රෝගය ආරම්භ වෙන්න කලින් අපිව අහිතකර පාරජම්බූල කිරණෙන් ආරක්ෂා කරන්න නිර්මාණයවෙලා තිබ්බ ඕසෝන් ස්ථරය තැනින් තැන සිදුරුවෙලා තිබ්බ.ඒත් මේ කොරෝනා හින්ද මිනිස්සු ගෙවල්වලට හිරවෙද්දි, කර්මාන්තශාලා වැසී යද්දි එහි ප්‍රතිඵලයක් විදිහට ඕසෝන් ස්ථරයෙ සිදුරු උනු තැනුත් වැහිල යන්න පටන් ගත්ත බව පර්යේෂකයන් විසින් තහවුරු කරනු ලැබූ කාරණයක්. මිනිස්සු උනු අපි කොච්චර ආත්මාර්ථකාමීද කියනවනම් සොබාදහමේ අසිරිය විඳගන්න ගිහිල්ල ඒ අසිරිය වනසලා එන්න තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නෙග මොකද පොලිතීන් ප්ලාස්ටික් බෝතල් වීදුරු බෝතල් ගිය ගිය තැන දාලා එන එක ලංකාවේ මිනිස්සුන්ට නම් දැන් පුරුද්දකට ගිහින්ග එහි ප්‍රතිඵලයක් විදියට තමයි සත්තුන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න සිද්ධවෙලා තියෙන්නෙග ඒ වගේම තමයි මිනිස්සු ආර්ථිකය සරිකර ගැනීම අරමුණු කරගනිමින් විශාල වශයෙන් ගස් කැපීමේ ව්‍යාපාරවල නිරත වීම හේතුවෙන් අද වන විට බොහෝ ප්‍රදේශ කාන්තාරීකරණයට ලක්වෙලා ගිහිල්ල. වෙන දෙයක් තියා කැළෑවක් අයිනේ නවත්තල සිගරට් එකක් එහෙම බීලා ඒක නිවන්නෙ නැතුව ඔහේ කැළේට විසික්කල ගිය නිසා ලංකාවේ වන රක්ෂිත කීයක් නම් ගින්නෙන් විනාශ උනාද සත්තු කී දෙනෙක් දැවිල අලුවෙන්න ඇත්ද ? 

කොරල්පර කියන්නෙ මුහුදු පත්ලෙ තියෙන අනර්ඝ වස්තුවක් කොරල්පරයක් නිර්මාණය වෙන්න අවුරුද්දකටත් වඩා කාලයක් ගතවෙනව. එහෙම නිර්මාණය වෙන්නෙත් ඊට සුදුසු පරිසරයක් තියෙනවන්ම් විතරයි අද වනවිට ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආශ්‍රිත කොරල්පර පද්ධතිය මුලුමනින්ම මිය ගිහින්. ඒ වගේම තමයි ලංකාවෙ කොරල්පරත් අද වනවිට එවැනිම අර්බුදයකට මුහුණපාලා තියෙනවා. සිහියෙ තබාගතයුතු කාරණාවක් තමයි වන්දි ගත්තයි කියල රටේ අහිමිව යන ස්වභාවික සම්පත් නැවත වර්ධනය වෙන්නෙ නෑ කියන එක. ලංකාව විසින් භාරගත්ත තෙල් නැව නිසා අද කැස්බෑවන් වැනි මුහුදු ජීවීන් කී දෙනෙක්ට නිදහසේ හුස්ම ගන්න තියෙන අයිතිය නැතිවෙලා ගිහින්ද? ඒ සත්තු තමයි සාගර පත්ල ලස්සන කරන්නෙ. පොඩ්ඩක් හිතල බලන්න මේ නැතිවෙලා යන්නෙ සොබාදහමෙ තියෙන අසිරිය නෙවෙයිද? මෙම ලිපිය ලියන මට වගේම මෙම ලිපිය කියවන ඔබටද ඔක්සිජන් බෝතල් පිටෙහි එල්ලාගෙන යන්න සිදුවන කාලය වැඩි ඈතක නොවන බව සිහි තබාගන්න. මුතුරාජවෙල,විල්පත්තුව, සිංහරාජය කියන සම්පත් දැනටමත් අපි අතරින් ගිලිහිල ඉවරයි.හිතට තට්ටු කරල අහල බලන්න එකම දම්වැලක පුරුක් තමයි මිනිසා සහ ඉතිරි ස්වභාවික නිමැවුම් කියන්නෙ ඉතින් ඒ දම්වැලේ පුරුක් එකින් එක ගැලවිල යනව කියන්නෙ එතනින් එහා මිනිසාටද අනාගතයක් ඉතිරි වෙයිද කියන කාරණය.

Top