යක්කු විතරක් නෙවෙයි ලොකු ලොකු - දෙවිවරුත් මගෙ ඇඟට වැහුවා (412)

post-title

නෙක පාට විසිතුරු ඇදුම ඇදගෙන, නවීන පන්නයේ විලාසිතා කරමින් මාවතේ එහෙ මෙහෙ ඇවිදින සුරූපී තරුණ ළඳුන් දෙස මොහොතක් බලා සිටියෙමි. ගෙවී යන තාරුණ්‍ය අබියස මට සිහිපත් වන්නේ, ජීවිතයේ කෙදිනකවත් මා ඔවුන් තරම් සැහැල්ලුවෙන් සතුටෙන් සහ සැනසීමෙ ජීවිතය ගෙව්වේ නැති බවය. අවුරුදු විසිහතක ජීවිත කාලයක් මා අත්විඳි අත්දැකීම් මේලොව කිසිම යුවතියකට විඳින්නට සිදු නොවේවා, එයයි මගේ එකම පැතුම.

මම උපතින්ම කාලකන්ණිකම දෝතින් රැගෙන ආ එකියක් යැයි මට හැගේ. ඒ කුඩා කල සිට මේ දක්වා මා අත්විඳි අත්දැකීම් නිසාවෙන්ය. ඒ අත්දැකීම් කිසිම විටෙක සොදුරු ඒවා නොවීය. කිසිසේත්ම සොදුරු නොවූ පරිසරයක මගේ උපත සිදුවිය. කොහේ හෝ ඇසෙන කාලගෝට්ටියක්, අසැබි වදනක්, කංකරච්චලයකින් දවස ඇරඹෙන, බීමත් පුරුශයෙකුගේ අසැබි වදන් හමුවේව් හෝ ගුටි බැට හමුවේ විලාප දෙන ගැහැණියකගේ හඬකින් දවස නිමාවෙන, කලබලකාරී , දුඟද හමන , අප්‍රසන්න මුඩුක්කු පේලියේ කෙළවරක ගෙදරක මගේ උපත සිදුවිය. සොපියා අක්කාගෙ එහෙම නැත්තම් මෝචරියෙ මිනී කපන සෝමසුන්දරගෙ කෙල්ල කීවොත්, වත්ත උඩින් පියාඹන කපුටෙක් පවා මාව දනී.

කොහේ හෝ මොකක් හරි කුලියක් කර එහෙම නැත්තනම් වෙන මොනයම් ආකාරයෙන් හෝ උපයාගත් දෙයකින් හාල් කිලෝවක් පරිප්පු දෙසීයක් ගෙනත් අම්මා මගේ කුස පුරවද්දී, තාත්තාගෙ එකම රාජකාරිය වූයේ, මෝචරියේ වැඩ නිමා කර  දවස අවසානයේ වත්ත කෙලවර හොරෙන් පෙරන කසිප්පු වාඩියේ රාජකාරිත් නිමාකර එතනින් කටගොන්නක් බීගෙන ඇවිත් අම්මාටත් මටත් ගුටි පූජා දීම ය. ගෙදර සන්තකේට තියන පිඟන් වීදුරු, මැටි මුට්ටි තාත්තාගෙ ග්‍රහණයට අහුවී බිඳී යද්දි, අපි පණ බේර ගන්න ගියේ, මැරිච්ච මිනිස්සු වැලලූ සොහොන් පිටියට. ගෙයි පෑල දොරින් පිටව වැට පැන්න කළ ඇති කනත්තෙහි සොහොන් කොතක් පාමුල, මහ රෑ එලි වෙනකම් හිටියත්, අපිට කරදර කරන්න යක්කු ආවෙ නැත. ඒ යක්කුන්ට වැඩිය යක්ශාවේශ වුණ තාත්තාගෙන් බේරෙන්න අපට තිබ්බ එකම සරණ කනත්ත.

" වයස විසි හත පහුවුණා මට 

පර්චසය වට කරන් හදපු

ලෑලිගෙදරක ඉපදුනේ මං

වත්තෙ සොපියා මගේ මවලු

 

වැඩක් නැතිදා හොරෙන් පෙරලා

සුදුවැයින් එක දෙකක් විකිණූ

අප්පාගෙ නම සෝමසුන්දර

මෝචරියෙ අමු මිනී කපපූ

 

මල්වඩම් සුදු ඇදුම් ඇතිරිලි

ඇස්දෙකට මගෙ හොදට පුරුදුයි

වැනි වැනී එන අප්පාගෙ ළග

හැමුවේම ෆෝමලිං ගදකුයි

 

පෙලක් දාකට උන්දැගේ පොලු

පාරවල් නම් හුගක් දරුණුයි

යක්කු තුරුලේ එහෙව් රෑකට 

බුදියෙව්වෙ අපි සොහොන් පිටියෙයි"

 

හැමදාකම තාත්තාගෙ ගුටිබැට, නොසරුප් වදන් ඉවසන්නම බැරි හන්දාද මන්දා රෑට රෑ කලුවර වෙනකොට අම්මා ගෙදරින් එළියට බහින්න ගත්තා. යාන්තම් අවුරුදු දහයක් වෙච්චි මට එදා අම්මා කොහෙද ගියේ කියලා නොතේරුණත්, අම්මා මතක් වෙන වාරයක් ගානෙ තාම මගෙ හිත අඬනවා. එදා අම්මා එහෙම මාව අර ලෑලි ගෙදරක පැදුරෙ තනි නොකරනම් අද මගෙ ඉරණම මීට වෙනස් එකක් වෙන්න තිබුණා. ඒත් යක්ශයා ඇවිත් මාව විනාස කරනකම් අම්මාට කරන්න දෙයක් තිබුණෙ නෑ. මොකද ඒ වෙනකොට අම්මත් කාගෙ හරි ගොදුරක් වෙලා ඉන්න ඇති.

එදා රෑ කලුවරේ පැදුරෙ ඉන්නකොට දැනුන ෆෝමලීන් ගඳ මුසු කසිප්පු ගඳ තාත්තා මං ළගටම කිට්ටු වෙලා කියලා මට තේරුණා. මගෙ අප්පා කියන මිනිහා සැනසිල්ලෙ නිදන් ඇති කියලා මට හිතුනත්, මගේ සැනසීම නැති වෙන්න මහ වෙලාවක් ගියේ නෑ. ලොවි පාටට රතු වෙච්ච ඒ මිනිහාගෙ ඇස් මගේ මූණ උඩින් පේනකොට අනේ බුදු තාත්තේ එපා කියලා කෑ ගහන සද්දෙ කාටවත් ඇහෙන්න නැතුව ඇති. වේදනාත්මක හෝරා ගත වෙද්දි හැඩුම් වැඩි වෙලා සිරුර අප්‍රාණික වෙද්දි මට කිසිවක් මතක තිබුණෙ නෑ. රෑ රතු වෙච්ච පැදුර උදේ තවත් ලේ විලක් වෙලා තියනවා දකිනකොට ඊට එහා පැත්තෙන් අම්මා හිටන් හිටියෙ, වෙව්ලන අත්දෙකෙන් මන්නෙ බදාගෙන. ඇහැ ඇරෙද්දි හීන් කෙදිරිල්ලක් ඇහුන තාත්තගෙ කටහඩ සදහටම නැවතුනා කියලා තේරෙනකොට අම්මා මාව උස්සගෙන දිව්වෙ කැත්තත් තාත්තාගෙ පැත්තකට වීසි කරල. ලේ පෙරාගෙන ගෙයක් ගෙයක් ගානෙ ගිහින් මාව භාර දෙන්න අම්මා වෙර දැරුවත්, හැම ගෙදරකම දොර වැහෙනකොට , අම්මගෙ අතින් මාව උදුර ගත්ත පොලීසියෙ නෝනා, අම්මාගෙ අත් දෙකට මාංචු දැම්මා. මාව පරිවාසෙ මිස්ගෙ අතට බාර වුණා.

මිනීමැරුම් චෝදනාවට ජීවිතාන්තය දක්වා අම්මා වැලිකඩට සින්න වෙනකොට මටත් පරිවාසෙන් නිවාසෙට යන්න සිද්ද වුණා.

" දිනක් මහ රෑ ෆෝමලිං ගඳ 

මගේ ගාවවම ළඟින් හැමුවා

අම්මා නොහිටිය පාලු පැදුරේ

රතුපාට ලේ ගගක් ගැලුවා

මතක විදිහට වයස දහයයි

එදා සර් මං හුගක් ඇඩුවා

ගිනිගහපු ඒ ඇස් දෙකෙන් මං

එදා රෑ මහසෝනා දැක්කා

 

උදේ නැගිටලා බලනකොට මං

කැත්ත අම්මාගෙ අතේ තිබුණා

පොලීසිය ගෙට එන්න මත්තෙන්

මං වඩාගෙන වටේ දිව්වා

බාර ගන්නට කියා අඩ අඩ

හැම එකාටම මාව දුන්නා

මෝහිණිත් අපෙ අම්මා වගෙමයි

සත්තමයි මං එදා හිතුවා

එතැන් හිද අවුරුදු පහක් මං

එක දිගට පරිවාසෙ උන්නා

අම්මා වැලිකඩ සින්න උනහම

නිවාසෙට මං බාර කෙරුවා.

පරිවාසෙ ඉද නිවාසෙට එද්දි මං හිතුවෙ, මට ජීවිතෙ ලැබුණා කියල. ඒත් ජීවිතේ නැත්තටම නැති කරමු තැනක් තිබ්බා නම් ඒ නිවාසෙ. උපන්දා ඉදලා කනත්ත ළඟ ඉදලාත් නොදැකපු මහසෝන්, කලු කුමාර අවතාර මං දැක්කෙ නිවාසෙදි. උන් ආවෙ ඔක්කොම වට වෙලා මගෙ රීරි මාංසෙ උරා බොන්න. පිට ඔපේට මනුස්සකම පිරියම් කර ගත්ත උන්ට මාව වෙළඳ භාණ්ඩයක් වුණා. පාපතර මෘග අප්පෙක් අතින් දූශනය වෙච්චි මාව පැයකට එකා ගානෙ එක එක පිරිමි ඉස්සරහා නිරුවත් කරලා මොණර කොළ උපයන්න උන් පැකිලුණෙ නෑ. කැත හිරිකිත හිතෙන මිනිස්සු, ලෝකෙට උපාසක මූණ පෙන්නගෙන උන්නු මිනිස්සු, උන් ඔක්කොම මං ඉස්සරට ඇවිත් උන්ගෙ කෙළි බඩුව කර ගත්තා. මට තිබ්බ එකම සරණ නිවාසෙ වෙච්චි කොට මං කරන්න ඕනි මොකක්ද කියලා වැටහීමක් ඒ වෙද්දි තිබ්බෙ නෑ. හැබැයි එතනින් ගැලවෙන්න ඕනි කියන අදහස මගෙ ඔලුවෙ තදින්ම තිබුණා.

මහසෝන් කලු කුමාර අවතාර එක පේලියට පාලු කනත්තක ඇති කියලා හිතුවාට උන් ඔක්කොම මනුස්ස වෙස් ගෙන කියලා මං දැක්කෙ නිවාසෙදි . 

පුංචි කාලෙ ඉදන් මං හෙව්වෙ හිතේ සැනසීම. ඒත් කොහේවත් ඒ සැනසීම මට ලැබුණේ නෑ. හිරිමල් යොවුන් විය ගෙවෙනකොට මං හොයපු ආදරේ වෙනුවට මට ලැබුනෙ, ගොරහැඩි පිරිමින්ගෙ කෙදිරිල්ලට ඇස් කන් පියන් ඉන්න එක. හැමතැනම හෙව්වා. කොහේ ම හරි තැනක මට සැනසීම ඇති කියලා හිතුනා. ඒත් පිරිමි ගොඩකට ගැහැණියක් වුණ මට ආදරේ කරන්න පිරිමි හිතක් නතර වුණේ නෑ. ආදරේ පෙන්නපු අයත් එයාලගෙ අවශ්‍යතාව ඉටු වුනාට පස්සෙ හොයා ගන්නවත් බැරි තැන්වල හැංගුනා.

"පැයට දාහයි ඒකෙ හිටි උන්

හොර හොරාටම මාව වික්කා

යක්කු විතරක් නෙවෙයි ලොකු ලොකු

දෙවිවරුත් මගෙ ඇගට වැහුවා

තිත්ත තිත්තම කරවිලේකත්

මොකක් හරි පොඩි රහක් තිබුණා

කරිජ්ජෙන් හින්දලා ගත්තට 

ලුණු වුනත් හොද්දකට දැම්මා

 

කොහේ හරි සැනසීම ඇති මට 

දහ අතේ ආදරේ හෙව්වා

ඔලුව අතගා එවුන් ඔක්කොම

ටිකෙන් ටික මගෙ පපුව කෑවා"

ජීවත් වෙලා ඉන්න හැම මිනිහම මට පෙනුනෙ යකෙක් වගේ. දත් විලිස්සගෙන, මූණ කලු කරගෙන ආව උන් සැබෑ යක්ශයො. මට හිතුනෙ එහෙම. ඉස්සර තාත්තාගෙන් බේරෙන්න සොහොනෙ බය නැතිව නිදා ගත්ත මං, අද මේ මං වටෙ ඉන්න මිනිස්සුන්ට බයෙ ගැහෙනවා. ඒ කනත්ත, මෙතැනට වඩා සැපයි සැනසීමයි, එතන බය වෙන්න කාරණා නැහැ. මොකද එතන නෙවෙයි අමනුශ්‍යයෝ ඉන්නෙ, මේ මනුස්ස වේශයෙන් ඉන්න අමනුශ්‍යන්ට වඩා සොහොන් ඇතුලෙ නිදන් ඉන්න මිනිස්සු සැනසීමක්.ඒ මැරුණ උන් අමනුස්ස වේශයෙන් ඒවි යැයි අපි බය විය යුතු නැහැ.

" මහසෝන් කලු කුමාරයො නෑ

සොහොන් ඇතුලේ සැපට නිදලා

එවුන් ඔක්කොම මෙහෙන් පැනගොස්

මිනිස් වෙස් ගෙන බිමට බැහැලා

බයයි මට දැන් දකිද්දත් උන්

ඇහැකිනම් තව වරක් හිතලා 

දෙන්න ජොබ් එක මැරුණ උන් නෑ

සර් මට නම් වැරදි කරලා"

ඉතින් අවසානයේ මම මලවුන්ට ආදරය කරන යුවතියක් වෙමි. එතැන හෝ මා සොයන සැනසීම තියේවි. මිනිස් වෙස් ගෙන අමනුස්සයන්ගෙන් මිදී මළවුන්ට පෙම් බදින මේ අපූරු තරුණියගේ හඩට මුසුවෙන්නේ සුවිනි සුදර්ශනීගේ කටහඩ .ඇයට මේ,ජීවිත කතාව අකුරු කරන්න උදව් දෙන්නෙ ශෂික සංදීප විසින්,ඒ පද නිර්මාණයට ස්වර ගැලපුම දීපති ජයසූරිය විසින්.

Top