වචන තුළින් වචන ගැන ලිපියක් (336)

post-title

වචන කියන්නෙම දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. ඉතින් අපි අතර තියෙන වචන හැදෙන්නෙත් අපි හැදෙන වැඩෙන පරිසරය අනුව.. ඒකට හොඳම උදාහරණය තමා ගිරා පැටව් දෙන්නගෙ කතාව. තාපසතුමා ළගට වැටුන ගිරා පැටවා යහපත් වචන කතා කරද්දී හොරු කණ්ඩායම ළගට වැටුන ගිරා පැටවා අසැබි වචන කතා කරා. ඒ වගේ තමා අපිත් වචන හසුරුවන්නේ අපි ජීවත් වෙන පරිසරය අනුව. ඉතින් අපට මේ කියන වචන භාවිතා කරල කෙනෙක්ගෙ හිතක් සුවපත් කරන්නත් පුලුවන් .වචන දමල ගහල තව කෙනෙක්ව මරලා දාන්නත් පුලුවන් . ඒ තරමට මේ වචන කියන දේ හරි බලවත්. ඇත්තටම අපි හැමදේම සන්නිවේදනය කරන්නෙ අපි ගාව තියෙන වචන භාවිතා කරලා.අපි බැදීම් හදාගන්නෙත් වචන එක්ක බැදීම් නැති කරගන්නෙත් වචන එක්ක. අපට බුදුහිමියන් සංවර කරගන්න ඕනි දොරටු තුනක් පෙන්නල දුන්නා. ඉන් එකක් තමයි වචනය කියන්නෙත්. ඇත්තටම අපි අපේ වචන සංවර කරගත්තෙ නැති උනොත් අපිට ජීවිතේ ඉදිරියට නම් යන්න බෑ. හිතල බලන්නකො චුට්ටක් . අපට ලස්සන ලස්සන වචන පාවිච්චි කරල තව කෙනෙක්ගෙ ජීවිතයක් කොච්චර නම් ලස්සනට සරසන්න පුලුවන්ද කියල .අපි ආදරෙ ඇතුලෙම කොච්චර නම් ලස්සන වචන පාවිච්චි කරල ආදරෙ බෙදල දෙනවද. අම්මා කෙනෙක් නම් තමන්ගෙ දුවට පුතාට දෝණි, මගෙ මැණික කියල කතා කරද්දී කොච්චර නම් ආදරයක් දරුවන්ට දැනෙනවා ද ගුරුවරයෙක් නම් පුතේ කියල දරුවෙකුට කතා කරද්දී කොච්චර දයාන්විත බවක් දැනෙනවද . ඇත්තටම පෙම්වතුන් ආදරෙ ඇතුලෙ කොච්චර ලස්සන වචන භාවිතා කරනවද . පෙම්වතා පෙම්වතියට සුදූ, මැණික කියල කතා කරද්දී පෙම්වතියගෙ ලෝකය ආදරෙන් පිරෙන්නෙ ක්ෂණයකින් .. ඒ වචන බොළඳ ඇති ඒත් ඒ ඇතුලෙ ඇය ලබන සතුට , සුවය මහ මෙරක් . ඉතින් එච්චර ලස්සන වචන භාවිතා කරන අපිම තමයි කේන්ති ගියාම මම උබව මරනවා වැනි කුරිරු වචන භාවිතා කරන්නෙත් . ඇත්තෙන්ම සුභාවිත , ළයාන්විත ගීතයක් ඇතුලෙ තියෙන්නේ වචන ගොනුවක එකතුවක්. ඒත් ඒ වචන එකතු කරල නිර්මාණය කරල තියෙන්නේ ලස්සන අදහසක්. ඉතින් ඒකට තනුවක් නිර්මාණය කරල තාලයට ගායනා කරද්දී අපිට ඒක වචන ගොඩක එකතුවක් විදියට පේන්නෙ නෑ.ලස්සන අදහසක් තියෙන ලස්සන ගීතයක් විදියට තමයි දැනෙන්නෙ. උදාහරණයක් විදියට 

කලා වැව ලග ඉලුක් හෙවනේ මැටි පිලක පැදුරක් එලා 

රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා 

මේ වචන ටික කොච්චර නම් හිතට සංවේදීද . මරණය පෙනි පෙනී ඉන්න බහුතරයක් පිළිකා රෝගීන් උනත් ළයාන්විත ගීතයක් ඇතුලෙ මොනතරම් නම් තාවකාලික සැනසුමක් හරි ලබනවද. අපේ රටේ කොච්චර නම් උදාහරණ ඒ ගැන කියන්න තියෙනවද. එක වචනයකට පුලුවන් කාගෙ උනත් මුහුණක සිනා රැල්ලක් අදින්න . ඇතැම් වචනයකට පුලුවන් තවකෙකුගේ මුහුණ අදුරු වළාවක් කරන්න . සමහර වචන වලට පුලුවන් සමහර හීන පොදි බදින්න රුකුල් දෙන්න . ඇතැම් ඒවට පුලුවන් පුලුවන් පොදි බැදපු හීන බිමට සමතලාම කරල දාන්න . මරණය අපේක්ෂාවෙන් ඉන්න අයෙකුගේ හිතේ නැවත ජීවිත ආශය දල්වන්න අපේ එක වචනෙකට පුලුවන් අන්න ඒ වගේ වෙලාවට තමයි ඒ වගේ අයට වෛද්‍යවරු දෙවිවරු වගේ දැනෙන්නෙ. ඒදා බුදුරදුන් වැඩහිටි කාලයේ වියෝ දුකින් උමතුවෙලා හිටිය කිසා ගෝතමියගෙ, පටාචාරාවන්ගෙ දුක නිවුනෙ හිත හැදුනෙ අප බුදුන් වහන්සේ දේශනා කල වචන වලින් . වචන එක්ක බැදිල තියෙන මේ ජීවිතේ හරි අපූරු දෙයක් . මේ ලෝකෙ එක එක භාෂා තියෙනවා . හැබැයි ඒ හැම භාෂාවක්ම නියෝජනය කරන්නෙ සහ භාෂාවෙ පැවැත්ම තීරණය වෙන්නෙ අකුරු එකතු කරල හදාගන්න වචනත් එක්ක. ඇත්තටම කෙනෙකුගෙ උගත්කම , නූගත්කම තීරණය වෙන්නෙත් අපි භාවිතා කරන වචන මත. කෙනෙක් ශිෂ්ට සම්පන්න විදියට වචන හසුරුවනවනම් ඒ තුළ ප්‍රදර්ශනය කරන්නෙ ඔහුගේ තියෙන උගත්කම . තව කෙනෙකු අසැබි වචන භාවිතා කරනවනම් ඒ තුළ ඔහුගේ හෝ ඇයගේ තියෙන නූගත්කම. පොඩි කෙනෙක් උනත් වරදක් කරද්දී ඒක ආදරෙන් පෙන්නල දුන්නාම පිළිගන්නෙ ඒ වචනවල තියෙන ආදරය නිසා .

" පුතේ , මගෙ පුතා හොඳ ළමයෙක්නි. ඉතින් මගෙ පුතා යාලුවො එක්ක එහෙම රංඩුවට යන්න එපා හොඳද "

ආදරය තැවරුණු මේ වචනත් එක්ක කාට උනත් වැරදි කරන්න හිතෙන්නේ නෑ ..හෘදයාංගමව කෙනෙකුට ලං වෙන්න පුලුවන් හොඳම ක්‍රමය තමයි අකුරු අමුණලා හදාගත්ත වචන හරි ලස්සන භාෂාවක් විදියට ඉදිරිපත් කරන එක .පුංචි පුංචි ගංගා එකතුවෙලා ලොකු ගංගාවක් හැදෙනව වගේ තමා අකුරු එකතුවෙලා වචන හැදෙනව වචන එකතුවෙලා හරි ලස්සන භාෂාවක් නිර්මාණය වෙනවා . ඇත්තටම අපට වචන කියල දෙයක් තිබ්බෙ නැත්නම් මේ තරම් දියුණු වෙන්න ලැබෙන්නේ නෑ කවදාවත් . ඒකට හේතුව තමයි එහෙම නම් අපි තවමත් භාවිතා කරන්නෙ අපේ අංග චලන විතරයි. අපි වචන වලින් ලස්සන භාෂාවක් හදාගත්ත හින්ද තමයි අද අපේ පැවැත්ම ස්තීර වෙලා තියෙන්නේ . ඇත්තටම ඉංග්‍රීසි , දමිළ , සිංහල , ප්‍රංශ කියන කොයි භාෂාව ඇතුලෙත් තියෙන්නෙ එකිනෙකට වුනාට වචන තමයි. අද අපට පාඨක ඔබට මේ විදියට ලස්සන ලිපි ලියල යම් අදහසක් සමාජ ගත කරන්න පුලුවන් වෙලා තියෙන්නෙත් මේ තියෙන වචන හින්ද. ඉංග්‍රීසි භාෂාවෙන් I love you කියන්නෙ සිංහල භාෂාවෙන් මම ඔබට ආදරෙයි කියන්නෙත් එකම දේ අකුරු වල ස්වභාවයයි උච්චාරණයයි විතරයි වෙනසකට තියෙන්නේ . වචන කියන්නෙත් එක්තරා කලාවක් . ඇතැම්විටක භාවනාවක්.වචනත් එක්ක සිත එක්තැන් කරන්න , සමාධිගත කරවන්න වගේම විසුරුවල දාන්නත් පුලුවන්.

 ඉතින් මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි අපේ වචන සැමවිටම තවකෙකුගේ මුහුණේ හිනාවක් ඇදීමටත්, ජීවිතවලට හීන එක්කාසු කරන්නත්, ජීවිත ආශාවන් දැල්වීමටත්, යථාර්ථවාදී අදහසක් සමාජගත කිරීමටත් භාවිතා කරමු. එවිට වචනවල අලංකාරය ඒ අයුරෙන්ම අප අතර රදා පවතිනු ඇත.

Top