ගීතයක ලියවුණ ජීවිතය : ආයෙත් නුවරට එනවද දෙවොන්දරා සං (333)

post-title

කෙනෙකු කෙරෙහි ප්‍රේමයක් හට ගන්නා වෙලාවක් කාටනම් කිව හැකිද, එක්තරා අහඹු හමුවීමක්, එසේත් නොමැති නම් බොහෝ කලක් දැන හදුනාගෙන හිඳ හෝ ටික කාලෙකින් එකිනෙකා කෙරෙහි ප්‍රේමයක් හටගැනීමට ඕන තරම් ඉඩ ප්‍රස්ථා ඇත. එසේ හමු වූ තැන් වල මතක හරි සුන්දරය. විටෙක ඒවා ජීවිත කාලයක් මතක් කර සැනසෙන්නට හැකිය. ඉතිං එහෙව් තැන්වල එකිනෙකාට කියා නොගත් අප්‍රකාශිත ප්‍රේමය ඔය සැමටම වඩා සොඳුරුය. 

ඔබට මට මේ ලෝකයේ එලෙස ප්‍රේමණීය මතකය ඇති එක්තරා සොදුරු තැනක්, නගරයක් අනිවාර්යයෙන් ම තිබෙනවාට සැක නැත. ජීවිතේ කවර කාලයක වුවත් නැවත ඔබ ඒ ස්ථානයට ගියහොත් අර අතීවර්ජන ඔබ සිත සුවපත් කරනවා නියතය.ඒ මතක තුළ ඔබ ජීවත් වනවා නියතය. 

ප්‍රේමයේ නගරය. එසේ කියූ සැනින් බොහෝ උදවියගෙ සිහියට එන නගරය, ආදරණීය මහනුවර. ඉතින් නුවර අහස යට හමු වී හදෙහි උපන් ප්‍රේමය කියාගත නොහැකිව වෙන් වූ ප්‍රේමය හිතේ දරා ගත් වුන් බොහෝය. ඉතිං අපි ඒ අතීත මතක ගොන්නෙ සැරිසරමු.

" හිරු රුදු වී නිමා කෙරෙන තව දවසක හැන්දෑවක

නුවර වැවට උඩින් වැටෙන හිරු රැළි මනරම්" 

 

ඒ තරුණයා හා තරුණිය මේ නුවර පුරා මතක ගොඩගසා ඇත. හැන්දෑවක හීනි සීතලක් එක්ක ඔවුන් ආ ගිය මාවත් තාමත් ඒ මතක රූ චායා දෑස් ඉදිරියේ මවයි. රන් පැහැ හිරු කිරණ, බෝගම්බර වැව් තලය සිප ගනිද්දී ඔවුන් පොරි පැකට් එකක් රටකජු ගොටුවක් අච්චාරු මල්ලක් එක්ක මේ වීදි වල සැරි සැරූ මතක හිත් වල නිදන් වී ඇත. එවන් දින වල මුලු පරිසරයම සුන්දරව දකින්න ඔවුන්ට හැකි වී ඇත. තරුණයාගෙ සිතේ එලෙස හැගීම් මැවෙන්නෙ මෙවන් සිතුවිල්ලක් වූ කල තරුණියගෙ සිත තුළත් ඒ වගේම හැගීම් ගොන්නක් සිත තුළ නළියයි.

" මල් පාවඩ නැති පාරේ අතැඟිලි බැද ඇවිද යන්න

මාත් එක්ක නුඹ එනවද දෙවොන්දරා සං"

මල් පිපෙන කාලයට නුවර සුරපුරයකි. රෝස පැහැගත් රොබරෝස මල් පලස් නුවර වීදි පුරාමය. ඒ සුන්දරත්වය මැදත් එකිනෙකා ළඟින් හිද එක පෙලට මාවත් තුල ගමන් කළ හැටි සොඳුරුය. හිතේ උපන් ප්‍රේමය, තමා එහා පැත්තෙන් සිටින සඟයාට කියා ගන්න ඇයට නොහැක. එහෙම ඇවිදන් යන තැන් වලදි අහම්බෙන් ගැටෙන අතැඟිලි ජීවිත කාලයටම අල්ලා ගන්න ඇයට සිතය. නමුත් ඒ බව පවසන්න ඇය පසුබටය. ලස්සන මල් වැටුණු මාවත මෙන්ම මල් පිපුණෙ නැති දවස් වල වුවත් ඔහු ඇය ළඟ සිටිනවා නම් ඇයට ඊට වඩා දෙයක් නැත. ඇයගේ එකම සතුට එයය. 

" දෙවොන්දරා සං" නොරිකොත් දෙවොන්දරා සං කෙරෙහි බැඳි ප්‍රේමයෙන් ජීවිත කාලයම ඒ ප්‍රේමය හිත් දරාගෙන සිටියාය. ඉතින් සකුරා පිපුණ ජපානයේ සිටි නොරිකො දෙවොන්දරාට පෙම් කළා සේම , රොබරෝස පිපෙන නුවර අහස යටදී හිත් බැදුණු තරුණයාව ආමන්ත්‍රණය කරන්නෙත් දෙවොන්දරා සං කියාමය. ඉතින් දෙවොන්දරා සං දවසක අත් අල්ලන් මේ වීදි වල ඇවිද යන්න මා එක්ක එනවද... තරුණියගේ අහිංසක ප්‍රාර්ථනාව එයය.

"වෛවාරණ අරුමෝසම් මේ සුන්දර ලී කැටයම්

ඒ ඔක්කොම මගේ නමට තෑගි කරයි නම්"

 

තරුණයා සිත හැමතැනම අතීත මතකමය. පුංචි පුංචි සැමරුම් තරුණිය ඔහුට තිළිණ කර ඇත. ඒ හැම එකකම ඇත්තෙ ඇගේ නොකී ආදරමය. නූතන දෙවොන්දරා සං වූ ඔහුට ඇයගේ ආදරය නොවැටහේද, එක්කෝ ඔහුට ඇයට ආදරය කළ නොහැකි යම් හේතුවක් ඇතිද, ඒ කෙසේ වුවත් ඉර පායන හැම උදෑසනකම ඇයගේ ප්‍රාර්ථනාව අර කී තරුණයාගේ ආදරය තමා සතු වීමය. එවිට ඇගේ ආත්මයම සැනසෙනු ඇත.

ඔබව මට හිමිවීම අහිමි වීම අදාළ නැත. ඒත් එක පාරක් මට ආදරෙයි කියන්න. ඒ ඇති ඔබ නැතුව වුනත් මට හෙට දවස ජීවත් වෙන්න. ඇය සිතන්නෙ එලෙසය. මිතුරු දමට එහා ගිය ආදරයට මෙහා වූ බැඳීමක ඔවුන් නැවතී ඇත. ඒ හැඟීම විටෙක දරා ගැනීමට අපහසුය. ඉතින් එබැවින් ඈ ඔහුට කියන්නෙ,

 

" ඔබ ආ මග අමතක කර හෙට දවසට ඇවිද යන්න

නුඹෙ ආදරෙ මට දෙනවද දෙවොන්දරා සං" කියාය.

ඉතිං ඔවුන්ට හීන බොහෝය. නමුත් දෙදෙනා එකක්ම ඒ හීන වලට යන්න තාමත් ඔවුහු සූදානම් නැත. දෙදෙනාගේම හිත් වල ආදරේ පුරවන් ඔවුහු ඉදිති. නිවාඩු දවසට නුවර පුරා ආගිය මතක හැමතැනමය.දකින උන් හිතන්නෙ ඔවුන් අපූරු පෙම්වතුන් කියාය. ඒත් වැරදි අදහසකින් ස්පර්ශයක්වත් ඔවුන් තුල නැත. තමා සමග කොහේ ඇවිද්දත්, කොතනක ගියත් අර තරුණියට බැල්මකින් වත් වරදක් නොකොට ඇයව ආරක්ෂා කරගන්න ඔහු වග බලා ගත්තේය. ඇය ඔහුට ඒතරම් බැදෙන්නට හේතු කාරණාමත් එයම වන්න ඇත. ඇයගේ කෙළිලොල් හිනා හඩ ඔහු මනසේ රැව් දෙයි. ඔහුගෙ සිනහව ඇගේ මනසෙ සඳා තැම්පත්ව ඇත. එහෙත් ඔවුන්ට එකිනෙකා කෙරෙහි ඇති වූ ප්‍රේමය නොකියාම වෙන්වන්න සිදුව ඇත. ඒ නිසාවෙන් තරුණයා 

 

" හීන අහුරු පොදි බැඳගෙන නැළවෙන මල් වසන්තයට

ඇවිදින එක හීනයක්ම වෙලා හිතට දැන්" කියා පවසයි. ඉතින් එහෙම කියනකොට ඒ තරුණියට මේ නූතන දෙවොන්දරා සං ටත් නවතින්න යයි කියන්නට නොහැක. එදා මළගිය ඇත්තෝ හි නොරිකෝ දෙවොන්දරා ට කීවේ, " යන්න එපා දෙවොන්දරා සං " කියාය.

"කොහොමද නොගිහින් මං ඉදලා පලක් නෑනෙ.කවදා හරි වෙන් වෙන්න වෙනවා ,දැන් යන එක ලේසි 

නැද්ද...

" යනවානම් , දෙවොන්දරා සං ගෙ සිරුරේ සුවඳ මේ ඇදුම් වල තියලා යන්න"

මේ මළගිය ඇත්තෝ හි දෙවොන්දරා සංගේ සහ නොරිකෝගේ සමුගැන්මේ දෙබස් ය. 

නූතන දෙවොන්දරා සං ගේ උණුහුමෙන් මිදෙන්නටත් තරුණියට එළෙසම ලෝබය. නුඹට මට සමුදෙන්න නොහැක.ඒත් නුඹේ සිනාහව මගේ ආත්මයම සනසවා නියතය.ඉතින් නුඹ ආ මග හැරදා මේ නුවරටත් සමු දිය යුතුය. නැවතුමේ නවතා ඇති බස් රිය ගමන අරඹන තුරු අපි අපේ ඇස් වලින් කතා කළෙමු. ඉතින් තව දුරටත් අපි එකට නොයාවි. නමුත් අනාගතය වෙනුවෙන් මතක බොහෝ හිතේ ඇත.අපි මතක් ගොඩනැගූ ආදරණීය නුවර අහස යට අපි යළි කෙදිනක හෝ හමුවිය යුතුමය. නැවත වැව රවුමේ වලාකුළු බැමි අසල අපි ඇවිදිය යුතුමය.රොබරෝස මල් වැටුණු නුවර අපි ආයෙත් ඇවිදිය යුතුය. දැනට නුඹේ සිනහව මතකයේ රදවන් මම සමුගන්නෙමි.

"සැප බස් රිය කවුළු දොරින් නුඹෙ සිනහව බොඳ වෙනකොට

ආයෙත් නුවරට එනවද දෙවොන්දරා සං"

දෙවොන්දරා සං ආයෙමත් මේ සොදුරු නුවර අහස යටදී අපි හමුවෙමු.

ඒ සොදුරු ප්‍රේමණීය නගරයේ මතක මත අපිව රැගෙන යාමට සඳරු ප්‍රියන්වදා සමඟ වසන්ත ජයසේකරගෙ හඩට සත්සර අමුණන්නේ තරිඳු දම්සරය. එකී මතක වල පදගැලපුම හර්ශන ද සිල්වාගේය.



Top