කොරෝනා හමුවේ අන් කවරදාටත් වඩා මතු වී පෙනෙන හුස්මක වටිනාකම (329)

post-title

ඔබ ලෝකයේ කොතැනක ජිවත් වුවත් ඔබ ජිවත් කරවන එකම දේ හුස්ම පමණමයි. මිනිස්සුන්ට ප්‍රමාණවත් ධනය නොතිබෙනවා ඇති නමුත් ප්‍රමාණයටත් වඩා නොමිලේම පිරිසිදු වාතය හිමිවුණා. අද වනතෙක්ම ලෝකයේ ජිවත්වෙන සෑම මිනිසෙක්ටම එක හා සමානව බෙදීමකින් තොරවම හුස්ම ගන්න පිරිසිදු වාතය සොබාදහමෙන් ලබා දුන්නා. ඉදිරියටත් ලබා දේවී. දුප්පතාට පොහොසතාට යැයි එහි කිසිම බෙඳීමක් නැහැ. මිනිසුන්ට හුස්මගන්න පිරිසිදු වාතය පමණක්ම නොවේ කුසගින්න නිවාගැනීමට සෞඛ්‍යදායී ආහාර, පිපාසය නිවාගැනීමට පිරිසිදු ජලය සොබාදහමේ මෑණියන් ලබා දුන්නා. ළදරුවෙකු ලෙස මෙලොව එළිය දකින විට ඔහුට හෝ ඇයට ජන්මයෙන්ම හිමිවන සුවිශාල වත්කම් එයයි. මිනිසුන් ඇයට කෙතරම් හිංසා කළත් ඇය මිනිසුන්ට ජීවත්වීමට තිබූ අයිතිය නම් උඳුරා ගත්තේ නැහැ.

ඕනිම වස්තුවක් පහසුවෙන් ලැබෙන විට මිනිසුන්ට එහි අගය නැති වෙනවා. එයට ඇති වැදගත්කම නැති වෙනවා. ආදරය නැති වෙනවා. නිදහසේ ජිවත්වෙන්න අපිට ඔක්සිජන් ලබාදෙන්නේ සොබාදහම කියලවත් මිනිසුන්ට අගයක් තිබුණේ නැහැ. ඇත්තටම හුස්ම බෙදපු වන සම්පත නිසයි අපි පහසුවෙන් හුස්ම ගන්නේ කියලා මිනිසුන්ට අමතක උනා. වනසම්පතහි වටිනාකම නොදන්නා මිනිසුන් එය විනාශ කළා. මේ මොහොතේත් කරමින් ඉන්නවා. එහි බරපතළකම දුටුවේ කිහිපදෙනෙක් පමණයි. ජීවත්වෙන්න ඔක්සිජන් අවශ්‍යමද අහපු මිනිස්සුත් ලංකාවේම සිටියා ඔබට මතක ඇති. 

නමුත් දැන් තත්ත්වය බොහෝ වෙනස් වෙලා. හුස්මක් වෙනුවෙන් ලෝකයේ මිනිසුන් අරගල කරන්නට පටන් ගෙන තිබෙනවා. ඔක්සිජන් ඉල්ලා මිනිසුන් හඬා වැටෙනවා. ඔක්සිජන් නොමැතිව මිනිසුන් දහස් ගණන් මැරෙනවා. අසරණ වූ රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමට නොහැකිව වෛද්‍යවරුන් අසරණ වී සිටිනවා. අන් කවරදාටත් වඩා හුස්මක වටිනාකම, ඔක්සිජන්වල වටිනාකම මිනිසුන්ට දැනී තිබෙනවා. ඔබටත් මේ මොහොතේදී එහි වටිනාකම හොඳින්ම දැනෙනවා නේද?

අපි අසල්වැසි ඉන්දියාවට යමු. ලෝකයම එක සේ ගිල ගන්නා කොවිඩ් වසංගතය හමුවේ දිනෙන් දින කඩා වැටෙන ඉන්දියාවට දෙස බලන්න. ලක්ෂ ගණන් මිනිසුන් මරණයට පත් වන ඉන්දියාව වසංගත බලපෑමෙන් ඇමරිකාව පසුකොටගෙන යාමේ අවධානමකින් පසුවන බව විශේෂඥ මතයයි. එරට මිනිසුන් රෝහල්වල, මහමඟ, වාහනවල, නිවෙස්වල ඔක්සිජන් ඉල්ලා හඬා වැටෙනවා. හුස්ම ගැනීමට අපහසු වී මියැදෙමින් සිටිනවා. තම එකම ආදරණීය මව, පියා, සහෝදරිය, සහෝදරයා හුස්මත් සමඟ අරගල කර පරාජය වී මියයන වේදනාව අත්දකිනවා. සෑම මිනිත්තු හතරකට වරක්ම ඉන්දියාවේ දිල්ලි නගරයෙන් එක කොවිඩ් මරණයක් වාර්තා වෙනවා. එරට ඔක්සිජන් සිලින්ඩරයක් පෙර පවතී මිලට වඩා බොහොමයක් වැඩි මුදලකට අළෙවි වෙමින් පවතින බවද එරට මාධ්‍ය විසින් අනාවරණය කරනු ලැබුවා.

එවන් මුදලක් දී ඔක්සිජන් මිලදී ගැනීමට හැකි අය මෙන්ම නොහැකි අයත් ඕනෑතරම් ඉන්නවා. එසේ මිලදී ගත්තත් එක් සිලින්ඩරයක් මිනිසෙක්ට එක් දිනකටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ. මිනිසෙක්ට ජීවත්වීමට වඩා වැදගත්ම වන්නේ ඔක්සිජන් යන්න පසක් වන්නේ ඉන්දීය වැසියන් හුස්ම ගැනීමට ඔක්සිජන් ඉල්ලා සිදු කරන අරගලයත් සමඟයි. ඒ ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති වීම නිසාවෙන් ඉන්දීය වැසියන් පත්ව ඇති දුක්ඛදායී තත්ත්වය දෙස බැලීමෙනි. අභ්‍යවකාශයට රොකට් යැවීමට උත්සාහා ගන්නා ඉන්දියාවට එරට වසංගතය හමුවේ දිනෙන් දින අසරණව මරණයට පත්වන ජනතාවට ප්‍රමණවත් ඔක්සිජන් සලසා දීමට නොහැකි වීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? 

මේ අතර හුස්මක් වෙනුවෙන් අරගලකරන මිනිසුන්ට හුස්ම පොදක් දීමට ශක්තියක් වන මිනිසුන් ද නැතුවාම නොවේ. ඉන්දියාවේ ගෞරව් රායි එවන් උතුම් මිනිසෙකි. ඉන්දියාවේ කොරෝනා පළමු රැල්ලේදී අසාධිතයකු බවට පත් වූ ඔහු, අවශ්‍ය ඔක්සිජන් හිඟකම නිසා පත්වන අසරණතාව අත් වින්දා. එමනිසාම ඔහු සුවය ලබා නිවසට ආපසු පැමිණිය පසු ඔක්සිජන් නිර්මාණය කිරීම ආරම්භ කළා. ගෞරව් සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ වියදමින්ම කුඩා ඔක්සිජන් බැංකුවක් ආරම්භ කළා. සිලින්ඩර 10කින් පටන් ගත් ඔහුගේ ඔක්සිජන් බැංකුවේ දැන් සිලින්ඩර 200 කට වඩා තිබෙනවා. ඔහුගේම රථයෙන් ඔක්සිජන් අවශ්‍ය යැයි ඉල්ලන මිනිසුන් වෙතට ඔක්සිජන් සිලින්ඩර සපයන ඔහු එම පුදගලයා සුව වූ පසු සිලින්ඩරය නැවත ලබා ගෙන ඔක්සිජන් පුරවා තවත් රෝගියකුට ලබා දෙනවා. ඔහු කරන මේ කාර්යයයේ විශේෂත්වය වන්නේ මෙය සිදු කරන්නේ කිසිඳු මුදලක් අය නොකරගෙන වීමයි.

තමන්ගේ මිතුරාගේ බිරිඳ ඔක්සිජන් හිඟකම නිසා මරණයට පත්වෙද්දී කම්පනයට පත් වී අසරණ ඉන්දීය වැසියන්ට සරණක් වූ ෂහ්නවාස් ෂෙයික් තවත් එවැනිම වූ මිනිසෙකි. ඔහු තමාගේ මෝටර් රථය ලක්ෂ 22 කට විකුණා එම මුදලින් ඔක්සිජන් සිලින්ඩර් මිලදී ගෙන රෝහල්වල ඔක්සිජන් නොමැතිව නිවෙස් වෙත හරවා යැවූ අසරණ මිනිසුන්ට බෙදා දී ජිවිත විශාල ගණනක් මරණයෙන් මුදවා ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනාම දැන් ඉන්දියාවේ ‘ඔක්සිජන් මිනිසුන්’ ලෙස කාගේත් ජනාධරයට පත්ව තිබෙනවා. ඉන්දියාවේම ධනවතුන් වෛරසයට බියේ රට හැර ගොස් ජීවිතය රැකගැනීමට උත්සහ දරන අවස්ථාවක එවන් මිනිසුන් අතරින්ම මතුවන මෙවැනි පරාර්ථකාමී මිනිසුන්ගේ අගය කියා නිම කළ නොහැකිය. 

ශ්‍රී ලංකාවේද මේ වන විට නිර්මාණය වෙමින් පවතින්නේ මෙවැනිම තත්වයකි. දිනෙන් දින හඳුනාගන්නා කොරෝනා ආසාධිතයින් ඉහළ යාම හේතුවෙන් මෙරටද පවතින සෞඛ්‍ය පහසුකම්ද ඊට ප්‍රමාණවත් නොවන තතත්වයට පත්ව තිබේ. අන් කවරදාටත් වඩා හුස්මක වටිනාකම මිනිසුන්ට හැඟී ගොස් ඇත. මේ වනතෙක් නොමිලේම හිමි වූ ඔක්සිජන් සඳහා ඉල්ලුමක් නියම වෙද්දී එම වටිනාකම ඉහළ යමින් පවතියි. 

මතු අනාගතය වෙනුවෙන් පවතින සොඳුරු ස්වභාවික දායාද එකින් එක විනාශ කරමින්, තාක්ෂණයෙන් සපිරි ලෝකයක් වෙත අවතීර්ණ වීමට උත්සාහ ගන්නා ගෝලීය බලවතුන් හට තම රටේ ජීවිත හුස්ම පොදක් යඳින විට බලා සිටීමට සිදුවී ඇත්තේ කීමක් නිසාද? ඔවුන් අසරණ වී ඇත්තේ කීමක් නිසා ද? ජීවත්වීමට හුස්මපොදක් ඉල්ලා මිනිසුන් අරගලකරන යුගයක් ඒවි යැයි ඔවුන් නොසිතන්නට ඇත. අභ්‍යාවකාශය ජයගන්නට උත්සාහ කරන, තාක්ෂණයෙන් පෙරමුණ ගන්නට උත්සාහ කරන, අවි නිෂ්පාදනයෙන් බලවතුන් වීමට උත්සාහ ගන්නා ගෝලීය බලවතුන් නොමිලේම හිමි වූ ස්වභාවික සම්පත්හි වටිනාකම ඉවත දැමුවා නොවේද? ඔබ අප සියල්ලම සැබවින්ම අසාර්ථක වී ඇත.

රතු ඉන්දියානු සියැටල් විසින් ඔවුන්ගේ ඉඩම් විකිණීම සම්භන්ධයෙන් ඇමරිකාවේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස් වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇති විශේෂ ප්‍රකාශයන් කිහිපයක් පහතින් ගෙන එමි. 

“සත්තු, තුරුලිය හා මිනිසුන් යන අපි සියල්ලෝම එකම ප්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනිති. අපේ භූමිය ඔබට විකුණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.”

“ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුන්ට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේ ය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනියි.”

“දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කළහොත් යම් දිනෙක ඔබ ඒ යහන මතම හුස්ම හිරවී මරණයට පත්වනු ඇත.”

වර්තමානයේ ගෝලීය වසංගතයත් සමඟ ලෝකයක් හමුවේ සත්‍යයක් වී ඇත්තෙත් එයම නොවේද?

අවසාන වශයෙන් කිව යුතු වටිනාම දේ වන්නේ, නාසා ආයතනය මඟින් අඟහරු ග්‍රහලෝකය මත ඔක්සිජන් නිපදවීමට උපාංග පවා නිර්මාණය කර ඒ පිළිබඳ අත්හදා බැලීම් සිදු කරන යුගයක පෘතුවි තලයේම මිනිසුන් කොරෝනා වසංගතය හමුවේ ඔක්සිජන් නොමැතිව අසරණ වී ඇති බවයි. මෙය ඉතිහාසයේ මින් පෙර නොවූ අයුරින් තම ජීවිතය රැකගැනීමට හුස්ම පොදක් යඳින තත්ත්වයට මිනිසුන් පත්ව ඇති යුගයකි. මින් පෙනීයන්නේ ලෝකයේ බලවත් යැයි පවසමින් තාක්ෂණයෙන් හා ධනයෙන් අන් රටවල් පරාජය කරමින් නැඟී සිටීමට උත්සාහ ගත්තද සමස්තයක් ලෙස ගෝලීය වසංගතයක් හමුවේ මුළු ලෝකයම පරාජය වී ඇති බව නොවේද? 

Top