සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය (309)

post-title

සිරකරුවන්ගේ ලෝකය විස්මිත ය. සිරගත වූ දා පටන් ම ඔවුන්ගේ සිතුම් පැතුම්, කතා ව්‍යවහාරය, හැසිරීම් රටාව පිටස්තර ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ය. පියවි ලොවට සහමුලින් ම සමුදෙමින් ඔවුන්ට තම ජීවිතය අමුතුම ලොවක උස්, දැවැන්ත තාප්පයකට කොටු කරගන්නට සිදුවෙයි. 

“ සිරකරුවෝ මනුෂ්‍යයෝ ය ” යනුවෙන් කාගේත් සිතෙහි කාවඳින වැකිය බොරැල්ල මැගසීන් බන්ධනාගාරයේ උස් තාප්පයේ දිස්වන්නේ කාගේත් නෙත ගැටෙන අයුරින් ය. බේස්ලයින් මාර්ගයේ දිනපතාම ගමන් කරන දෙනෝදාහක් ජනයා මෙම වැකිය දකිනවා ඇති. නමුත් සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යනුවෙන් සිතනුයේ ඔවුන් අතරින් කී දෙනෙක් පමණක් ද? 

සාමාන්‍යයෙන් සිර ගෙදරක් දකින විට එසේත් නොමැතිනම් ජම්පරේ ඇඳගත් සිරකරුවෙකු දකින විට සමාජයේ බොහෝදෙනෙකුගේ සිත තුළ නිරන්තරයෙන් මැවෙනුයේ අපරාධකරුවෙකු පිළිබඳ චිත්‍රයකි. එහෙත් සිරගත වී සිටින මිනිසුන්ගේ සිත්තුළට එබී බලන්නට අපට හැකියාවක් ඇත්නම් බොහෝවිට ඔවුන් පිළිබඳ සානුකම්පිත හැඟීමක් අපගේ සිත්තුළ ඇතිවනු නිසැක ය. 

හදිසි කෝපය නිසා එසේත් නොමැතිනම් සමාජ අසාධාරණය නිසා අපරාධවලට පෙළඹී සිරබත් කන්නට සිදුවූ අසරණ මිනිසුන් පිළිබඳ කතා පුවත් ඉඳහිට හෝ අපට ද අසන්නට, දකින්නට ලැබේ. එමෙන්ම අන් අය කළ වැරදිවලට නිරපරාදේ දඬුවම් විඳින්නට සිදු වූ අහිංසකයනුත් මේ ලෙස සිපිරි ගෙදර කල්දේරම් බත්වල රස බලන බව අප අමතක නොකළ යුතුය.

මෙකී සිරගෙදර ඇතුළත පවතින කටුක සත්‍ය ස්වභාවය හරිහැටි දන්නේ සිරගෙදර තුළ එක් රැයක් හෝ ගතකළ අයෙකු ම පමණකි. ඒ කටුක සත්‍ය මෙබඳු යැයි පිටතින් සිට බලන අප කිසිවෙකුටවත් නිශ්චය කළ නොහැකිය. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2020 සංඛ්‍යා ලේඛනවලට අනුව බන්ධනාගාරවල ධාරිතාවයට වඩා 107% කින් ජනාකීර්ණ වී ඇති බව වාර්තා වේ. මෙම ජනාකීර්ණත්වය මත සිරකරුවන්ට නිදාගැනීමට පවා සිදුවනුයේ මාරුවෙන් මාරුවට ය. ඇතැම් අවස්ථාවල ඔවුන්ට කිසිවක් කරකියා ගත නොහැකි තැන වැසිකිළියේ පවා නිදා ගැනීමට ඔවුන්ට සිදුව ඇත. “ සැමන් පැකින්ග් ” ක්‍රමයට හෙවත් සිරකරුවන් විශාල සංඛ්‍යාවක් එකා පසුපස එකා එක ඇලයකට සිර කුටියේ දිග අතට ඉදිරිපස සිට පිටුපසට, පෙළගස්වා නිදා ගැනීමට නියම කර ඇති ක්‍රමයට සිරකරුවන් නිදා ගැනීම සිදුකරනුයේ අතිශය දුක් කම්කටොලු විඳිමින්ය. මෙවැනි ඉඩක ඔවුන් නිදාගැනීම සිදුකරනුයේ හිටගත් ඉරියව්වෙනි. මෙහි පවත්නා අතිශය ඛේදනීය තත්ත්වය නම් රාත්‍රී කාලයේදී ඔවුන්ට සිය ශරීර කෘත්‍යයන් ඉටුකර ගැනීමට පවා මේ කුඩා සිරකුටි තුළ කිසිඳු පහසුකමක් නොමැති වීමයි. ඔවුන්ට මළමුත්‍රා බැහැර කිරීමට සිදු වී ඇත්තේ පොලිතින් උරවලටය. සෝදා පවිත්‍ර කර ගැනීමට කුටිය තුළ ඉඩකඩ සහ ජල පහසුකම් නොමැති නිසා ඔවුන් පවිත්‍රතාවය රැකගනුයේ පත්තර කඩදාසියකින් අපවිත්‍ර දෑ පිසදා ගැනීමෙනි. මෙසේ බන්ධනාගාර තුළ තදබදය වැඩිවීම නිසා සිරකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පවතින සනීපාරක්ෂක පහසුකම් සහ ජල සැපයුම් ද ප්‍රමාණවත් නොවේ. එහෙයින් රැඳවියන් අතර චර්ම රෝග මෙන්ම ලිංගාශ්‍රිත රෝග ද බහුල වී ඇත. සනීපාරක්ෂක පහසුකම් නිසිලෙස පවත්වා ගැනීමට අදාළ පිරිසිදු කිරීමේ නියෝජිතයන්ට ගෙවීම් කිරීමට හෝ බන්ධනාගාරය තුළ අවශ්‍ය වන සබන්, සනීපාරක්ෂක තුවා වැනි පෞද්ගලික ප්‍රතිපාදනයන්ට අවශ්‍ය මූල්‍යමය අයවැය ප්‍රතිපාදන බන්ධනාගාර සතුව නොමැති වන හෙයින් එම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සිරකරුවන්ට සිය පවුල් මත යැපීමට සිදුවේ. බන්ධනාගාරයේ සිට බොහෝදුර පවුල්වල ජීවත්වන සහ සමීප පවුල් සාමාජිකයන් නොමැතිකමින් කිසිවෙකුත් ඔවුන් බැලීමට නොපැමිණෙන සිරකරුවන්ට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවේ. එවැනි රැඳවියන් එම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ගේ ඇඳුම් සේදීම, පිඟන්, කෝප්ප සේදීම වැනි පෞද්ගලික කාර්යයන් සිදුකර දෙන බව ද විදේශ වාර්තාවකට අනුව සඳහන් වේ. එමෙන්ම බන්ධනාගාර තුළ ලබාදෙනු ලබන්නේද නරක, දිය රස, ලුණු හෝ මිරිස් නොමැති ආහාරයන් ය. තමාගේ දිවි පවත්වා ගැනීමට කුසට ආහාරයක් අවශ්‍ය වන නිසා එම ආහාරය ඔවුන් භුක්ති විදිනු විනා එය ඔවුන්ට කිසිවිටෙකත් රසමසවුලක් නොවන්නේය.

එසේම වැලිකඩ බන්ධනාගාරයේ හැර වෙනත් කිසිඳු බන්ධනාගාරයක දුරකතන පහසුකම් නොමැතිවීම නිසා සිරකරුවන්ට ඔවුන්ගේ පවුල් සහ නීති නියෝජිතයින් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට ද නොහැකිය. ඔවුන්ට බාහිර ලෝකය සමඟ සන්නිවේදනය කළ හැකි එකම ක්‍රමය ලියුම් හුවමාරුව හෝ බන්ධනාගාරයට ඔවුන් බැලීමට ඥාතීන් පැමිණෙන අවස්ථාවන්හිදී පමණකි.

එමෙන්ම මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට දිනකට ඔවුන්ගේ කාමර හෝ වාට්ටුවලින් පිටත සිටීමට විනාඩි 30 ක පමණ කාලයක් පමණක් අවසර දී ඇති අතර අර්ථවත් දෛනික ක්‍රියාකාරකම් නොමැතිකම සහ පවුල්වලින් දුරස්ථ ව සිටීම, ඔවුන්ගේ මානසික හා ශාරීරික සෞඛ්‍යයට දැඩි ව අහිතකර ලෙස බලපානු ලබයි. සිපිරි ගෙය තුළ මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට හැඟෙනුයේ තමන්ට තවත් “ අහිමි වීමට කිසිවක් නොමැත ” යනුවෙනුයි. ඒ බන්ධනාගාරය තුළ දරන නියමයක් නොමැති දඬුවම් විදින නිසාත්, ලැබූ මරණ දණ්ඩනයට වඩා දරුණු වෙනත් දඬුවමක් නොමැති නිසාත් ය. එහෙයින් බන්ධනාගාරය තුළ යහපත් ලෙස හැසිරීමට ඔවුන්ට කිසිඳු පෙළඹවීමක් ද නොමැත. 

මෙහිදී සිපිරි ගෙය තුළ රාත්‍රීයේ පැවති දැඩි නිහඬතාව බිඳිමින් ඉකි බිඳුම්, සෝසුසුම් මෙන්ම රළු පරළු වදන් ද සිර කුටි දෙසින් නිරන්තරයෙන් ම ඇසෙනු ඇත. රැකවලෙක් පැමිණ තර්ජනය කරන අවස්ථාවල ඔවුන් නිහඬ වුවද, මද විරාමයකින් පසුව පෙර පුරුදු මැසිවිලි නැඟීම යළිත් ආරම්භ කරනු ලබයි. මේ සිරිපි ගෙයෙහි තනිවූ, කිසිවෙකුත් නොමැති ඔවුන්ගේ නිරන්තරයෙන් පවතින වේදනාත්මක අදෝනාවයි. මේ වේදනාකාරී අදෝනාවට වගකිවයුත්තේ ඔවුන්ම ද? එසේත් නොමැතිනම් සමාජය ද? පිළිතුර ඇත්තේ ඔවුනොවුන් සතුවම ය.

මෙසේ හිරකාරයා යන පොදු ලේබලය යටතේ එක හැලියේ සිරබත් කමින් තාප්පයකට කොටුව සිටිනා සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය. නමුත් සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය යන්න සිමෙන්ති වැකියක් ම මිස එහි ඇතුළත සිටිනා මිනිසාගේ දුක් ගැහැට පිළිබඳ බලන්නට කිසිවෙකුත් නැත. ඒ නිසා ම, සත්‍ය වශයෙන් ම ඇතුළත සිර කුටිවල සිටින සිරකරුවන් පිටත සිටින්නවුන්ට වඩා අවංක දැයි අපට විටෙක සිතෙනු ඇත. සිපිරි ගෙදරක උස් තාප්ප අතර කොටු වී සිටින ඒ මිනිසුන් අපට විටෙක ලබාදෙන පණිවුඩය වනුයේ සැබෑ සිරකරුවන් සිටිනුයේ සිපිරි ගෙවල්වලින් පිටත නිදහස් ය යනුවෙන් අප සලකනු ලබන ලෝකයෙහි ම වන බව යි.

Top