හුස්මකට වෙනසක්: ඔබේම තීරණයන් මත ඔබ, කිරුළක් ලබන්නටත් නොලබන්නටත් සුදුසුයි...(293 වන ලිපිය)

post-title

සමහර වෙලාවට අපි ජීවිතේ ගන්න ඇතැම් තීරණ ඒ වෙලාවේ ගත්තේ නැත්නම් කොයිතරම් නම් හොඳයිද කියලා හිතෙනවා. හැබැයි ඒ දේ හිතෙන්නෙ ඒ තීරණේ ගන්න කලින්වත්, ගත්තට පස්සේවත් නෙවෙයි. ඒ ගන්න තීරණය ක්‍රියාත්මක කරලා ඒකෙ ප්‍රථීපල කිසිවිටෙක බලාපොරොත්තු නොවුණ විදිහට ගලාගෙන එන්න පටන් ගත්තම. ඉතින් ඒක නිසාම තමයි අපි ජීවිතයේ කොතැන හෝ තැනකදී තීරණයක් ගන්න කලින් සහ ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න කලින් එක වතාවක් නෙවෙයි සිය දහස් වාරයක් හිතන්න ඕනියි කියලා කියන්නේ. මොකද ඒකට එක හේතුවක් තමයි සමහර වෙලාවට අපිට අමාරුම අවස්ථා වලදී අපහසුම මොහොතවල් වලදී අපිට යම්කිසි තීරණයකට එළඹෙන්න අප වටා බොහෝ දෙනෙක් සිටියට අපි ඔවුන්ගේ මග පෙන්වීම යටතේ ඒ තීරණය ක්‍රියාත්මක කළ පසුව ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රථිපල භුක්ති විදින්නට වෙන්නේ බොහෝවිට අපිට තනියම. 

ඒ වගේමයි කාලාන්තරයක් තිස්සේ බොහොම අමාරුවෙන් කට්ට කාගෙන ගොඩ නගා ගෙන ආව ගොඩක් දේවල් අපි මේ දුර දිග නොබලා ගන්න ඇතැම් තීරණ නිසා ඒ හැම දෙයක්ම සහමුලින්ම විනාශ වෙලා යන්නත් ගත වෙන්නේ හරිම සුළු පටු වෙලාවක්. අපිට ජීවිතයේ දෙයක් ලබා ගන්න ගොඩක් ලොකු උත්සහයක් දරන්න වගේම කාලයක් තිස්සේ බොහොම ඉවසීමෙන් ගොඩක් ලොකු කැපකිරීම් පවා කරන්නට සිද්ධ වෙනවා. සමහරවිට අපේ ඒ උත්සාහයේදී අපි ගන්න තීරණ සහ ඒ තීරණ හරහා අපිට ලැබෙන ප්‍රථිපල වෙනුවෙන් බොහොම කාලයක් අපිට බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. ඒත්...ජීවිතයේ අපිට දෙයක් ලබා ගන්න ඒ තරම් අමාරු වුණාට ජීවිතයේ අපිට දෙයක් නැති කරගන්න එහෙමත් නැත්නම් අපි අමාරුවෙන් ලබා ගත්ත දෙයක් නැති කරගන්න නම් අපිට ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. තවත් විදිහකට කිව්වොත් කිරුළක් පළදින්න ලොකු කාලයක් ගත වුණාට කිරුළක් ගැළවෙන්න නම් ඒ තරම් ලොකු කාලයක් ගත වෙන්නේ නෑ. ඒ දෙයට අපි නොවිමසිලිවත් ලෙස ගන්න එක හුස්මක වෙනස පවා හරිම වැදගත් වෙනවා. 

ලෝක ප්‍රකට කියමනක් තියෙනවා ඔබත් අහලා තියෙන. ඒ තමයි මේ ලෝකෙ නොවෙනස් වන එකම දෙය වෙනස් වීමයි කියන එක. මේක කියමනක් විතරක් නෙවෙයි ඒක තමයි ලෝක ධර්මතාවය, ලෝක ස්වභාවය. ඉතින් අපේ ජීවිතයේ හැම තැනකදීම අඩු වැඩි වශයෙන් මේ කියමන බොහෝ සෙයින්ම අදාළ වන බව ඇතැම් අවස්ථාවලදී ඔබටම අවබෝධවෙලත් ඇති. ඒක නිසා අද අපි ළඟ තියෙන අපි ගොඩක් ආසාවෙන් පරිස්සම් කරන වටින දේවල් හෙට තව කෙනෙක්ට වටිනාකමක් දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේමයි අද අපිව වට කරගෙන සෙත් කවි කියන අයම හෙට වැට බැඳගෙන අපිටම වස් කවි කියනවා වෙනනත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් මේ වෙනස්වීම් වලට ගොඩක් හේතු වෙන තවත් එක කාරණයක් වන්නේ මං මුලින්ම සඳහන් කළා වගේ අපි මේ දුර දිග නොහිතා බලා, එහෙමත් නැත්නම් තවකෙකුගේ පෙළඹවීමක් මත ගන්නා අන්ධ තීරණයන්. 

මේ ජීවිතය හරි පරිස්සමට අවසානය වන තෙක්ම ගෙනියනවා කියන එක හරිම අමාරු වැඩක්. මොකද අපි දෙයක් දිනා ගන්න යන ගමනෙදි අපිට වචනයකින් හෝ අතදෙන්නට ඉන්නේ මේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු පිරිසක්. ඒත් අපිට කුමක් හෝ වරදකින් ජීවිතයේ වුණූ යම් අතපසුවීමකින් යම් වැරදීමකින් පස්සේ අපි කිසිසේත්ම නොසිතපු තරම් විශාල පිරිසක් අපි වටේට ඉන්නවා. හැබැයි ඒ අපිට අත දෙන්නට නම් නෙවෙයි. අතමිට මොළවගෙන සිටි ප්‍රහාරයන් වචන වලින් සිතූ සේ දිග හරින්නටයි. ඒත් ඒ හැමදේටම ගොඩක්ම ඉහළින් බලපාන්නේ තමන් ගැන තමන්වත් හරියට හදුනා ගැනීමකින් තොරව ගන්න ක්ෂණීක තීරණයන්වල ප්‍රථිපලයි.

ඒ වගේම තමයි අපි දෙයක් දිනා ගන්න නම් අපි කෙනෙක්ව දිනවන්නත් ඕනි. එතකොට තමයි ඒ දිනා ගැනීමේ සුන්දරත්වයක් දැනෙන්න පටන් ගන්නේ. ඉතින් ජීවිතයේ ඒ වගේ සුන්දරව ලබන ජයග්‍රහණ වලංගු වෙන්නේ අවුරුද්දකට දෙකකට යම් කිසි කාල සීමාවකට විතරක් නෙවෙයි. මුළුජීවිත කාලයටමයි. මොකද කිරුළකින් ලබන ජයග්‍රහණවලට වටිනාකමක් දෙන්න පුළුවන් වුණාට මිනිස්සුන්ගේ හදවතට දැනෙන ජයග්‍රහණවලට වටිනාකමක් තක්සේරු කරන්න බැරි නිසා.

ඒක නිසා ඔබේම තීරණයන් මත ලෝකයටම ඔබ කිරුළක් ලබන්නටත් සුදුසු වෙන්න පුළුවන්. නොලබන්නටත් සුදුසු වෙන්න පුළුවන්. එහෙමනම් ලබන සතියේදීත් හමුවෙමු නැවතත් අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින්.

Top