පරිසර දූෂකයන් වෙනුවට පරිසර ප්‍රේමීන් අවශ්‍ය කර තිබේ (287)

post-title

"ස්වර්ගය අපගේ පාද යට මෙන්ම අපගේ හිසට ඉහළින් තිබේ. "

ඇමෙරිකානු ස්වභාව විද්‍යාවේදී හෙන්රි ඩේවිඩ් තෝරෝ පවසා ඇත්තේ එලෙසිනි. අපගේ පයට පෑගෙන දූලි පුසුඹෙන් සමන්විත වූ මහපොළවත්, නීල මේඝ වළාවන් දසත විසිරුණු අහසටත් මැදිව අප ස්වර්ග සැප ලබමින් සිටිමු. එපමණක් නොව තුරු වදුලේ හරිත සිහිලෙන් අප නැහැවෙමු. එය ඔබ මා ලැබූ අසීමාන්තික වරප්‍රසාදයකි. විශේෂයෙන් පසුගිය මාස කිහිපයක සිටම අප එකී වරප්‍රසාදය භාවිතය සහ අවභාවිතය පිළිබඳව බොහෝ දෑ දුටුවෙමු. එබැවින් අප බොහෝ දෑ ඒ පිළිබඳව කතා කළෙමු. කවි ගී, නිසදැස් ලීවෙමු. සිතුවම් කළෙමු. අරගල කළෙමු. "අනේ අපොයි" කියමින් හීල්ලුවෙමු. දැන් දැන් සොබාදහම වෙනුවෙන් පෙළ ගැසීමේ උණුසුම මැකී යමින් තිබේ.

එය සියල්ලේ ම නිමාවද? ඉතින් අප එතැනින් නවතමු ද?

දෑස් හැරීමට, රුධිරය රත් වීමට තරම් සිද්ධියක් මැවෙනා තුරු අප බලා සිටිමු ද? එය කිරි කළයක් දොවා හරක් වසුරු පිඬක් එයට මිශ්‍ර කිරීම වැනි නොමනා යමක් නොවේ ද? කයට, මනසට ජීවය ලබා දී බඩ කට පුරවා, හුස්ම පොදත් දුන් සොබාදහම වෙනුවෙන් අපගේ යුතුකම එයද?

"සොබාදහම ඉංජිනේරුවෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු නොවන අතර මම ස්වභාව ධර්මයේ ම කොටසක් වෙමි."- ඇල්බට් අයින්ස්ටයින් 

ඔබත් මමත් සොබාදහමේ අතිවිශිෂ්ඨ නිර්මාණයක් විනා සොබාදහම අපගේ නිර්මාණයක් නොවන වග අප පැහැදිලිව තේරුම් ගත යුතු සත්‍ය නොවන්නේද? එබැවින් සොබාදහම නැසීමට අපට ඇති අයිතිවාසිකම කවරේද? ඉටුකළ යුත්ත එයද?

සොබාදහම අප තරයේ වැළදගනිමු. එවිට සොබාදහම අපවද ආදරණීය ව වැළදගනු ඇත. ඒ නොහැකි නම් පැමිණෙන්න. අප සොබාදහම නසමු. ඉන්පසු ඉතා වේගයෙන් සොබාදහම අපව නසනු ඇත.

"සොබාදහම අපගේ ශක්තියට මෙන්ම අපගේ දුර්වලතාවයට ද අනුගත වේ. " - හෙන්රි ඩේවිඩ් තෝරෝ

ඔබ සොබාදහමට පුදන්නේ ශක්තියද? දුර්වලතාවය ද යන වග ඔබේ තීරණයකි. නමුත් සිහියට ගත යුතු ප්‍රථම කරුණ නම් ඔබ දක්වන ප්‍රතිචාරයේ ප්‍රථිපල දැක්වීමේ හිමිකාරිත්වය සොබාදහම සතු බවයි. දුර්වලතාවයන් පුදන්නේ නම් ඔබ විනාශකාරී උමතුවකින් පෙළෙන බව ද ඇදහිය යුතුය.

"මිනිසා වඩාත්ම උමතු විශේෂයයි. ඔහු අදෘශ්‍යමාන දෙවියෙකුට නමස්කාර කරන අතර දෘශ්‍යමාන සොබාදම විනාශ කරයි. ඔහු විනාශ කරන මේ ස්වභාවය ඔහුව නමස්කාර කරන බව ඔහු නොදැන සිටියි." - හියුබට් රීව්ස්

දැවැන්ත වෘක්ෂලතාවෝ දහස් ගණනින් අකීකරු යකඩ යන්ත්‍රවලට හසුව මළගම් යනු අපි දුටුවෙමු. සීරුවේ ගලනා දිය දහරා දුගද කසළින් දූෂණය වන අයුරු අපි දුටුවෙමු. වාසස්ථාන අහිමි වූ ජීවින් ශෝකයෙන් මිරිකී ඉබාගාතේ ඇවිදිනු අපි දුටුවෙමු. එවැනි දේට හේතු ඵලය වූ බොහෝ උන්ගේ මුග්ධ සහ තකතීරු ප්‍රකාශ අපි ඇසුවෙමු. වටිනා ශාක 3600කට වඩා ගමන් කිරීමට පාලමක් වැදගත් යැයි කියූ බඩ තඩි සුදු ඇදුම් හැදි අය ද ඒ අතර සිටියේය. ජීවත් වීමට ඔක්සිජන් මොකටදැයි ඇසූ අගහරු ජීවින් ද සිටියේය. වතුරට නොමැතිව කසළ දමන්නේ හිස් ගෙඩියටදැයි ඇසූ අසනීපකාරයින් ද සිටියේය.

ඒ ඔවුන්‍ ය. එවැන්නන්ට වැදූ මව්ගේ වුවද හුස්ම පොද අහිමි කළ හැකිය.

ඒ ඔවුන්‍ ය. ඔවුන් පව් ය. 

එවැන්නන් සමග සසඳා බැලූ කල මල් ගසකට ජලය දමා "හොදින් වැඩියන් මගේ දරුවෝ - ලෝකය සුවඳ කරපන්" යැයි පවසමින් ගස සමග කතා බස් කළ අකුරු නොදත් මිත්තණිය ද, හිරු, සදු සහ ගස්කොළ දේවත්වයෙන් ඇදහූ පැරැන්නන් ද අතිශයින් ම මානූශීය සැබෑ මිනිසුන්‍ ය. සැබෑ පරිසර ප්‍රේමීන්‍ ය. සැබෑවට ම අප සොබාදහම පිළිබඳව දැනුවත් ප්‍රමාණය පිළිබඳව ඇත්තේ ගැට‍ළුවකි.

"ඔබේ කවුළුවෙන් පිටත මුළු ලෝකයක් ම තිබේ. එය මඟ හැරීමෙන් ඔබ මෝඩයෙක් වනු ඇත. - චාලට් එරික්සන්

ආත්මාර්ථය නම් පටු රාමුවෙන් සැදි කවුළුවෙන් ඇතුල් පැත්තට වී සිටින බොහෝ දෙනා ආත්මාර්ථයේ කවුළුවෙන් පිටත සොබාදහමේ අනුහස්ලත් පරාර්ථකාමී ලොවක් ඇති බව නො දන්නවා ඇත. ඇතැම් විට එසේ සිටිනවා විය හැකිය. සැබවින්ම එය සාපයකි. නොදැනුවත්කම පවකි. අනුවණකමකි. ඔබව සිප ගැනීමට, දොඩමළු වෙමින් බොහෝ දෑ බෙදා හදා ගැනීමට සොබාදහම ආරාධනාශීලීව පෙරමඟ බලා සිටිති.

සද එළියෙන් නැහැවී තරු සමග රාත්‍රිය ගත කිරීමට, අරුණෝදයෙන් නැවුම්ව මල් සුවඳින් නැහැවුණු සුළඟේ එතීමට, සිහිල් දියෙන් හැඟුම් දෝවා තුරු පත්‍ර වල රහස් මුසු කිරීමට සොබාදහම ඔබට මට ආරාධනා කරමින් සිටියි.

එකී ආරාධනයට ඔබ ආචාරශීලී විය යුතු විනා අපචාරකරුවන් ලෙස හැසිරීම නොමනාය. ආචාරශීලී හැසිරීම ඔබට බොහෝ දේ ලබා දෙනු ඇත. සන්තුෂ්ටිය පුදනු ඇත.

"මගේ මුළු ජීවිත කාලය පුරාම සොබාදහමේ නව දර්ශන නිසා මා කුඩා දරුවෙකු මෙන් ප්‍රීති විය." - මාරි කියුරි

අප පෙනී සිටිමු. සුරකිමු. සොබාදහම. එය අප විසින් අප වෙනුවෙන් ම පෙනී සිටීමකි. නමුත් අප ඒ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ලෝක සෝබනයට නොවේ. සැබෑ අවශ්‍යතාවය හදුනාගැනීමෙනි. සොබාදහමේ පැවැත්ම තර්ජනයට හා අභාවයට ලක් වීම යනු ඔබ සහ මාගේ ද පැවැත්මේ ද විනාශයයි. මන්ද අප පැවැත්මේ තීරණය අප සතු නොවේ. එහි තීරණය සොබාදහම සතු වන බැවිනි.

" ඉතිහාසයේ වැඩි කාලයක් මිනිසාට පැවැත්ම සඳහා සොබාදහමට එරෙහිව සටන් කිරීමට සිදුවිය. මෙම සියවසේ දී ඔහු තේරුම් ගැනීමට පටන් ගෙන ඇත්තේ, නො නැසී පැවතීමට නම් ඔහු එය ආරක්ෂා කළ යුතු බවයි. " - ජැක් යෙව්ස් කූස්ටෝ

ඉහත පරම සත්‍ය අප අවබෝධ කර ගත යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි. අප කුඩාම ක්‍රියාවෙන් සොබාදහමට සමීප වීමේ ආරම්භය ගනිමු. තම ගෙවත්තේ ඇති කේඩෑරීව ගිය මල් පැලයකට හෝ ශාකයකට ජලය දමා එය රැක ගනිමු. අවුරුදු නැකතටවත් මහ පොළොවට වටිනා ශාකයක් දායාද කොට එය අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු. ජල උල්පත් පිරිසිදුව තබා ගනිමින් අරපිරිමැස්මට හුරු වෙමු.

සතුන්ට ද අනුභව කිරීමට ගසක ගෙඩියක් ඉතුරු කිරීමට හුරු වෙමු. තම කැළිකසළ නිවරැදිව බැහැර කිරීමට හුරු වෙමු. මුවින් ඉවතලන කෙළ පිඬක් වුවද නිවරැදිව පරිසරයට බැහැර කරමු. කවි ලියමු. ගී ගයමු. අරගල කරමු. දිවිහිමියෙන් රකිමු. ඒ කිසිවක් කළ නොහැකිනම් කරන්නෙකුට ඉඩ දී බලා සිටිමු.

"ඔබේම ලෙස ලෝකයට ආදරය කරන්න, එවිට ඔබට සැබවින්ම සියල්ල රැකබලා ගත හැකිය. "- ලාඕට්සු

මෙකී නිහතමානීත්වයෙන් පෝෂණය වෙමු.

Top