ගීතයක ලියවුණ ජීවිතය: පුංචි තරුවේ - හිරු මැකුණ රැය නුඹට සඳ ඇත (283 වන ලිපිය)

post-title

පුතණුවනි, දෑස් රෙදිකඩකින් වසාගත්, සමබර නොවූ තරාදියක් අතින් ගත් ඒ ගැහැණු පිළිරුව අබියස දී හදවත කඩා වැටෙද්දි, නුඹේ අයිතිය මා සුරතින් ගිලිහී ගියේය. ඉතිං දසමාසයක් කුස හොවා අපරිමිත සෙනෙහෙන් නුඹව දරාගෙන, බොහෝ දුක් පීඩා විඳගෙන මේ ලොවට නුඹව බිහිකළ මට තවදුරටත් අයිතිවාසිකම් දීමට මට නොහැක.

එදවස නුඹව කුසදරා පවා නුඹේ පියාගෙන් මා ලද හිරිහැරකම් නිසාවෙන් ලද වේදනාවටත් වඩා අද මගේ සිත බොහෝ රිදේ.

උදෑසනක සෞම්‍ය වුවද දහවල වන විට හිරු වඩාත් රළු ය. දැඩිය. සමහර දාක ඒ හිරු රශ්මිය අපට දරා ගැනීමට පවා නොහැක. නුඹේ පියාත් එලෙසය. ඔහුගේ රුදුරු බව අපට දරාගත නොහීය. එවන් දවස් අනන්ත අප්‍රමාණව ගෙවුණි. කම්මුල් ඉදිමී, ලේ පිරුණු දෙතොල් නුඹගෙන් සඟවාගෙන එදවස් මම ගෙව්වෙමි. ඒ චණ්ඩ හිරු මෙන්ම රුදුරු නුඹ පියාගෙ නුගුණ නුඹ ඉදිරියේ දිගහැර පෑමට නොහැකි නිසාවෙන්මය. සැමවිට හිරුගෙන් එළිය ගෙන රාත්‍රිය සුන්දර සඳක් මෙන් මා නුඹ අසල සිටි අයුරු මතකද මම නොදනිමි. මට මෙන්ම නුඹටත් පියාගේ රුදුරු නපුරුකම් ලැබුණි. මම ඒවාගෙන් නුඹව ආරක්ෂා කළෙමි. නමුත් එකී රුදුරු හිරු මෙන් චණ්ඩ නුඹේ පියා නුඹව කොතරම් දැවුවත්, මාගේ සෙනෙහස පරදා මා හැරදා ඔබ නිරතුරුවම සොයාගෙන ගියේ ඒ චණ්ඩ හිරු රශ්මියමය.

" හිරු දවයි නුඹ සිසිල සුන්කර

විඩාකර හදවිල සුසුම්හල

නමුදු නුඹ මනදොළ කළඹන

හිරුම විය ළඟ නුඹේ තනියට

සඳ තරුව රැඳි නොනිමි අහසක"

ඉතිං තව දුරටත් නුඹේ අහසේ සඳට ඉඩ දීමට නුඹට වරම් නැත. ඉතිං ආදරණීය පුතණුවනි, නීතිය ඉදිරියේ දී නුඹ, මේ මව් හැරදා ඒ මත්ලොල් පියාණන් සමඟ දිවි ගෙවීමට අවැසි බව කීවේය. ඒ නුඹේ අභිමතය ය. නුඹට නුඹේ සිතට දැනුණ අයුරුය. පපුව පුරාවට මහා වේදනවක් දැනුනද නුඹේ තීරණය මම ඉවසා වදාරමි. ඇස් පුරාවට කඳුළු පුරවා, සිත් පුරාවට සුසුම් පුරවා මා නුඹේ තීරණය පිළිගන්නෙමි. නුඹ මා සමඟ හිත් බිඳුණේ කොතැනකද? කොහොමද? මම නොදනිමි. සමහර විට නුඹේ පියා ම මා කෙරේ නුඹේ සිත බිදවන්නට ඇත. නමුදු මවක් කිසිදා තම පුත්‍රයා අතනොහරී. නුඹ තරුවක් සේ අහසේ පායා හිනැහෙනයුරු ඈතින් සිට හෝ මම බලා හිදිමි.

" පුරහඳක රුව ගුණ වයන්නට

පුන්පොහෝදා මිස වරම් නැත

ඒ සඳේ අඩරැස් වළල්ලට 

නොහැක සැදුමට බිඳුණු සිත් කුස

පුංචි තරුවේ

හිරු මැකුණ රැය නුඹට සඳ ඇත."

රැය පුරා නුඹව ඇකයේ හොවා නැළවිලි කිය නුඹව නිදි කෙරවු හැටි, ආදරයෙන් කවා පොවා සෙනෙහෙ නුඹට ලබා දුන් හැටි නුඹේ හිතේ කොතනක හෝ ඇතැයි මම සිතමි. කොයිතරම් පීඩාකාරී වුවත් නුඹට සැමදා නුඹගේ ලොවේ වීරයා වූයේ නුඹේ පියාණන්‍ ය. තව දුරටත් නුඹේ පියාණන්ගෙ අකටයුතුකම් දරාගත නොහැකි වූ කල්හි මම නුඹ සතු අහසින් බැසයමි. නුඹට මා කෙරෙහි බිඳුණු සිත් යළි ප්‍රකෘති තත්වයට පත්කිරීමට නොහැක. ඒ නුඹට මා දැනුණ අයුරුය. නුඹෙන් නික්මීමට හිත පහදා ගැනීමට අසීරුය. නමුත් නැවතෙන්නට නොහැකි තැන අතැර යා යුතුමය. 

පුංචි පුතේ, අවසානයට මම කියමි. නුඹ නුඹේ පියා ළඟ සැනසුමෙන් සිටින්න. මම ඈත සිට නුඹේ සතුට දෙස බලා හිදින්නම්. මාගේ සිතේ නුඹ කෙරෙහි ඇති ප්‍රේමය කිසිදින මා අතහැර යන්නෙ නැත. නුඹ මා හැර යන පුංචි තරුව වුණත්, නුඹ දෙසම බලා හිද, නුඹේ සුඛ විහරණයම ප්‍රාර්ථනා කරන නුඹේ මව් මමය. දිනෙක නුඹට මා සොයා එන්න සිතෙන ඕනෑම විටෙක නුඹ වෙනුවෙන් මා ළය උණුසුම එළෙසම ඇත. මා අසල නිවෙන්නට නුඹට ඕනවටත් වඩා ඉඩහසර ඇත.

හිරුගෙන් දැවී සිත බිදෙන ගත වෙහෙසෙන ඕනෑම නිමේශයක මම නුඹ වෙනුවෙන් හිදිමි. සඳ තරුව රැය නොනිමි අනන්ත වූ අහසක මම නුඹට තනි රකිමි.

ඒ මම නුඹේ මව් නිසාවෙන්මය. ළය බොහෝ බරය. ඒ දුක නුඹ වෙනුවෙන් ඉවසා සිටින්නම්. දිනෙක මා වෙත නුඹ දුවගෙන ඒ යැයි මම බලා හිදිමි. පුතේ මේ පපුව පුරා ආදරය අපරිමිතය. ඒ ආදරය නුඹට දැනෙන දිනයක් වෙනුවෙන් මම මඟබලා හිඳිමි.

" රැය පුරා නුඹ සෙනෙහෙ වන්කල

හිරු නැගෙන කළ එසුව රිසිකල

රැයක ප්‍රේමය දිනට සරිකල

තරුව නුඹමය මෙසඳ හැර යන

හිරු මැකුණ රැය නුඹට සඳ ඇත"

 ඉතිං දිනෙක මා මියෙන තෙක් පුංචි පුතේ හිතේ වූ ආදරය නුඹටමය.

මෙවන් මාතෘ ප්‍රේමයක පාරිශුද්ධ වදන් පෙළ ගේය පද පෙළකින් ලියන්නේ යශෝධරා දේවන්ති ය. නාද මාලාවක් අමුණා එයට ම සුසැදෙන සංගීත නිමවුම තරි ඳු දම්සර ගේ ය. පදත් නදත් එකට කැටිකොට එයට ජීවාත්මයක හුස්ම පිඹ ගයන්නේ කාංචනා අනුරාධි ය. 

Top