ජන දිවි වතගොත: ගුණයෙන් උදුල දරුවන් - අදටත් නො තැනේ ද ගමකින්? (259 වන ලිපිය)

post-title

එදින, මහ පොළෝ කය දුහුවිල්ලෙන් වසාලූ ඉඩෝරයේ අග්ගිස්සෙ තවත් එක් සැඳෑවකි. ගෙපැලේ උස්පිල්කඩෙහි වැතිරී, පොල්ලතු පියස්සේ සිදුරු අතරින් පෙනෙන විසල් නබෝගැබ පිරික්සමින් මා උන්නේ මනෝ ලොවක අතරමං වීය. පසෙකින්, පන් පැදුරකට සායම් රටා ගල්වන අත්තම්මාගේ මුවින් පිටවෙන කවි ගැයුම් රාවයක්ද පිළිකන්න දෙසින් ඇසෙන්නට විය. විගසම අම්මා විසින් සාදන වංඩු ආප්ප සුවඳින් ඉහ වහා ගිය කල යාන්තමට මෙන් කුසගින්නක්ද මෝරා වැඩෙන හෙයින් මා උස් පිල්කඩ මතම ඇනබාගත්තේ කුස්සි යාලත්ත වෙත යාමේ අටියෙනි. ඉන් පසු හෙමින් සීරුවට මුළුතැන්ගෙය වෙත අඩි කැඩූ මා හට පුංචම්මාගේ සියුම් නැළැවිලි ගී රාවයක් ද ඇසෙන්නට විය.එමෙන්ම අලුත උපන් කිරි සප්පයාගේ හැඬුම් කෙඳිරිලි ද අතරින් පතර ඇසෙන්නට විය. එහෙයින් පුංචි මල්ලීගේ සුරතල් මුහුණ ද දැකගැනීම කුහුලෙන් යුතුව දොර කවුළුවෙන් කුටියට මුහුණ එබූ විගස දැකගන්නට හැකි වූයේ නැළැවිලි ගී ගයමින් කිරි කැටියාට මව් කිරි පොවන පුංචම්මාය. 

අලුත උපන් දරුවන්ට මව් කිරි පොවන විටෙක එදෙස බලාසිටීම තහංචි යැයි මා අසා ඇත්තෙමි. එහෙයින් අත්තම්මා දකින්නට පෙරැ හුන් තැනින් අඩියට දෙකට මාරු වීමට වගබලාගත් මාගේ කලබලකාරී විලාසය දැක, පුංචම්මාද සිනාසුනේ සරදමින් යුතුවය. 

ඉන් පසු මුළුතැන්ගෙය වෙත පියනැගූ මා, අම්මා විසින් සාදන වංඩු ආප්ප බහාලූ අප්පල්ලයෙන් එක් වංඩුවක් ගෙන රස බලන්නට වීමි. 

"අම්මා, පුංචම්මා චූටි මලයව බලාගන්නෙ මහ සෙනෙහසකින් නොවැ." යැයි මා පැවසූ දෙයට කොහේදෝ සිට පැමිණි අත්තම්මා මා හට පසක් කර දුන්නේ මහා දැන උගත් පාඩමකි.

සැබැවින්ම විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවක් නොතිබූ කලෙක, අතීත ගැමි දරුවා මව් කුසෙහි සිටම ජීවිතය මැනවින් උගත්තේය. ඔවුහු ගුණ නැණකම් වැඩූවෝහුය. දිවි අරුත් මුසු බර සාර පරම්පරාවක උරුමකරුවෝ වූහ.

ඉදින් පුරාණ ගැමි දරුවා ජීවිතය උගත්තේ මෙසේය.

දරුවන් යනු රටක සමාජයක අනාගත උරුමකරුවෝය. තම වැඩිහිටි පරම්පරාවෙන් උගත් දෑ හා ජීවන අත්දැකීම් අනුව කෙමෙන් හැදී වැඩෙන දරුවා ඒ ඒ සමාජ ස්ථරවල විවිධාකාර භූමිකා තුළ ජීවත් වනුයේ තම අධ්‍යාපනය ද ඉවහල් කොට ගනිමිනි. සැබැවින්ම රටට දැයට සේවයක් සලසන්නා වූ පුරවැසියෙක් බවට පත්වීමට නම් ඔහුගේ හෝ ඇයගේ කුඩා කල දිවිය මාපිය වැඩිහිටි රැකවරණය මැද්දේ ගුණදම් ද පෙරටු කොට ගනිමින් හැදී වැඩිය යුතුමය. මන්දයත් දරුවාගේ මනස නරකට යොමු විය හැකි බැවිනි.

කෙසේ හෝ වර්තමානය වන විට නූතන පරම්පරාවේ දරුවා යායුතු නිසි මග නොයෑමේ ප්‍රවණතාවක් වැඩි වශයෙන් දක්නට ලැබේ. මව පියාගේ සබැඳියාවෙන් දුරස් වූ තාක්ෂණය දෙසටම හඹා යමින් පවතින ළමා පරපුරක් බිහි වන්නා වූ යුගයක අතීත ගැමි සමාජයේ කුඩා දරුවා යහමින් සමාජානුයෝජනය වී ඇති අයුරු සිහිපත් කිරීම ඉතා අගනේය. තම දරුවාව පසෙකලා රූපවාහිනී ටෙලිකතා වලට, දුරකතනයට ගිජුවී සිටින මවුපියවරුන්, සිංහල ගැමි සමාජයේ අස්පර්ශනීය උරුමයන් මගින්, අතීත ගැමි සමාජයේ තමා හැදී වැඩුණු ආකාරය පුනරාවර්ජනය කළයුතුමය . වත්මන් දරු පරපුරට ද සිහිනයක් බඳු එකී රමණීය අතීතය පිළිබඳ උගනීම ද මසුරන් වටිනා වග පසක් කර ගත යුතුමය.

අතීත ගැමි සමාජයේ දරු ගැබක් ඇති වූ තැන් පටන් මව දරුගැබ සෙනෙහසින් අතගාමින් කවී ගායනා කිරීම ලාංකීය සම්ප්‍රදායකි. එමගින් ගැබ තුළ වැඩෙන දරු කැකුල හාෂාව පිළිබද අවබෝධයක් නොමැති වුවද භාෂාව මගින් ප්‍රකාශ වන රිද්මය හා ශබ්දය වටහාගනී. මෙසේ ගැබ සමග වැඩෙන දරුවා බිහිවීමෙන් පසු, මවු ඇකයේ හොවා ගෙන හෝ පැදුරක තබාගෙන කවි ගායනා කිරීම සිදු වේ. මව තම දරුවාව පෝෂණය කරන්නේද ළමැදෙහි හොවාගෙන සෙනේබර බස් දොඩමින්‍ ය. එතුළින් දරුවා කායිකව මෙන්ම මානසිකවද මනා පෝෂණයක් ලබයි. එකල අම්මාවරුන් වත්මනේ ඇතැම් අවස්ථාවලදී මෙන් දුරකතන , ලැප්ටොප් වැනි තාක්ෂණික උපාංග භාවිතා කරමින් තම දරුවාට ඇතිදැඩි කළේ නැත. මව තම දරුවා වෙනුවෙන්ම ඇප කැප වී සරල වූත් සුගම වූත් කවි ගායනා කරමින් දරුවා නළවන්නට වූවාය. එමගින් මුල් අවධියේ දරු ගැබෙහි සිට දරුවා හඳුනාගත් භාෂාව මගින් ප්‍රකට රිද්මය වඩා පහසුවෙන් හඳුනාගනීයි.

"ඔන්න බබෝ ඇතින්නියා 

ගල් අරඹේ සිටින්නියා 

ගලින් ගලට පනින්නියා

බබුට බයේ දුවන්නියා"

දරුවා හඬන විට අතීත අම්මාවරුන් ගායනයට භාවිතා කරගත් කවි ගායනා කොතරම් නම් සුමධුරදැයි මෙවන් නැළවිලි ගායනා තුළින් මනාව ප්‍රකට වේ. එමෙන් මෙම කවි ගායනා එකල අම්මාවරුන් තම දරුවාව නැළවීම පිණිස නිරායාසයෙන්ම ගැයූ කවී වූවද ඒවා ප්‍රතිභා ගුණය අතින් ඉතා ඉහළය.“බබුට බයේ දුවන්නියා" යන පදයෙහි පවා මනා වූ අරුතක් ගැබ් වී ඇති වග නම් පුදුමයකි. එතුළින් තම සිඟිත්තාගේ සිත තුළ නිරායාසයෙන්ම සියුම් අභිමානයක් වීරත්වයක් ජනිත වේ. ආත්ම විශ්වාසයෙන් ප්‍රගුණ සවිමත් සිතැත්තන් බිහිවන්නට මෙකී සියුම් කරුණු කාරණා පවා ඵලදායී වන්නට ඇතැයි සිතිය හැකිය. විරිත් හා එළිවැට නියමාකාරයෙන් ගළපමින් ගැයූ මෙවන් කවි ගායනා අදටත් නොනැසී පවතින්නේ ඒවායෙහි ඇති අපර්ශනීය වටිනාකම නිසාවෙනි. ඊට වැඩිහිටි ඥාති සමුහයාගෙන් ගැයෙන සීපද ද මහගු ය.

කෙමෙන් කෙමෙන් බහ තෝරන විය සමග භාෂා ප්‍රකරණය හදුනා හදුනාගැනීම, ලාංකීය සමාජයේ දෙගුණ තෙගුණ වන්නේ ජන කතාවත් සමගය. ඒ අනුව සිංහල ගැමි සංස්කෘතියේ අස්පර්ශනීය උරුමය එකල සමාජයේ දරු පැටවුන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා රන් හා සමාන වටිනාකමක් ලැබ දුන් වග නම් නොරහසකි. අනික් අතින් මහා පවුලක් තුළ ඇති දැඩිවන දරුවා නැන්දා මාමාගේ දරුවන් වන තම ඥාති සහෝදර පිරිස සමග චක්ගුඩු, ඔලිඳ කෙළිය හා හැගිමුත්තං වැනි ග්‍රාමීය සමාජයේ ක්‍රීඩා වල ද නිරත වෙයි. එමගින් තම ළමා මනස කායිකව මෙන්ම මානසිකව ද සුවපත් වනවා නොඅනුමානය.

තාක්ෂණික ලෝකයත් සමග එකඑල්ලේ ගණුදෙනු කරන වර්තමාන දරුවා මෙන් නොව කළු සුදු රූපවාහිනියක් වත් නුදුටු යුගයක තම වැඩිහිටි සමුහයාගෙන් උගත් ජීවන අත්දැකීම් ඇසුරු කොටගෙන ඇති දැඩි වන දරුවා සමාජානුයෝජනය සමග භාෂාවන් ද ජීවින ජීවන සම්ප්‍රදායන් ද ඒ බැඳුණු ජනශ්‍රැති කෝෂ්ඨාගාරයේ දැනුම් පද්ධතිය ද උකහා ගනියි. හතර වටින් කොටුවුණු වත්මන් නාගරික දරුවා මෙන් නොව හේනේ , කමතේ හා වෙල් එළියේ දුවපනිමින් සාමූහිකව දිවි ගෙවන අතීත ගැමි දරුවා උකහා ගනු ලබන ග්‍රාමමූල අත්දැකීම් මගින් ඉතා පහසුවෙන් දිවිමගෙහි ඉදිරිමග තීරණය කරගනීයි. අත්තම්මා, සීයා වටා රොක්වුණු දරු පිරිස කවී කතා අසමීන් රසවින්දන හෝරාවකට අමතරව තම දිවියට අමිල වූ පාඩම් රැසක්, ගුණදම් රැසක් ද සමගින් අත්පත් කර ගතී.

ලාංකීය අපගේ ජනශ්‍රැතිය පරපුරෙන් පරපුරට අඛණ්ඩව වර්ධනය වූයේ මහ ගෙවල් ආශ්‍රිත ජන සම්ප්‍රදායෙනි. ඒ අනුව අම්මා , අප්පච්චී , අයියා හා අක්කා මෙන්ම පරම්පරා හතරක ජීවන අත්දැකීම් ඇසුරෙන් ගොඩනැගෙන දරුවන් අවුරුදු පහක් හයක් පමණ වන විට ලබන අත්දැකීම් තුළින් වසර පනහක හැටක අතීතයක දැනුම පවා ධාරණය කොටගනු ලබයි. මෙය වත්මන් අමෙරිකානු ජනශ්‍රැති විද්‍යාඥයින්ගේ සිහින පවුල ලෙසද හඳුනාගත හැකිය.

කුඩා දරුවන් භාෂාව තේරුම් ගැනීමත් සමග ඔවුන්ට වැටහෙන අයුරින් ජනකවි , ජනකතා, සිරිත් විරිත් වැනි අස්පර්ෂණීය සංස්කෘතික උරුමයන්ගේ ඇති වටිනාකම් අවබෝධ කර ගනීයි. ඒ අයුරින් හැදී වැඩෙන දරුවා "අ" යනු , "ආ"යනු උගෙනුමට කැටුව යන්නේ පංසලේ ලොකු හාමුදුරුවන් වහන්සේ වෙතටය. වැලි පිල්ලේ අකුරු උගනින දරුවාට දහම් පාසල ආශ්‍රයෙන් ලැබෙන ගුණදම් පිරුණු ඔවදන්ද මහ මෙරක් තරමට වටිනේය. ඒ අතර අත්තම්මා වටා රොක් වී අසන ජනකවි , වීරකතා වැනි දෑ තුළින් ලාංකීය සංස්කෘතියට අනුරූපව කුඩා දරුවන්ගේ සිත් තුළ වීරත්වය ආරෝපණය වේ. නමුත් වත්මන් දරුවාද කැටුව මවි පිය වැඩිහිටි පිරිසම පරක් තෙරක් නොමැතිව වහ වැටී නරඹන ටෙලි කතා මගින් ළමා මනසට ඇතුළු වන්නේ වීරත්වය නොව ප්‍රචණ්ඩත්වයයි. වෛරයයි. සැබැවින්ම වර්තමානය වන විට ලාංක්ය සමාජ සංස්කෘතික පරිහානියට මෙම තත්වය උග්‍ර ලෙස හේතු සාධකයක් වී ඇති වග කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.

එකල කුඩා දරුවන්ගේ සිත් තුළ වීරත්වය ආරෝපණය වන වීර කතා කීම ප්‍රකට භාවිතාවක් සේ දැකගත හැකිවිය.

ඒ අනුව ජන වෙදකම , කෙම් පහන් ක්‍රම , ජන විශ්වාස හා සිරිත් විරිත් මෙන්ම වාරි ශිෂ්ටාචාරය හා බැඳුණු අතීත ගැමියා තම දරු මුණුබුරන් හට මනරම් වූ ළමා වියක් ලබාදී ඇත.එම දරුවන් ලබාගත් හරවත් දැනුම් පද්ධතිය තුළින් පරිපූර්ණත්වයට පත්වෙමින් වැඩිවිය පැමීණි කල්හිද නිවැරදි තීන්දු තීරණ ගනිමින් දිවි ගෙවන්නේ එකී දැනුම උපයෝගී කරගනිමිනි.

සැබැවින්ම ලාංකේය සම්ප්‍රදායට පිටුපාමින් වෙනතකට යොමු වන්නා වූ වත්මන් ළමා පරපුර තමා සතුව ඇති අගනා තාක්ෂණයද උපයෝගී කරගනිමින් ලාංකේය අස්පර්ශනීය උරුමයද සුරකිමින් තම දිවිය ගොඩනගාගන්නේ නම්, ඔබ අප සියළු දෙනා සරුසාර අනාගතයක් කරා ජාතීන් අතර සංහිදියාවෙන්ද යුතුව අප රට ගොඩනගාගත හැකි බව නොරහසකි.

Top