කොරෝනාවෙන් අකුරු අහිමි වන ළමා ලෝකය (244 වන ලිපිය)

post-title

අද වර්ථමානය වන විට කොරෝනා වෛරසය (Covid 19) මිනිස් ජීවිතවල නව පිටුවක් පෙරළමින් සිටියි. තාක්ෂණය වඩාත් ඉදිරිගාමී ලෙස ලාංකීය සමාජය තුළ තීරණාත්මක සාධකයක් බවට පත්වන ඉඟි මේ වන විටත් පළකෙරෙමින් තිබේ. කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරීයාමත් සමඟ ම ලෝකය භෞතික ව දුරස්වෙමින් තාක්ෂණය පෙරටත් වඩා මිනිසාට සමීප විය. වෙන් වෙන් ව ජීවත් වුව ද එක් තැන් ව පොදු තාක්ෂණයක් භාවිතයට මිනිසාට සිදු විය. කොරෝනා පැමිණීමට පෙර තාක්ෂණය මඟහැරි බොහෝ පිරිස් පසුව තාක්ෂණයට සමීප වූයේ එයට අනුගත වීමට සිදුවූ හෙයිනි. මෙම කොරෝනා ව්‍යවසනය සමඟ අධ්‍යාපනයට ද කිසියම් ආකාරයක ඉදිරි පියවරක් තබන්නට සිදුවිය. ඒ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයක් (Online Education) සඳහා ළමා පරපුර යොමු කිරීම තුළිනි.

ළමා පරපුර රටක සංවර්ධනයෙහි ජීවනාලිය වේ. රටේ අනාගතය පිළිබඳ හිමිකරුවෝ ද ඔවුහු ම ය. හෙට බිහිවන නව ලෝකය ගොඩනඟන්නෝ ද ඔවුහු ම ය. මේ නිසාවෙන් ම රටෙහි ළමා පරපුර කෙරෙහි අප කාගේත් නොමඳ සැලකිල්ල යොමුවිය යුතුය. මෙම ළමා පරපුරෙහි සංවර්ධනයට අධ්‍යාපනය තරම් බල පැවැත්වෙන වෙනත් කාර්යයක් නොමැති තරම් ය. ඒ තරමට ම අධ්‍යාපනය ළමා පරපුරට අත්‍යවශ්‍ය ම දෙයකි. නමුත් ගෝලීය කොරෝනා වසංගතය සමඟ පෙර පාසැල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ම සිසු පරපුරට එල්ල වී ඇති අභියෝග බොහෝ ය. ඇතැම් සිසුන් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිස සිටින නමුත් එම වරප්‍රසාදය සෑම දෙනාට ම එකසේ භුක්ති විදීමට නොහැකි වී ඇත. සිසුන්, පුද්ගලික අන්තර්ජාල මාර්ගගත (Online) අධ්‍යාපනයට යොමුවීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික සහ සමාජ මට්ටම ද බලපානු ලබයි. 

විශේෂයෙන් ම පාසැල් අවධියේ පසුවන දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනය පවතිනුයේ සතුටුදායක තත්වයක නොවන බව ත්, විශේෂයෙන් ගම්බද පාසැල්වල සහ නගරවලින් බැහැර ව පවතින බොහෝ පාසැල්වල මෙම තත්ත්වය සුලබ ව පවතින බවත් විශ්ලේෂකයන්ගේ අදහසයි. කුමන හෝ අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මක නොවන පසුබිමක අන්තර්ජාල අධ්‍යාපනය පැවතීම සාධනීය කරුණක් වන නමුත් එහි පවතින ගැටලුකාරී ස්වභාවය ඇතැම් දරුවන්, ගුරුවරුන් පමණක් නොව දෙමව්පියන් තුළ ද ඇතිකර තිබෙනුයේ ව්‍යාකූල තත්ත්වයකි. වර්තමානයේ කෝවිඩ් 19 වසංගතය සංවර්ධනය වූ හෝ නො වූ රටවල් ලෙස කිසිඳු වෙනසක් නොකර ‍ලොව පුරා දරුවන් එකම අයුරින් පීඩාවට සහ අසරණභාවයට පත්කර ඇත. ලොව පුරා කෝවිඩ් 19 හේතුවෙන් සිදුවන සෞඛ්‍යමය බලපෑම නිසා කොවිඩ් පවතින රටවල් වල පාසැල් වසා දමා ඇති බවට ද තොරතුරු වාර්තා වේ. ඒ අතර ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් ද විශාල ප්‍රමාණයක් කෝවිඩ් 19 හේතුවෙන් පාසැල් නොයයි. 

ලොව බොහෝ රටවල් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත අධ්‍යාපනය ලබාදෙනු ලබයි. එහෙත් ලොවෙන් භාගයකට අන්තර්ජාල පහසුකම් නොමැති තත්ත්වයක් පවතියි. එසේම ලොව යම් යම් දියුණු රටවල ද අන්තර්ජාල ලැප්ටොප් පරිගණක නොමැති ව අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමට අපහසු දරුවන් සිටින බවට වාර්තා වෙයි. ඒ අතර ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවල ද සෑම පාසැල් ළමුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු ම දුගීභාවයෙන් පෙලෙන බවට ද වාර්තා පලවන විට දී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ගේ අධ්‍යාපනය කෝවිඩ් 19 නිසා අඩාල වන බව විමතියක් නොවේ. අවම පහසුකම්, අවම අධ්‍යාපන උපකරණ සහ පෙළපොත් හිඟය වැනි අභියෝග හමුවේ අධ්‍යාපනය හදාරන ලාංකික ඇතැම් දරුවන් කොරෝනා හේතුවෙන් තව තවත් අධ්‍යාපන තරඟය තුළ අතරමන් වනු ඇත. පහසුකම් ඇති සහ පහසුකම් නොමැති පාසැල් අතර පරතරය තව දුරටත් වැඩිවනු ඇත. ඒ අතර තවත් දරුවන් පිරිසක් කොරෝනා ගෙනා මේ අසීරුතා නිසා ම අධ්‍යාපනය හැර යනු ඇත. විශේෂයෙන් ම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ගෙන් කොටසක් මෙම ඛේදනීය ඉරණමට මුහුණදීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ ය. තවද කෝවිඩ් 19 හි බලපෑම් හමුවේ තවදුරටත් ඇතිවන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් වැඩිමහල් පාසැල් දරුවන් පාසැල් හැර යමින් බාල සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපනයට සහාය දක්වන්නට, දෙමව්පියන්ගේ ජීවන සටනට එක්වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළ ය. ඇතැම් දරුවන්ගේ අධ්‍යාපනයට ඇති අයිතිය පවා කොරෝනා පැහැරගනු ලබන්නේ එසේ ය. මෙලෙස කෝවිඩ් 19 හේතුවෙන් ලොව පුරා ඇතිවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව ද පැහැදිලි ව ම ඉහළ යාමට ඇති හැකියාව ඉතා ඉහළ ය.

කෝවිඩ් 19 හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ ශිෂ්‍ය ප්‍රජාවට ඉගැන්වීමට උත්සාහ කළ ත් එය ග්‍රාමීය මට්ටම දක්වා ළඟාවූයේ නැත. නගරබඳ ප්‍රසිද්ධ පාසැල්වල ධනවත් පවුල්වල දරුවන් පමණක් එයින් ප්‍රයෝජන ගනු ලබයි. නගරවල පවා සීමිත ආදායමක් ඇති පවුල්වලට පවා ඩේටා කාඩ් සඳහා ගෙවනු ලබන ගාස්තු ඉසිලිය හැකි බරක් නොවූ බවත් අනාවරණය වී ඇත. පාසැල්වල ඉගැන්වීම මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය හරහා සිදුකරන විට උපකාරක පන්තිවල ගුරුවරුන් ද එයට අවතීර්ණ වීමක් දක්නට ලැබිණි. එහිදී ශිෂ්‍යයන්ට කෙටිපණිවුඩ එවන උපකාරක පන්තිවල ගුරුවරුන් ඇප් බාගත කර ගනිමින් නියමිත වේලාවට අන්තර්ජාල පන්තිවලට සහභාගී වන ලෙස දැනුම් දෙනු ලබයි. සතියකට දෙකකට පසු ඔවුන් ගිණුම් අංක ලබා දෙන අතර සාමාන්‍ය කාලයේ දී අයකරන ලද පරිදි ම පන්ති ගාස්තු එයට බැරකිරීමට දෙමව්පියන්ට සිදු වී ඇත. එසේ වුවත් අධ්‍යාපන කටයුතුවලට අන්තර්ජාලය භාවිත කිරීම සඳහා බොහෝ දෙමව්පියන්ට වත්කමක් නොමැත. නිවසේ සිට අන්තර්ජාලයට සම්බන්ධ වීමට හැකියාව ඇත්තේ ඉතාමත් සීමිත පිරිසකට ය. අන්තර්ජාල පහසුකම් සහිත දරුවන්ගෙන් ද සියයට අනූවක් ම ස්මාර්ට් ජංගම දුරකථන සම්බන්ධතාවයෙන් අන්තර්ජාලයට ප්‍රවේශ වේ. මෙම දුරකථන ඔවුන්ගේ ද නොවේ. දෙමව්පියන්ගේ ය. දෙමව්පියන් රැකියාවට යනවිට ඔවුන්ට ද මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවේදය කිසිඳු ප්‍රතිඵලයක් අත්පත්කර දෙන්නේ නැති ක්‍රමවේදයකි

මෙසේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය හරහා සිදුකරන ලද දේශන හෝ සටහන් ඇප් ඔස්සේ නිවසට එවනු ලබන අතර ඒවා මුද්‍රිත පිටපත් වශයෙන් ලබාගැනීමට ද ළමුන්ගේ බොහෝ දෙමව්පියන් සතුව වත්කමක් නොමැත.

දරිද්‍රතාව, නව තාක්ෂණය සමඟ පවතින දුරස්ථ බව, තාක්ෂණික උපකරණ භාවිතයේ පවතින අසමත්කම හෝ එයට අවශ්‍ය කරන දැනුම ලාංකිකයන් සතු නොවීම යනාදිය ලංකාව තුළ මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ දී පවතින අපහසුතාවයන් ලෙස පෙන්වාදිය හැකිය.

“බොන්න වතුර ටිකක් නැති අපට මොන ඉන්ටර්නෙට් ද? කන්න නැති අපට ඩේටා කාඩ් එකක් දාගන්න සල්ලි කොහෙන් ද? ” යනුවෙන් බොහෝ දෙනා පවසයි. එමඟින් පැහැදිලි වනුයේ එසේ මාර්ගගත අධ්‍යාපනය සෑම දරුවාට ම එකසේ ප්‍රායෝගික නොවන බව ය. ඔවුන්ට අනුව වර්තමාන මාර්ගගත අධ්‍යාපන ක්‍රමය “කොළඹට කිරි ගමට කැකිරි” පන්නයේ කාර්යය කි.

මේ අනුව කෝවිඩ් 19 හේතුවෙන් සෑම දරුවෙකුට ම වර්තමානයේ දී සමාන අධ්‍යාපනයක් ලබාගැනීමට නොහැකි වී ඇත. මෙවැනි හදිසි අවස්ථාවක දී සමාජයක වඩාත් අනාරක්ෂිත වන පිරිසෙන් විශාල ප්‍රතිශතයක් සිටිනුයේ පාසැල් දරුවන් වන හෙයින් ඔවුන්ගේ ආරක්ෂාව අරමුණු කරගෙන වර්තමානයේ සමහර පාසැල් වසා ඇත. නමුත් මෙසේ ළමා පරපුරෙහි අධ්‍යාපන අවස්ථාව අහිමිවීම බරපතළ කරුණකි. කෝවිඩ්19 වසංගතය හමුවේ වුව ද ලාංකීය සෑම දරුවෙකුට ම සමාන අධ්‍යාපන අයිතිවාසිකමක් හිමිවිය යුතුය. දැනුම පදනම් කරගත් සමාජයක් බිහිවන මෙවැනි කාල වකවානුවක ඉගෙනීමට බාධා මතුවීම අනාගතය අවුරා දමනු ඇත.

එහෙයින් මෙම කෝවිඩ් 19 ව්‍යවසනය හමුවේදී ධනය ඇති නැති පරතරයකින් තොරව ලාංකීය දරුවන් සියල්ලන්ට ම අධ්‍යාපනය සමානව ලබාදීම වගකිවයුතු සියළු දෙනාගේ ම යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේ ය.

Top