පිටසක්වළ ජීවයක තතු සොයා ගිය සක්වළ කතන්දරේ (241 වන ලිපිය)

post-title

ලෝකය ගෝලාකාරයි. මිනිසුන් විවිධාකාරයි. මේ ඔබටත් මටත් නිතැතින් ම කියැවෙන හුරුපුරුදු වචන කිහිපයකි. නමුත් මෙම විශ්වතලය තුළ පවතින මන්දාකිණි, චක්‍රාවාට, පිටසක්වළ ජීවීන් ...... මෙන්න මේ වචන අපිට නිතර ම භාවිතාවට ලක් වන්නේ නැත. එසේ වනවා නම් ඒ විශ්වයේ සත්‍ය විනිවිද දකින්නට කැමති, ඒ මිහිර සොයා යන්නෙකු ට පමණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මේ විශ්වය හරිම පුදුමාකාරයි. ඉතිං, මේ විශ්වීය අවකාශය තුළ පෘථිවිය වගේ ම තවත් ගෝලාකාර ලෝකයන් තිබෙන්නට බැරිද ? පෘථිවි වාසීන් ට වඩා දියුණු වූ විවිධාකාර ජීවීන් සිටින්නට නොහැකි ද? 

පිටසක්වළ ජීවීන් පිළිබද ව ඔබගේ ආකල්පය සත්‍යවාදී විය හැකිය. නැතිනම් සාවද්‍ය විය හැකිය. ඒ නිසාම ඔබට මෙම විෂය පථය තුළ නිමග්න වන්නට, විශ්ව සත්‍යයෙහි දොරටු විවර කරගන්නට මග පෙන්වීම සදහා අද wachana.lk වෙත ලියන මගේ මුල්ම ලිපිය තුළින් ඒ පිළිබද විග්‍රහයක නිරත වීමට සිතුවෙමි. 

ඔබට මතක ඇති පිටසක්වළ ජීවය පිළිබද නව පිටුවක් පෙරළමින් ශ්‍රී ලංකාවට ලෝකාභිමානයක් එක් කළ අරලගංවිල සිදුවීම පිළිබදව. පිටසක්වළ ජීවය පවතින බවට තහවුරු කළ ලොව ප්‍රමුඛ ස්ථානය ලෙස අරලගංවිල ඉතිහාසගත විය. ඒ පිළිබද තොරතුරු මෙන්ම පිටසක්වළයින් පිළිබද ඇතැම් විට ඔබ නොදත් මම දත් තොරතුරු සන්නිදර්ශන සමගින් ඔබත් සමග බෙදා ගැනීමට කැමැත්තෙමි. 

අපගේ ක්ෂීරපථයෙහි අගහරු ග්‍රහයා හෙවත් රතු ග්‍රහයා පිළිබදව කුමන හෝ සිද්ධාන්තික කරුණක් හෝ ප්‍රවෘත්තියක් සවන් වැකුණු විගස ම ඔබට මට මතක්කර දෙන්නේ පිටසක්වළයින් සමග පියාඹන පීරිසි පිළිබදවයි. ඔබ මීට පෙර පිටසක්වල ජීවින් ගැන අසා ඇති. ඒ සමහර විට සමහර අයෙක් නම් පහත ගී කණ්ඩයෙන් ද විය හැකියි. 

‘’පාවෙන පීරිසියක් උඩ නැගලා

පිටසක් වළකින් මෙහාට බැහැලා

ආවේ කොහොමද ඇත්තට ඔහෙලා

කුරුමිට්ටෝ.....

මං නම් නෑ කවදාවත් දැකලා

පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා ....’’

ප්‍රවීණ ගීත ගායක සුනිල් පෙරේරා ඇතුලු ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනා කළ මෙම ගීතයට මදකට සවන් දෙන්න. මෙම ලිපිය කියවන ඔබට එය තවත් රසවත් උත්තේජකයක් වේවි. 

2012 දෙසැම්බර් 29 වැනි දින පොළොන්නරුව අරලගංවිල කුඩා වැව වෙල්යායට පතිත වූ ආකාශ වස්තුවෙහි සිටියේ අසාමාන්‍ය ලෙස හැඩ ගැසුණු විශාල වූ ඇස්, කුඩා නාසයක්, කුඩා ශරීරයක් ඇති කුරුමිට්ටෙකු නම් නොවෙයි. 

එසේ නම් සිටියේ කවුරුන් ද

ඒ උල්කාපාතයේ පොසිලගත වූ නවතම සූන්‍යෂ්ටික ජීවී ප්‍රභේදයකි. මෙම උල්කාපාතයෙහි අඩංගු මූලද්‍රව්‍ය පිළිබද කළ අධ්‍යයනයන්, හැදෑරීම් සහ පර්යේෂණයන් තුළින් ගම්‍යමාන වූයේ එහි අඩංගු වූ ඉරිඩියම් යන මූලද්‍රව්‍ය අන්තර්ගතය සහ ඔක්සිජන් සමස්තානික පරීක්ෂණය හරහා සත්‍ය ලෙස ම මෙය උල්කාපාතයක් බවයි. රුසියාවේදී කළ පර්යේෂණයෙන් එහි වූ ඩයටම ජීවීන් ප්‍රභේද වෙන් කොට ගෙන එහි ඇති විකිරණශීලීත්වය පරමාණු හැදෑරීමේ දී එහි තිබූ යුරේනියම්, තෝරියම්, ටයිටේනියම් වැනි විරල ලෝහ හරහා මෙය විශ්වීය ප්‍රභවයක් බව නැවත තහවුරුවිය. එංගලන්තයේ බකින්හැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ද මෙයට සමාන අදහස් දැරුවේය. මුලු ලෝකයෙහි ම විද්‍යාත්මක ක්ෂේත්‍රයේ මෙන් ම සමස්තයේ ම අවධානය යොමුවූ මෙම සිදුවීම පිළිබද පර්යේෂණ සිදුකිරීමට මූලිකත්වය ගත්තේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහ මහාචාර්ය රිචඩ්. බී. හූවර් යනදෙදෙනා ය.

කෙසේ නමුත්මෙයට සමාන තවත් සිදුවීමක් මේ අතරසිදුවිය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ ආකාරයට කිලෝමීටර් 400 ක් ඉහළින්රදවා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේල පිරිසිදු කරමින් සිටි අජඨාකාශගාමීන් දෙදෙනෙකුට දක්නට ලැබුණු මෙම උල්කාපාත කැබැල්ලක තිබී මෙම ජීවීන් හමු වී ඇත. අරලගංවිලට පතිත වූ උල්කාපාත කැබලි වල තිබී ජීවී ඩයටම හා සමාන ජීවී ඩයටම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තිබී හමුවීමෙන් තව දුරටත් අවලෝකනය වන්නේ පිටසක්වළ ජීවය පවතින බවයි.

එසේ නම් ජීවය පවතින්නේ පෘථිවියෙහි පමණක් නොවෙයි නේද

ඔබට මම තවත් රසවත් සිදුවීමක් මතක් කර දෙන්නම්. ඔබ දන්නවා ඇති ඇමෙරිකාවේ රොස්වෙල් ප්‍රදේශයට පිටසක්වළ යානයක් කඩාවැටුණු බව. එහි සත්‍ය අසත්‍යතාවය පිළිබදව බොහෝ මතිමතාන්දර ඇතිවිය. ඒ අනුව 1947 දී ඇමෙරිකාවේ නිව් මැක්සිකෝ ප්‍රදේශයේ රොස්වෙල් පළාතට පිටසක් වළ යායක් කඩා වැටුණු බවත් එහි සිටි ජීවීන් ඇමෙරිකානු හමුදාව මගින් සිරකරගෙන සිටින බවත් ප්‍රසිද්ධ කතාවකි. මෙසේ සිරභාරයෙහි සිටින පිටසක්වළ මිනිසුන් වහා ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෙයට කලකට පෙර ඇමරිකන් මානව හිමිකම් සංවිධානයක් අධිකරණයට පෙත්සමක් පවා ඉදිරිපත් කර තිබුණි. 

පැරණි මුතුන් මිත්තන් ද පිටසක්වලයන් පිළිබද විශ්වාස කළ බව ඔබ දන්නවා ද?

සුමේරියන් ශිෂ්ඨාචාරය වසර 6000ක් පමණ ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචාරයකි. මෙම ශිෂ්ටාචාරයෙ හි මිනිසුන්ට අනුනකි නම් දෙවියෙකු සිටියේය. එම දෙවියා පිටසක් වළ ජිවියෙක් බවත් පෘථිවියට පැමිණ ජීවත්වූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. සුමේරියානු ශිෂ්ටාචාරයෙහි මිනිසුන්ට සෞර ග්‍රහ මණ්ඩලය පිළිබදව ඉතාමත් හොද දැනුමක්, ඥාණයක්, චින්තනමය ශක්තියක් තිබූ අතර වෙනත් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ රුව මැටි පුවරු වල හෝ ගල්ඵලක මත කැටයම් කිරීම සිදුවිය. අනුනකි දෙවියන් පෘථිවියට පැමිණි යානාවෙහි රූපසටහන ගල්මත කොටා ඇත.

මොහොතකට සිතන්න. 

අපගේ ක්ෂීරපථය හැරුණුවිට මෙම විශ්ව තලය තුළ කෙතරම් චක්‍රාවාටයන්ඇත්ද? ඒවායෙහි අපිට වඩා දියුණු මෙන්ම නොදියුණු ජීවීන් සිටිය හැකි නොවේද? පෘථිවියෙහි ජීවයක් පවතී නම් පෘථිවියට සමාන පරිසරයක් ඇති ග්‍රහලෝක වල ජීවයක් තිබිය නොහැකිද? පෘථිවිවාසීන් වන අප පමණක් මෙම අවකාශීය දේහය තුළ තනිවෙලාද? මෙවැනි නොයෙක් ප්‍රශ්න පිළිබදව, උපන්‍යාසයන් පිළිබදව මොහොතක් සිතනවිට බුද්ධිමත් ඔබටම පිළිතුරක් සොයා ගත හැකිවනු ඇත. ලෝකයේ පවතින දෙයට අලුත් යමක් එක්වූවිට ඒවා පිළිගැනීමට ඕනෑම අයෙක් පැකිළෙයි. නමුත් කාලාන්තරයකට පසුව තම දෑස් ඉදිරිපිට ඒවා සැබෑවන විට ඒවා පිළිගැනීමට සිදුවෙයි. නාසා ආයතනයේ මහාචාර්ය රිචඩ්.බී.හූවර් මුලින්ම අගහරු ග්‍රහයා මත එහි උත්තර ධ්‍රැවයේ අයිස්වලට යටින් එහි ජලය පවතින බව ප්‍රකාශ කළ විට එය මුලදී නොපිළිගත්තත් අද්‍යතන විද්‍යාත්මක ලෝකය තුළ සමාජ පරිස්ථිතිය තුළ එය යථාර්ථයක් බවට පත් වී ඇත. ප්ලූටෝගේ තිබෙන්නේ ද ඝන අයිස් තට්ටුවකි. එයට යටින් එහි ජලය තිබිය හැකිය. ක්ෂුද්‍ර ජීවීන් හට අයිස් දියකර ජලය සෑදිය හැකි බව ඔහු 2011 ඇන්ටාක්ටිකාවේ කළ පර්යේෂණයෙන් තහවුරුවිය.

අගහරු ග්‍රහයා මත පෙරළි කරන කියුරියෝසිටි රෝවරය මෙන්ම මාස් රෝවර් යානය ද පිටසක් වළ ජීවය පවතින හෝ පැවති බව සනාථ කරන ග්‍රහලෝකයක් බවට පත්කිරීමට සාක්ෂි සපයමින් සිටී. අද්‍යතන විද්‍යාත්මක විප්ලවය තුළ සද මතු පිට ජනාවාස ගොඩනැගීමේ ව්‍යාපෘති ද ගොඩනගමින් තිබේ. අනාගතයේ එවැනි තරණයකට ඔබට එක්වීමට ද හැකියාව ලැබෙනු ඇත. ඒ නිසා ඔබ කළ යුත්තේ සත්‍ය ගවේෂණය කිරීමයි. සත්‍යයේ කවුළුව විවර කළ යුත්තේ ද ඔබයි. ඔබ ජීවත්වන්නේ සත්‍යයත් කල්පිතයත් අතරද? ඔබ සිතන්න. නිදහස් ලෙස සිතන්න. සත්‍ය දැකීම සහ සත්‍ය විමසීම ඔබව ප්‍රඥා ලෝකය කරාගෙන යන මාර්ගය වනු ඇත.

Top