ස්ත්‍රී රැකවරණ වෙනුවෙන් පිරිමි ද අරගල කළ යුතුය.(222 වන ලිපිය)

post-title

“මට ජීවත් වෙන එක ගැනත් දැන් ඇත්තට ම තියෙන්නෙ මහා පිළිකුලක්”

ඇය හැඬුම් අතරින් එහෙම කියනවා. මම නිශ්ශබ්දව ඇය දිහා බලන් ඉන්නවා. ඒ ඇස්වල බොර පාට තවත් බොර කරගෙන කඳුළු කඩා වැටෙනවා. අම්මාගේත් තාත්තාගේත් අපරිමිත ආදරය රැකවරණය ලබාගෙන උන්න ඇය, ඒ ආදරය, දෙමාපියන්ගෙ හිත්වල තිබුණ විශ්වාසය, බිඳින්න බැරි නිසාම භද්‍ර යෞවනයේ දි ඇගේ හිත් මල් යාය විකසිත කරපු පෙම්වතාව අකමැත්තෙන් අමතක කරනවා. ඒ වෙනුවට ඇය වේදනාවෙන් පපුව ඇකිලෙද්දි අමාරුවෙන් තීරණයක් අරගන්නවා. ඒ මීට වසර තුනකට තුනහමාරකට වගේ කලින්. ඒ තීරණය වෙන්නේ අම්මාත් තාත්තාත් හොයා දුන්න කෙනා එක්ක විවාහ වෙන්න ගත්ත තීරණය. ඒ වෙනුවෙන් ඇයට මහ රැයවල් ගණනාවක් එක දිගට අඬා වැළපෙන්න වෙනවා. ඇය අමාරුවෙන් හිත හදාගන්නෙ කඳුළු එක්ක ජීවිතේ සෑහෙන්න දියවුණාට පස්සෙයි.

අවසානෙ මාල හතක් දාල දීගෙක යන්න ඇය හිත ගලක් වගේ දැඩි කර ගන්නවා. දෙමාපියෝ හොයා දුන්න පිරිමි පරාණය එක්ක ඇගේ ජීවිතේ ඉතුරු කාල සීමාව ගෙවන්න ඇය දෑඟිලි රන්හුයෙන් බැඳලා පොරොන්දු වෙනවා. ඒත්... ඒ ජීවිතේ ඇයට මොනතරම් නම් වේදනාවක් ද කියලා මගේ ඉස්සරා ඉඳන් හඬන ඇගේ කඳුළු දැක්කම මට තේරෙනවා. 

“බැඳපු මුල් කාලෙ එයා මට ආදරෙන් උන්නා. ඒත් මට ටිකෙන් ටික තේරුණා එයා වෙනස් වෙනවා කියලා. එයා ගොඩක් වෙලාවට ඔපිස් එකේ ඉඳන් ගෙදර එද්දි බීලයි ආවෙ. ඒ ඇවිත් මා එක්ක රණ්ඩු කරා. මාව බැන්දට පස්සෙ එයාගේ නිදහස් ජීවිතේ නැතිවුණා කියලයි එයා කියුවෙ. මං ඒ බැණුම් ඉවසන් උන්නා. ඒත් ඒක දිගින් දිගට ම ගිහින් එයා මට ගහන්න පටන් ගත්තා. අදත් මං එයාගෙන් ගුටිකන කෙනෙක්. මං ගෙදරදි කවදාවත් අම්මගෙන් තාත්තාගෙන් වත් එහෙම ගුටිකාල නැහැ. ඒත් එහෙමයි කියලා මට මේ කසාදෙ ඇතෑරලා ගෙදර යන්නත් බෑ. එහෙම ගියොත් මගෙ අම්මා තාත්තා කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ”

ඇය ඒ දිග කතාව කෙටියෙන් එහෙම කියද්දිත් කොයිතරම් සුසුම් හෙලන්නට ඇත්දැයි ඔබට සිතා ගන්නට හැකි වෙනු ඇත. මට මේ කතාව එක්ක මතක් වෙන්නෙ යමුනා මාලනී පෙරේරාගේ සුරාසොඬ සැමි වලප කවියෙ තියෙන පද ටිකක්. 

“මේ අත් දනී දුන් ගුටි බැට නිමක් නැතී

මේ මුව දනී දුන් නොසරුප් බැණුම් වැසී

අනේ ගහ බැනපු කිසිවක් හිතේ නැතී

පාලුයි මගේ පැළ අඳුරුයි පබාවතී”

(පද- යමුනා මාලනී පෙරේරා)

ඒ කවි පන්තියෙ තියෙන්නෙ මතට ලොල් වෙලා තමන්ගේ බිරිඳට අප්‍රමාණ වේදනා දුන්න ස්වාමියෙක් ඒ වේදනා උහුලා ගන්න බැරි ව බිරිඳ මිය ගියාට පස්සෙ ඇගේ වටිනාකම තේරුම් අරන් කියන කවි ටිකක්. ඒත් ඒ වෙද්දි ඇය මිය ගිහින් ඉවර නිසා ඒ වැලපුමෙන් තේරුමක් නැහැනෙ. 

මං දන්න කියන සුපිරි වෙළඳ සැලක සේවිකාවක් ඉන්නවා. ඇය මේ වෙද්දි ජීවත් වෙන්නෙ තනියම. බෝඩිං කාමරයක. ඒත් එයා විවාහකයි. දරුවන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.පරම්පරාවෙන් ම ඇයට විශාල ධනස්කන්ධයක් උරුම වෙලා තිබුණා. දෙමාපියන්ගේ කැමැත්ත මත ඇගේ අත ගන්න සහකරුවා ටික කාලෙකට පස්සෙ ඇගේ සියලුම දේපල වස්තුව තමන්ගේ අතට අරගන්නවා. ඊට පස්සෙ ඇයට අප්‍රමාණව වද දෙනවා. ඔය අතරෙ දරුවො දෙන්නා ලැබෙනවා. දරුවො දෙන්නා ට ආදරෙ කරත් සැමියා ඇයට ආදරෙ කරන්නෙ නැහැ. දරුවොත් හැදෙන්නෙ තාත්තා වගේ ඒ නිසාම ඇයව ඔවුන්ටත් රුස්සන්නෙ නැහැ. මේක දරා ගන්න බැරිම තැන ඇය ඒ හැමදේම දාලා කොළඹ එනවා. ඇවිත් සුපිරි වෙළඳ සැලක පොඩි වැටුපකට රැකියාවක් හොයා ගන්නවා. ඇය දැන් එහෙම ඇවිත් අවුරුදු පහක් වෙනවා. දික්කසාදය අරගන්නවත් ඇය ගමට යන්නෙ නැහැ. දරුවො වත් සැමියාවත් ඇයව හොයාගෙන එන්නෙත් නැහැ. අලුත් අවුරුද්ද දවසෙත් අදත් ඇයට හිතේ සැනසීමෙන් යන්න තැනක් වත් බලන්න කෙනෙක්වත් නැහැ. ඒ නිසා අවුරුද්ද පෝය නිවාඩු දවස් කියලා වෙනසක් නැතිවම ඇය අදත් ඇගේ බෝඩිමට වෙලා ඇගේ ජීවිතේ ඉතුරු කාල සීමාව ගෙවනවා. ඒ කතාව ඇය දවසක් හදිසියෙන් ම කතා කරලා මට කියනවා. ඒ මගේ ‘ඇස් තෙත් කළ මතක’ කෘතිය කියවා ඇතිවුණ කම්පනයත් එක්කයි. මේ සටහන ලියද්දි හදිසියෙන් ම මට ඇයව සිහිවුණ නිසා මං ඒ ඇගේ කතාව කෙටියෙන් ඔබට ලියා තැබුවෙ. කොහොම උනත් අදත් ඇය තමන්ගෙ සැමියටවත් දරුවන්ටවත් වෛර කරන්නෙ නැහැ. 

“වීදුරු කටු නොපාගා

මල් පෙති එකතු කරන ඔබ ළඟ

කැපුණු අතකින් 

බලා ඉමි මම

........

කටු ගොඩ ඉදිරිපිට 

මම තව ම බලා ඉමි

තනනු නොහැකිව බිඳුණු

මල් බඳුන...”

(පද- නදුන් යසිත දසනායක)

ඇත්ත. මේ කතා දෙක ම ගැහැණුන් දෙදෙනෙක් ගැන. ඒ කතා දෙකේම ගැහැණුන් විවාහ වෙලා යන්නෙ තමන්ගෙ ජීවිතවල හැමදේම අත්හැරලා තමන්ගේ සැමියට ජීවිතය බාර කරලා. ඒත් ඒ විස්වසය ගොඩක් වෙලාවට රැකෙන්නෙ නැහැ. ගොඩක් සැමියන් දැන හෝ නොදැන පුරුෂෝත්තම බලය පාවිච්චි කරලා ඒ ගැහැනු හිත් තලා දානවා. මේ උඩින් ලියුව කාන්තාවො දෙන්නා වගේ තව සිය දහස් ගණන් කාන්තාවො මේ රටේ ඉන්නවා. ඒක ඔබත් දන්නවා මමත් දන්නවා. ඒත් හැමදාම අපි ඒ වග දැන දැනත් නිහඬව ඉන්නවා. වරද තියෙන්නෙ මේ සමාජ ක්‍රමයෙ. 

අනික් අතට ගොඩක් අය කාන්තා අයිතීන් දිනා ගන්න සටන් කරන්න හදනවා. සමතැන් වෙනුවෙන් හඬ නගනවා. ඒත් ඒ හඬ නැගීම ඇතුළෙ ඇති වෙන්න ස්ත්‍රිය පිළිබඳ පුරුෂයාගෙ හිතෙත් පුරුෂයා පිළිබඳ ස්ත්‍රියගේ හිතෙත් වෛර හැඟීම් ඇති වීම පමණයි. කාන්තාවට නිසි තැන් ලබන්න මේ සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒක සංස්කෘතික අරගලයකින් විතරයි කරන්න පුලුවන්. ඒත් තනිවම කාන්තාවන් ට විතරක් ඒක කරන්න බැහැ. පිරිමිත් ඒකට එකතු වි යුතුයි. කාන්තා දිනය සමරන සතියක ඒ ගැන ආයෙමත් ඔබටත් මටත් හිතන්න බොහොම දේවල් තියෙන බව නම් ඇත්තයි.

Top