විවිධත්වය මේ ලෝකය ලස්සන තැනක් කරනවා (184 වන ලිපිය)

post-title

පිරිමින්ට තියෙන්න ඕන ගතිගුණ මොනවද ? කාන්තාවන්ට තියෙන්න ඕන ගතිගුණ මොනවද ? පිරිමියෙක් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද ? ගැහැනියක් කළ යුතු නොකළ යුතු දේවල් මොනවාද ? ..... මේ ප්‍රශ්න වලට ඔබ දෙන උත්තර මොනවාද ? නිකමට තමන් ම හිතින් කල්පනා කරල ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න. මෙතනින් එහාට මේ ලිපිය කියවන්න කලින් මුලින් ම ඒ ප්‍රශ්න වලට තමන්ගෙ හිතට තට්ටු කරල අවංක ව උත්තර හොයා ගන්න බලන්න. ඒ ඔයා හොයා ගත්තු උත්තරත් පැත්තකින් තියාගෙන මේ ලිපිය අවසානය වෙනකන් කියවන්න. 

මන් පටන් ගන්න තැන ම අහපු ප්‍රශ්න වලට ලැබෙන විවිධාකාරයේ අදහස් එදිනෙදා නොයෙක් පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වනකොට , උදේට හවසට බුකියේ පහළට යනකොට ඕනෑතරම් දකින්න කියවන්න අහන්න අපිට අවස්ථාව ලැබෙනවා. ඒ හැම අවස්ථාවක දී ම අපිට දකින්න, අවබෝධ කරගන්න තියෙන යථාර්ථයක් තමයි, අපි ජීවත් වෙන මේ සමාජ ක්‍රමය ඇතුළෙ විවිධාකාරයේ හේතු සාධක මත ලිංග භේදය අනුව ගැහැනු සහ පිරිමින්ට වෙන් වූ අනන්‍යතාවයන් ගොඩනගල තියෙනවා කියන එක. විශේෂයෙන්, ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල නම්, සමාජය ඉදිරියේ අදින පලදින ඇදුම්, කතාබහ කරන ආකාරය, හැසිරෙන ආකාරය , සිතන පතන රටාව වැනි බොහෝ කාරණා සම්බන්ධ ව ගැහැනු පිරිමි වශයෙන් බෙදුනු සමාජ සම්මතයන් , පූර්ව නිගමන ගොඩනැගිල ඒවා මිනිස්සුන්ගේ ආකල්ප ඇතුලේ මුල් බැහැගෙන තියෙනවා. තව ටිකක් සරල ව පැහැදිලි කලොත්, කාන්තාවක් නම් අදින්න ඕන ඇදුම් ගැන, පිරිමියෙක් නම් අදින්න ඕන ඇදුම් ගැන, කාන්තාවක් නම් කතා කරන වචන, හැසිරෙන විලාසය ගැන , පිරිමියෙක් නම් කතා කරන වචන , හැසිරෙන විලාසය ගැන පැහැදිලි ලිංග බෙදීමක් සමග විවිධ සමාජ සම්මතයන් , ආගමික විශ්වාස, නියම , පුද්ගල කේන්ද්‍රීය මතවාද ගොඩ නැගිල තියෙනවා. මන් මේ ලිපියෙන් කතා කරන්න යන්නෙ ඒ විදිහට ගොඩනැගිල තියෙන දේවල් හරි ද වැරදි ද කියන කාරණය නෙමෙයි . ඒ ගැන අපි වෙන ම ලිපියකින් සාකච්ඡා කරමු . මන් කතා කරන්න යන්නෙ කුමන හෝ ගතිගුණයක් , ලක්ෂණයක් ලිoගය මූලික කරගෙන ගැහැනු පිරිමි විදිහට බෙදා දැක්වීම නිසා සමාජයේ ජීවත් වෙන අපි වැනි ම එක්තරා මනුෂ්‍ය කොට්ඨාසයකට සිදු වන හානිදායක තත්ත්වයන් ගැන යි . 

පුංචි කාලේ මට වයස අවුරුදු දෙකේ දී උපන්දින තෑග්ගක් විදිහට මිකී මවුස් බෝනික්කෙක් ලැබුනා. පුංචි කාලේ රෑ නිදිය ගන්න යනකොට ඒ මිකී මවුස් ව ළගින් තියාගෙන නිදිය ගන්න පුරුද්දක් මට තිබුනා. ඔය පුරුද්ද ඔය විදිහට ම ටිකක් වයසින් මුහුකුරා යනකන් ම තිබුනා. මිකී මවුස් ගෙ අතක් ඉරිල කැඩිල ගියත් පුළුන් දාල අම්මා ලව්වා ආපහු මහ ගත්තු අවස්ථා ඕනිතරම් තිබුනා. ඒ තරමට මට ඒ බෝනික්කා ව ළගින් තියාගන්න ආසාවක් තිබුනා. මන් ඕලෙවල් කරන කාලේ වෙනකන් ම ඒ බෝනික්කා මන් ළග තිබුනා . කොහොම වුනත් මේ කාලයේ දි මන් බෝනික්කෙක් ළගින් තියාගෙන රෑට නිදියනවා කියල දැනගත්තු ගෙදරින් පිට අයගෙන් අහන්න ලැබුනෙ එක ම එක ප්‍රතිචාරයක් .  "බෝනික්කො තියන් ඉන්නෙ ගෑනු ළමයින් නෙ. කොල්ලෙක් වෙලා ලැජ්ජ නැද්ද බෝනික්කෙක් ලගින් තියන් රෑට නිදිය ගන්න. " මේ වගේ ප්‍රතිචාර ඇතුලේ තියෙන්නෙ ගැහැනු පිරිම් සම්බන්ධ ව මිනිස්සු ඇතුලේ මුල්බැහැගත්තු නොයෙක් සම්මතයන්.. පුංචි කාලයේ ඉදන් අපිට බොහෝ අවස්ථා වල දි මේ වගේ කතා අහන්න දකින්න ලැබෙනවා. පිරිමි ළමයි නම් තුවක්කු , කාර් , වාහන සෙල්ලම් බඩු වලිනුත් , ගැහැනු ළමයි නම් බොනික්කො එක්ක ත් සෙල්ලම් කරන්න ඕන. ගැහැණු ළමයින්ගෙ පාට රෝස පාට ය, පිරිමි ළමයින් ගේ පාට එක්කො නිල්පාට නැත්නම් රෝස පාට නොවන වෙන ඕනි ම පාටක්. ගැහැනු පිරිමි අතර ශාරිරික ව සහ මානසික ව බෙදීමක් පවතිනවා කියන දේ පුංචි කාලේ ඉදන් ම අපිට පිලිගන්න සලස්වනවා. පිරිමින් කල යුතු යැයි සම්මත දේ ගැහැනුන් නොකල යුතු ය , ගැහැනුන්ට සම්මත දේ පිරිමින් නොකල යුතු ය යන ආක්ල්පය අපේ සිතුම් පැතුම් වලට අපි ජීවත් වෙන අවට සමාජය විසින් ම එන්නත් කරවන දෙයක් . පිරිමින් කතා කල යුතු යැයි , හැසිරිය යුතු යැයි සමාජයේ සම්මත විලාසයට ම ගැහැනුන් කතා කලොත් හැසිරුනොත් , අදින පලදින දේවල් කලොත් ඔවුන්ට ලoකාවේ සමාජයෙන් මොන වගේ ප්‍රතිචාරයක් ලැබේවි ද ? ඔවුන් ව ලැජ්ජාවට , විහිලුවට, අපහාසයට පත් නොවී තියේ වි ද ? ගැහැනුන්ටත් වඩා අපේ සමාජය ඇතුලේ ගැහැනුන් කතා කරන , හැසිරෙන විලාසය විදිහට සමාජයේ සම්මත ආකාරයට පිරිමින් කතා කරනකොට , හැසිරෙන කොට , අදින පලදින කොට එය කොයි තරම් නම් සමාජ අපවාදයන්ට ලක් වෙන්න හේතුවක් වෙනවා ද ? ඔවුන් කොතරම් නම් අපහාසයන්ට , කොන් කිරීම් වලට ලක් වෙනවා ද ? 

මං හය වසරේ දී මන් ඉගෙන ගත්තෙ පිරිමි ළමයි ඉගෙන ගන්න පාසලක. ඒ පාසලේ මන් ඉගෙන ගත්තු පන්තියේ හැම අවස්ථාවක ම වගේ සමච්චලයට , කොන් වීමකට, වාචික දූෂණයට ලක් වුන අහිංසක ළමයෙක් හිටියා. පාසලේ අනෙක් පිරිමි ළමයින්ට තිබුන තත්ත්වය , පිළිගැනීම ලැබුනේ නැති එක තියා ඒ ළමයාත් අපි වගේ ම හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියන හැගීම වත් තිබුනේ නැති අවස්ථා ඕනෑතරම් මන් දැකල තිබුනා. එයට ප්‍රධාන ම හේතුව වුනේ, ඒ ළමයා ශාරීරික ව බාහිර පෙනුමෙන් පිරිමි ළමයෙක් වුනත් කතා කරන විලාසය , කටහඩ , හිතන පතන ආකාරය , හැසිරෙන ආකාරය සේරම ගොඩනැගිල තිබුනේ සමාජයේ සම්මත ගැහැණු ළමයෙක්ගේ ස්වරූපයෙන් වීම. ඇත්තටම ඒ උපතින් ම ඒ ළමයාට උරුම වෙලා තිබුන ස්වරූපය.. ඒත්, අවාසනාවකට ඒ විදිහට කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ස්වරූපයෙන් හැසිරෙන කතා කරන විදිහ උපතින් උරුම සාමාන්‍ය ස්වභාවයක් කියලවත් ගොඩදෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒකට බලපාන මානසික , ජිව විද්‍යාත්මක කාරණා වත් හරියට දැනගෙන හිටියෙ නැහැ. හෝමෝන අඩුවක් නිසා , වෙන ශාරිරික - මානසික ප්‍රශ්න නිසා ඒ විදිහට හැසිරෙනවා කියල හිතපු අය අනන්තවත් හිටියා. සරල ව කිව්වොත් මා ඇතුළු ව අනෙක් හැම ළමයෙක්ට ම , සමහර ගුරුවරුන්ට ත් සoක්‍රාන්ති ලිoගිකයන් ගැන කිසිම දැනුවත්භාවයක් තිබුනෙ නැහැ. පිරිමි ලිoගයක් සමග ඉපදුනත් මනසින් කාන්තාවන් විදිහට හිතන පතන පුද්ගලයන් ඕනෑතරම් මේ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් ගැන මේ සමාජයට තියෙන දැනුම අල්ප යි . ඒ දැනුම නැතිකම නිසා වගේ ම සමාජය ඇතුලේ පිරිමි - ගැහැණු විදිහට මුල්බැහැගත්තු චර්යා රටාවන්, පුරුදු , ගති ලක්ෂණ නිසා ඔවුන් සමාජය ඉදිරියේ කොන් කිරීම් වලට, අපහාසයන්ට ලක් වෙන අවස්ථා බහුලයි... 

ලංකාවේ ඇතැම් චිත්‍රපට තුල , උදාහරණයකට සිකුරු හතේ, බහුබූතයෝ, ගින්දරී වැනි හාස්‍ය මූලික කරගත් චිත්‍රපට මෙන් ම වෙනත් චිත්‍රපට තුල ත් පිරිමි අංග ලක්ෂණ තියෙන නමුත් කාන්තාවක් විදිහට හැසිරෙන, කතා කරන පුද්ගල චරිත යොදා ගෙන තියෙනවා. එවැනි චරිත යොදා ගෙන තියෙන්නෙ ම ප්‍රේක්ෂකයන්ට පහත් ගණයේ හාස්‍යයක් ලබා දීම මූලික අරමුණ කරගෙන යි . මෙවැනි චරිත ප්‍රේක්ෂකයන්ට පහත් ගණයේ හාස්‍යයක් ලබා දීමට යොදා ගැනීම නිසා අවසානයේ සිදු වන්නේ එවැනි චරිත ලක්ෂණ ඇති සැබෑ පුද්ගලයන්, සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් සමාජය ඉදිරියේ තව තවත් හෑල්ලුවට , හාස්‍යයට , අවමානයට ලක් වීම ම පමණයි ....

අපි හැමෝම අනෙකාගෙන් , මේ සමාජයෙන් ගෞරවයක් , සැලකිල්ලක්, තත්ත්වයක් ලබන්න කැමතියි . එය අතිශයින් සාමාන්‍ය යි. ඉතින් , ලිංගය මත හෝ සමාජ සම්මතයන්ට වෙනස් වූ නිසා හෝ හැසිරීම් නිසා හෝ ඔබ යම් කෙනෙක් ව අපහාසයට , කොන් කිරීමකට ලක් කරනවා නම් එය මනුෂ්‍යත්වයට ගැලපෙන ක්‍රියාවක් ද කියල ඔබ ඔබේ ම හදවතින් දහස් වතාවක් අසා දැන ගන්න කියල මම යෝජනා කරනවා..

මතක තියා ගන්න,
විවිධත්වය මේ ලෝකය ලස්සන තැනක් කරනවා.

Top