අයිතියක් නැති තැන තියෙන්නෙ හැබෑම ආදරේ (181 වන ලිපිය)

post-title

අද ආදරවන්තයන්ගේ දිනය. සමහරු කියන්නෙ ආදරය වගේ හැඟීමක් සමරන්න එක දවසක් නම් කරන එක වරදක් කියලා. තවත් සමහරු කියන්නේ ආදරය වෙනුවෙන් මෙහෙම එක දවසක්වත් වෙන් කරන එක මොනතරම් වටිනවද කියලා. මේ මතවාද මතගැටුම් සංවාද අතරේ අදත් ආදරවන්තයන්ගේ දවස උදාවුණා. අදත් දෙතැනක තනිවුණ ආදරවන්තයන් ආදරවන්තියන් එකිනෙකා හමුවෙන්න නොහැකි මොකක් හෝ හේතුවක් නිසා අද දවස හිතින් ඒත් දුකින් තනිවම සමරාවි. හමුවෙන්න හැකි ආදරවන්තයන් ආදරවන්තියන් කොහේ හෝ තැනක මුණ ගැසී ආදරය විඳීවි. මේ සියල්ල අතරෙ අදත් රාත්‍රියේ ආදරවන්තයන්ගේ දිනය නිමාවේවි.

මාධ්‍ය ආයතන මේ දවසට මොනවා හෝ වැඩ සටහන් ඉදිරිපත් කරාවි. ආදරය ගැන කියාවි. ලියාවි. ගයාවි. වෙළඳ ආයතන ඒ දවස වෙනුවෙන් වෙළඳ භාණ්ඩයක් හඳුන්වාදේවි. පෙමිවතුන් පෙම්වතියන් ඒවා හුවමාරු කර ගනීවි. ආදරය සුන්දර වේවි. ඉතින් අද වචන ඩොට් එල් කේ අහස් ගවුවෙදි අපිත් හිතුවා ආදර මතක ටිකක් ඔයත් එක්ක බෙදා ගන්න. 

පහුගිය දවසක මගේ මිත්‍රයෙක් මාත් එක්ක හැන්දෑවෙ සොඳුරු කතා බහක යෙදෙද්දි එයාගේ ජංගමයට කෙටි පණිවිඩයක් එනවා. ඔහු පණිවිඩය කියෝලා මට ඒකෙ තිබුණ දේ කියනවා. මං හිතුවා ඒ කතාව ලංකාවට ම බලන්න කියන්න. මේ සටහන දැක්කත් ඒ මිත්‍රයා මට සමාවදෙන වග මං දන්නවා.

“මේ පාර වැලන්ටයින් එකට මොකද කරන්නෙ?” ඔහුගේ ඇස්වල ලාවට තෙතමනයක් තියෙනවා. මං කිසිවක් නොකියා බලන් ඉන්නවා. ටික වෙලාවක් නිහඬව ඉන්න ඔහු දීර්ඝ සුසුමක් හෙලනවා. 

“අපි වෙන්වෙලා දැන් අවුරුදු තුනයි. ඒත් තවමත් එයා හැම වැලන්ටයින් දවසක් ළං වෙද්දිම මේ කෙටි පණිවිඩේ එවනවා. මං හරියට ම අවුරුදු තුනකින් එයාව දැක්කෙ නැහැ. එයාල හරි පෝසත් පැමිලි එකක්. මං දුප්පත් නිසා අපේ සම්බන්දෙට එයාගේ ගෙදරින් අකමැති වුණා. එයාටත් ගෙදර දාල මං ගාවට එන්න බැරි වුණා. ඉතින් අපි වෙන්වුණා. ඒත් මගේ හිතේ එයාගැන වගේම එයාගේ හිතේ මං ගැනත් ආදරය තියෙන බව මං දන්නවා. ආරංචියෙ හැටියට ගෙදරින් ගෙනාව ප්‍රපෝසල් එකකින් එයා මැරි කරන්න ඉන්නේ මේ මැයි මාසේ. ඒත් ...” මගේ මිත්‍රයා ඔහුගේ දීර්ඝ කතාව බොහොම සංක්ෂිප්තව මං ඉස්සරා තියනවා. 

“අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 

ලොව කාට හෝ නුඹ උරුමැති

සතුටින් ද ඔබ පෙරටත් වඩා

මගේ ඉපැරණි පෙම්වතී”

(පද- රවී සිරිවර්ධන)

පහුගිය කාලෙ දවසක පානදුරේ පැත්තෙ පිරිමි ළමයෙක් ජීවිතේ නැති කර ගන්නවා. ඒත් ඒ තනියම නෙවෙයි. තමන්ගේ දාසය හැවිරිදි පෙම්වතිය ඉගෙනීමේ අවශ්‍යතාව යැයි පවසා ප්‍රේම සම්බන්ධය නතර කරමු කියුවම ඇගේ ම නිවසට ගිහින් ඇගේ බෙල්ල කපලා ඇයත් මරා දමා තමයි ඔහුත් ජීවිතේ නැති කර ගන්නෙ. මීට ටික කාලෙකට කලින් මගෙන් සිංහල ඉගෙන ගන්න උසස් පෙළ ළමයින්ට දේශපාලන විද්‍යාව ඉගැන්නුව තරුණ ගුරුවරිය මහපාරෙදි මරා දාන්නෙ ඇගේ පෙම්වතා. මේ වගේ දේවල් වෙන රටක මට මගේ මිත්‍රයා ගැන ඇතිවුණේ පුදුමාකාර සෙනෙහසක්.

නේරු තුමා කියන්නෙ නිදහස් ඉන්දියාවේ මුල්ම අගමැති. ඒ කාලෙ ඉන්දියාවෙ හිටිය මව්න්බැට්න් සාමීවරයා. එයාගේ බිරිඳගේ නම එඩ්විනා මව්න්බැට්න්. ඇය හරි සුන්දර ස්ත්‍රියක්. දවසක් මව්න්බැට්න් ආර්යාවට මුණ ගැහෙනවා නේරු තුමා ව මගේ මතකය නිවැරදි නම් ඒ රාත්‍රී ප්‍රිය සම්භාෂණයකදී. ඒ වෙලාවෙ පය පැකිලීමෙන් වැටෙන්න ගිය නේරුතුමාව අල්ලා ගන්නේ මේ සුන්දර ස්ත්‍රිය. එදා ඒ අල්ලා ගත්ත අත ඇය ජීවිතේ අවසන් වනතුරුම අල්ලාගෙන ඉන්නවා. ඒ එදවස පටන් ඇගේත් නේරුතුමාගේත් අතර ඇතිවන අපූර්ව ප්‍රේම සම්බන්ධය නිසා. මේ ගැන මව්න්බැට්න් සාමිවරයාත් දැනගෙන ඉන්නවා. නේරු තුමායි එඩ්විනා ආර්යාවයි ලියුම්වලින් තමන්ගේ අදහස් හුවමාරු කර ගන්නවා. පස්සෙ කාලෙක එඩ්විනා මරණ මංචකයේ ඉද්දි ඇය ඒ ලියුම් ඔක්කොම මව්න්බැට්න් සාමිවරයා ඒ කියන්නෙ තමන්ගේ සැමියාට දෙනවා. ඒ ලියුම් සාමිවරයා තමන්ගේදුවට දෙනවා. ඒ පැමෙලා මව්න්බැට්න් ට. ඒව කියොලා ෆැමෙලා තමන්ගෙ අම්මටවත් නේරුතුමාටවත් වෛර කරන්නෑ. ඇය ඔවුන් අතර තිබුණු ඒ ප්‍රේමය ගැන හරි ආදරෙන් කතා කරනවා. ඒ ආදරේ ලිංගිකත්වය පදනම් කර ගත් බැඳීමක් නොවන බවත් ඒක මානසිකව බැඳුනු සුන්දර දෙයක් බවත් ෆැමෙලා කියනවා. ඒක් ඇත්ත.

මට මගේ අතීතයේ මිතුරෙක් සිහිවෙනවා. ඔහු විවාහ වෙලා පළමු දරුවා ලැබිලා ටික කාලෙකින් ඔහුගේ බිරිඳ ඔහු අත්හැරලා යනවා. ඒ වෙනත් පිරිමියෙක් එක්ක ප්‍රේමයෙන් බැඳිලා. මගේ මිත්‍රයා අධික සිත්තැවුලට පත්වෙනවා. දරුවාත් එක්ක අසරණ වෙනවා. ලංකාවෙ එහෙම දේවල් වෙනවා. ඒ අතින් බලන කොට නේරුගෙයි එඩ්විනාගෙයි ආදරේ ඇත්තටම මහ පුදුමාකාරයි කියලා ඔබට හිතෙන වග මං දන්නවා. 

මට මේ වගේ වෙලාවට හිතට එන සිතිවිල්ලක් තියෙනවා. ඒ තමයි ඇත්තට ම අපි ආදරේ ගැන තේරුම් නොගත්ත ජාතියක් කියන එක. අපි ආදරේ කියන්නෙ කායික අවශ්‍යතා ඉෂ්ට කර ගන්න හදාගත්ත බැඳීමකට. ඒත් ඇත්ත ආදරේ එහෙම නැහැ. ඒක කායික බැඳීමකට ලඝු වෙන්නෙ නැහැ. සමහර ආදරවන්තයන් ඉන්නවා අදටත් අතින්වත් අත අල්ලා ගන්න බැරි තරම් දුරක දෙතැනක තනිවුණ. ඒත් ඒ හිත් ඇතුළෙ මොනතරම් ආදරේ තියෙනවා ද?

මට හදිස්සියෙම මතක් වෙන්නෙ සුදේව. සුදේව කියන්නෙ කාලයක් මගේ ලියවිලි කියවීම නිසාම මගේ මිතුරෙක් වුණ මිත්‍රයෙක්. එක හැන්දෑවක පිලිකා රෝගය වැළඳුන සිය පෙම්වතිය සදහට ම ඇස් පියා ගත්තත් සුදේව අදටත් හැම වැලන්ටයින් දවසේ ම ඇගේ සුසානයට රෝස මලක් අරගෙන ගිහින් මුලු හැන්දෑවරුව ම ඇයත් එක්ක ගෙවනවා.

“හිතවතුනි අද සුදු ඇඳන් එන්න

මේ සුසානේ පහන් දල්වන්න

ප්‍රථම ප්‍රේමය වළ දමන්නට

අසීරුයි මට ඔබ උදව් වෙන්න”

(පද- ධම්මික බණ්ඩාර)


මේ හැම දෙයක් ම කියලා මං ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. අල්ලා ගත්ත බැඳීම් වලට වඩා එහෙනම් ආදරේ වැඩිපුර ම තියෙන්නෙ අත්හැරෙන බැඳීම් වල නේද? එහෙනම් ආදරේ කියන්නෙ අල්ලා ගැනීම නෙවෙයි නේද? කියලා දැන් ඔබට තේරෙනවා ද?

Top