ආදරය ගැන ආත්මීය කතාවක් (787)

post-title

මට ජිවිතේ ගැහැනු තුන් දෙනෙක් මුණ ගැහුනා. ජීවිතේ කාර්තු තුනක් ඒ තුන් දෙනා මගේ ජිවිතේ සැරසුවා. දිශානතිය වෙනස් කරා. අද ඉන්න මාව නිර්මාණය කරන්න ඒ තුන් දෙනාම දායක උනා. මම ඒ තුන් දෙනාටම ආදරය කරා. අදටත් ආදරය කරනවා. ඒ ආදරයේ හැඩය විතරක් කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා.

පළවෙනියා හරියට ඉරක් වගේ. ළං වෙන්න හදන හැම සැරේ ම මාව හොඳටම පිච්චුනා. ඒ තුවාල කැලැල් හදවතේ කොහේ හරි තාමත් තියෙනවා කියලා මම දන්නවා. ප්‍රතික්ෂේප උනත් මම ඇයට අසීමාන්තිකව ආදරය කරනවා. ඒ ආදරයම මගේ හදවත කෑලී කෑලී වලට බිඳලා දානවා. ඊට පස්සේ ජිවිතේට ගැහැනු ආව ගියාට මගේ හදවත ඒ කිසිම ගැහැනියක් වෙනුවෙන් විවෘත උනේ නැහැ. අපේ ජිවිතේට ඉර පෑවුවට අපිට ඉරට ළං වෙන්න බැරි බව කාලයත් එක්ක මම තේරුම් ගන්නවා. ජීවිතේ අමාරුම දවස් වල එයා මාව අහගෙන ඉදලා තියෙනවා. සමහර විට ඉස්සරහටත් ඉදියි. ඒත් ඉරට ළං වෙන්න මම ආයෙමත් උත්සහ කරන එකක් නැහැ. ළං වෙන්න හදන හැම මොහොතක ම ඇය මට මගේ සීමාව මතක් කරනවා.

දෙවෙනියා හරියට මහ මුහුද වගේ. එයාගේ ආදරේ සාගරයක් තරම් විශාලයි.. ගැඹුරුයි.. ඒ තරම් මට ආදරය කරන කෙනෙක් ආයෙමත් දවසක මුණ ගැහෙන එක්ක නැහැ කියලා මට අදටත් හිතෙනවා. කිසිම ගැහැනියක් වෙනුවෙන් විවෘත නොවුණු මගේ හදවත ඇතුළට එන්න ඇයට හැකි උනේ ඒ මහ විශාල ආදරේ හින්දා කියලා මට හිතෙනවා. කාලයත් එක්ක අපේ ආදරේ වියැකිලා යනවා. මාව ආදරයෙන් පුරවපු ඇයගේ හදවත මං සුනුවිසුණු කරලා දානවා. නමුත් අදටත් ඈ මාව ආදරෙන් පුරවනවා කියලා මට දැනෙනවා. ඇය කවදාවත් හිදිලා යන්නේ නැති ආදර උල්පතක් කියලා මට හිතෙනවා. තවමත් අපි මුණගැහුනාම ගෙවෙන හැම මොහොතක්ම මම හදවතින්ම විඳිනවා. ජිවිතේ සැදෑ සමය ගෙවන කාලයක ජිවිතේ ගැන ආදරය ගැන අපිට කතා කරන්න දවසක් ඒවී කියලා මම විශ්වාස කරනවා. ඈ හොයන ආදරේ ඇයට ලැබෙන්න ඕනේ කියන පැතුමත් මගේ හදවතේ හැමදාම තියෙනවා.

තුන් වෙනියා හරියට වැස්සක් වගේ... මගේ ජිවිතේ බලාපොරොත්තු නොවුනු මොහොතක එයා මගේ හිත අස්සට එනවා. අපිට අපි කාලයක් තිස්සේ දන්න අදුනන හුරුපුරුදු කමක් දැනෙනවා. පුංචි පුංචි මොහොතවල් වල ඒ ආදරය හෙමිට දලුලනවා. සාංසාරික හුරුපුරුදු ගතියත් එක්ක අපි අසීමාන්තිකව එකිනෙකාට බැඳෙනවා. නමුත් අපිට අපි අයිති කරගන්න බැරි තැනක අවාරයේ වැසි වැටුන නිසා ඈ මගෙන් සමුගෙන යනවා. ඈ හරියට මායාවක් වගේ කියලා මට දැන් හිතෙනවා. ප්‍රේමය කියන මුලාවෙන් ඈ මාව ඇහැරවනවා. ආයේමත් පොද වැස්සකටවත් තෙමෙන්නේ නැහැ කියලා මම මටම සපත කරගන්නවා.

ආදරේ හිමි අහිමි වීම් අස්සේ ජිවිතේ ගඟ ගලාගෙන යනවා. හෙට මම කොහේ කොතනක නවතිවිද කියන්න දන්නේ නැහැ. ඉරකට මුහුදකට වැස්සකට පෙම් බැඳි අහසකට උරුම තැනක නවතිනවා. ජිවිතේ රිදෙන තැන් දැනෙන තැන් බැඳෙන තැන් පසුකර උරුම තැනක නවතින්න ලියවිලා තියෙනවා...

Top