සුන්දර ලෙස පෙනෙන FIFA හි අසුන්දර කතාව! (779)

post-title

මේ ලිපිය මා ලිව්වේ 2020 අවුරුද්දේය. එදවස BBC හෝ වෙනත් විදෙස් පුවත් වෙබ් අඩවියක් වාර්ථා කර තිබුණේ පාපන්දු ලෝක කුසලාන ඉදිකිරීම් අතරතුර සේවකයන් 40000කට අධික පිරිසක් මිය යා හැකි බවය. එයට හේතු ලෙස, සෙල්සියස් 50ට වැඩි උෂ්ණත්වයක වැඩකිරීම, අවම පහසුකම්, නිසි ආහාර නොමැතිකම, ඉදිරිකරීම් අදාළ වේගයට වඩා වැඩි වේගයකින් කරන්නට සිදුවීම ආදී බොහෝ දේ ඇත. මේ කම්කරුවන් විඳින දුක ඇස් දෙකෙන් දුටු අපට කළ හැකිව තිබුණේ ඇස් පියාගැනීම පමණය. ඒ නිසා අද ද එකදු ලෝක කුසලාන තරඟයක් නරඹන්නට මට නොහැකිය. ඒ රුධිරය, දහදිය, කුසගින්න, වේදනාව ඒ සෑම තැනකින්ම පිටතට එන අයුරු මට දැනෙයි. ඊයේ රුසියානු කවි සැඳෑවේදී මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනවි සහෝදරයා සමඟ මේ ගැන කතාකිරීමෙන් පසුව නැවත ඒ වේදනාකාරී මතකය අවදි විය. මේ ගැන මා ලියූ කවියක්ද මෙය අගට අමුණමි. 

කමුස්තකා - කුබුස්කකා

කමුස්තකා යනු පිලිපීන භාෂාවෙන් ඔබට කොහොමද? යන්න අසන ආකාරයයි. කටාරයට ගිය මුල් කාලයේ හමුවූ පිලිපීන තරුණ තරුණියන්ගෙන් අපි මේ වචනය අල්ලා ගතිමු. ගීතමය ස්වරූපයක් ගත් මේ වචනය භාවිතය තුළින් මානසික ආතතිය යම් පමණකට දුරු වෙන ගතියක් ද පෙනෙන්නට තිබිණි. වර්ථමානයේදී ඉංග්‍රීසි ප්‍රමුඛ භාෂාව වුවද ෆිලිපිනෝ භාෂාව කතාකරන මිලියන 28ක ජනතාවක් අද ද එහි වෙසෙති. පිලිපීනය ප්‍රාදේශිය උප භාෂා ගණනාවක් සහිත රටකි. තගලොග් (tagalog) ලෙසින් හැඳින්වෙන ඔස්ට්‍රෝනීසියන් භාෂා (Austronesian) පවුලෙන් පැවත එන භාෂා ප්‍රභේද කිහිපයක් පිලිපීන දූපත් වල භාවිත වෙයි.

කටාරයේදී මගේ හොඳම මිතුරන් බවට පත්වූ අකෝසි ටියෑන් හා ජෝ ජෝ දෙදෙනාම මැනිලා අගනුවර ආසන්නව වාසය කළ තරුණයින් දෙදෙනෙකි. ඉතා ප්‍රියමනාප තරුණයින් වූ ඔවුන්ගේ දැඩි ඇල්ම තිබුණේ බාස්කට් බෝල් ක්‍රීඩාවටය. විවේකය තිබුනු අවස්ථා දෙක තුනකදී මමද ඔවුන් සමඟ ක්‍රීඩාවට එක්වුනෙමි. ජෝ ජෝ මට සමාන උසකින් යුතුවූ තරමක කැරලි ගැසුනු කොණ්ඩයක් සහිත දිගු මුහුණකින් හෙබි අයෙකු විය. ඔහුගේ කඩවසම් පෙනුම හොලිවුඩ් නළුවෙකුගේ ස්වරූපය ගත්තේය. අකෝසි අප දෙදෙනාටම වඩා උසින් අඩුවූ අතර ඔහුට තිබුණේ හුරුබුහුටි පෙනුමකි. රැවුල නොවැවෙන මුහුණු දෙදෙනාටම පොදු ලක්ෂණයක් විය.

කටාරයේ මුල්කාලීන ජීවිතයේ නිතරම එකට කාලය ගත කළද පසුව අප විවිධ අංශයන්ට කොටුවීම තුළ සම්බන්ධකම් ක්‍රමයෙන් දුරස් වී ගියද අකෝසි දැනුත් මුහුණු පොත හරහා මා අමතයි. ජෝ ජෝ ඩුබායි හි රැකියාවක් කරන බව සැල වුවද ඔහු දැන් කොහේ සිටීදැයි දැනගන්නට නොමැත. ඔවුන් බොහෝවිට භාවිත කරන්නේ ඔවුන් විසින් දමාගත් අන්වර්ත නාමයන් නිසා සමහර විටෙක මුහුණු පොත හරහාද සොයා ගැනීම උගහටය.

කාලය ගතවෙද්දී කටාරයේ ජීවිතය බැරෑරුම් වීමත් සමඟ අප සොයා ආවේ ආර්ථික ගැටලුය. බොහෝ මාසවල අවසාන දින ගෙවාගනු ලබන්නේ කුබුස් ආහාරයට ගනිමිනි. කුබුස් යනු රියාල් 01ක් වැනි සුලු මුදලකට ලැබෙන රොටි වලට සමාන ආහාරයකි. මේ රොටියෙහි ඇති වැදගත්කම වන්නේ ජෑම් බටර්, හොදි, වඩේ,කොස් පොලොස් බැරිනම් ගල් සමඟ වුවද ආහාරයට ගැනීමට ඇති හැකියාවයි. මැදපෙරදිග ගෙවෙන බොහෝ ජීවිත වල මේ අත්දැකීම විරල නොවේ. අපේ නවාතැනේ තුන්වැනි කාමරයේ කිහිප දෙනෙකුගේ මුදල් නැතිවන්නට පටන් ගත්තේ මේ කාලයේය. කෙනෙකු දුක් මහන්සියේ උපයන වැටුපෙන් මුදලක් හොරා ගන්නට සිතෙන්නේ කුමන ආකාරයේ පුද්ගලයන්ටදැයි වටහා ගැනීමට නොහැකි තරමට ඒ සිදුවීම් පෙළ අපට දැනිණි.

මේ නිසාම නිතරම අපේ කාමරය වසා තැබීමටත්, පර්ස් එළි මහනේ නොතැබීමටත් අපි නිරන්තරව පුරුදු පුහුණු වුනෙමු. රාජකාරියට අමතරව සිදුකරන මෙවැනි සෑම අනවශ්‍ය පරිස්සමක් අපට ඉතිරිකළේ තවත් මානසික ආතතියක් පමණි. ඉඳහිට අපේ කාමරයට වෙනත් රටවල මිතුරන් පැමිණිම සිදුවේ. ඒ අතරට නේපාල, බංගලි හා ඉන්දියානු මිතුරන් ඇතුළත් විය. මැදපෙරදිග ජීවිතයේදී මේ සංස්කෘතික හුවමාරුව නව අත්දැකීම් එකතු කරයි. කමුස්තකා වචනයට හරියටම ගැලපෙන වචනයක් සොයා ගැනීමේ ආසාවකින් පෙළුණු මට අහම්බෙන් දවසක එයට අපූරු වචනයක් හමුවිය.

වෙනදා මෙන් මාසයේ අන්තිම සතියේ දිනක් වූ එදින අපට යැපෙන්නට වී තිබුනේ කුබුස් වලිනි. ඉතිරිව තිබූ අවසාන සොසේජස් පැකට්ටුව වතුර එකකට දමා හීතල යනතුරු බලාසිටියෙමි. සොසේජස් ටිකක් තෙල් දමා කුබුස් සමඟ ආහාරයට ගැනීම අපේ ආහාර වට්ටෝරුවේ නොවරදින අංගයකි. මේ වෙලාවෙහි එතැනට පැමිණි චතුරංග “කමුස්තකා” යැයි මගෙන් විමසීය. චතුරංග වාසය කළේ තුන්වැනි කාමරයේය. එවෙලෙහිම මගේ කටට ආ වචනය වූයේ “කුබුස්කකා” යන්නයි. කමුස්තකා යන්නටම ගැලපෙන රිද්මය සහිත වූ කුබුස්කකා යන්න සැබවින්ම දේශපාලන වචනයකි. කමුස්තකා යනු කොහොමදැයි විමසීම නම්, කුබුස්කකා යනු කුබුස් කමින් ජීවිතය ගෙවන බව අරුත් නොනංවන්නේද?

එතැන්සිට කමුස්තකා - කුබුස්කකා යන්න අපි භාවිත කළෙමු. මේ වචනය අසන පිලිපීන ජාතිකයින් එය කුමන වචනයක්දැයි උඩබිම බලා සොයන අයුරු අපට විනෝදයක් ගෙනදුන්නේය. එහෙත් සැබවින්ම කුබුස්කකා යන්නෙහි ඇති විනෝදයක් නොමැත. කුබුස් යන වචනය තුළම මැදපෙරදිග කටුක අත්දැකීම ගහට පොත්ත සේ බැඳී පවතී. මැදපෙරදිග දැඩි රස්මියත්, දුහුවිලි කුණාටු අතරේත් ගෙවී යන්නේ දහසකුත් එකක් සිහිනය.

තාර පවා දියවී උණුවී යන තරමේ දැඩ් අව් රස්මියක, ගහක් කොළක් නොපෙනෙන රළු බිමක ගමන් කරනවිට දැනෙන හැඟීම ඒ අත්දැකීම විඳ ඇති අයෙකුටම මිස වෙන අයෙකුට වටහාගත නොහැකිය. මුහුණට වදින රත්වූ සුළඟ ගත පුළුස්සා දමන තරමටම ඇතැම් විට දැඩිවෙයි. එහෙත් මේ සියල්ල අස්සේ වැඩබිම්වල අපේ තරුණයෝ වැඩකරති. සමහරු මැදපෙරදිගටම සිය ජීවිතය දියකර හරිති. අපේ තරුණියෝ නිවෙස්වල බැලමෙහෙවරකම් කරති. ඒ අතරම තව බොහෝ දේවල්ද වෙති.

වාර්ථා වලට අනුව 2022 ලෝක කුසලානය සඳහා සූදානම් වන කටාරයේ ඒ වෙනුවෙන් වැඩබිම් සේවකයින් 4000ක්වත් මියයා හැකි බව සඳහන් වේ. සෙල්සියස් අංශක 50ට අධික උෂ්ණත්වයේ වතුරවත් නොමැතිව වැඩකරන්නට සමහර සේවකයින්ට සිදුව ඇත්තේ කාගේ වරදින්ද? මේවා ගැන කතා කරන්නේ කවුරැන්ද? විදේශ විනිමය ගැන පමණක් වදවෙන, එයින් සියල්ල සූදුවක් කරගෙන රජ සැප විඳින පාලකයින් මෙන්ම නිළධාරීන්ද මේවා සොයනවා යැයි සිතීමම මුලාවකි. සියල්ල කමුස්තකා - කුබුස්කකා ය.

ඉතින් මම යමි අන්ධකාර හුදෙකලාවට !

-----------------------------------

ඈත දිලිසෙන සඳ 

මැකී යන විට වළාවන් මැද

සිහිල් සුළඟින් නැගෙයි ගත හී ගඩු, 

ජීවිතය සොයා දුර ඈතක 

ඇවිත් සත් මූදු තරණය කර

වියෝ ගී ගයා තුරුලු වෙමි

අන්ධකාර හුදෙකලාවට !

අතීතයෙ මිටියාවත දෑස් අභියස 

හරිත තුරුවැල් සැලෙයි දස අත 

දෑත් බැඳ අප ගිය ගමන් මග 

මෑත් වී මතුවෙයි 

වාලුකා කතර 

මා තනිව යනෙන! 

ගී ගයා සැනසූ සියොතුන් 

නොවෙයි මා දසුන කවුළුවෙන් 

කටුක වූ දුක් විඳින මිනිසුන් 

ජීවිතය සොයමින් මග දිග 

ඇදෙයි සැකිලි මෙන් !

ඉතින් මම යමි 

අන්ධකාර හුදෙකලාවට 

මගහැර කවුළු දසුන 

මගේ නෙත් රිදවන

Top