ලයනල් මෙසීගේ ලොව මවිත කරවූ “කෝපාඩෙල්රේ” ගෝලය පිටුපස ඇති විද්‍යාව (155 වන ලිපිය)

post-title

පාපන්දු ක්‍රීඩාලෝලින් විස්මයට පත් කරන ලද සිදුවීම් අතර, ලයනල් මෙසී විසින් දෙදහස් පහළොව වසරේ කෝපාඩෙල්රේ ( Copa Del Rey) අවසාන මහා තරගය අතරතුරදී එල්ල කරන ලද ගෝලය කිසිදු පාපන්දු ලෝලියෙකුට හෝ අමතක නොවන්නක්. සැබැවින් ම ලයනල් මෙසී විසින් පෙන්නු කුසලතා නිසා ඔහු ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු බවට පත්වුන බව නො රහසකි.

කෝපාඩෙල්රේහි ඇත්ලටික් බිල්බාවෝට (Athletic Bilbao) එරෙහිව ලබාගත් මෙසීගේ එම ගෝලය ඔහුගේ මෙතෙක් ලබා ඇති හොඳම දක්ෂතාවය ලෙස ද සැළකිය හැකියි. එහිදී ඔහු බිල්බාවෝ ඩිෆෙන්ඩර්ස්ලා සිවුදෙනෙකු නිරුත්තර කර, විස්මයජනක ලෙස වඩාත් සූක්ෂම ව නිරවද්‍යතාවයකින් පාපන්දුවට එල්ල කල පා පහරින් නිකුත්වූ පන්දුව ගෝල රකින්නාට ආසන්නයෙන් ගෝල කණුව අසලින් දැල තුළට ගමන් කළා. ඒ අනුව කිසිවෙක් නොසිතු ආකාරයට බිල්බාවේ ගෝල රකින්නාවූ හෙන්රිගේ වම් අතට අගල් හයක පමණ දුරිනුයි පන්දුව ගමන් කරේ.

පසුව ESPN Sports science කණ්ඩායම මෙම ගෝලයට විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදුකර ඇත. එහිදී මෙම ගෝලයේ විශේෂත්වය පිළිබදව ඇදහිය නොහැකි කරුණු කිහිපයක් ද ඔවුන් ඉදිරිපත් කර ඇත. 

මෙසීගේ ධාවන වේගයේ වැඩිවීම පැයට කිලෝමීටර් බින්දුවේ සිට පැයට කිලෝමීටර් තිස් එකයි දශම තුනයි අටක් පමණ ව ඇත. ඔහු ලබා ගත් මෙම වේගය ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකුගේ වේගයට සමාන ය. එහෙත් එහි ඇති විශේෂය නම් මෙසී ඒ වේගය ලබාගන ඇත්තේ තත්පර දෙකයි දශම හතයි තුනකින්වීම ය. ඒ සෑම මොහොතකම පාපන්දුව ඔහුගේ පාදය අසල තිබූ අතර බිල්බාවෝ කණ්ඩායමේ ඩිෆෙන්ඩර්ස්ලා තිදෙනෙක් මෙසීව වට කර පන්දුව උදුරා ගන්නට විශාල පරිශ්‍රමයක් දරා ඇත. 

ඔවුන් මෙසීට අඩි හයක් පමණ ලංවෙන විට මෙසී ඔහුගේ වේගය අඩුකර ඒ සමගම බෝලෙට සියුම් කෙටි පහර තුනක් එල්ල කරමින් ඔවුන් තිදෙනා පසු කරනු දැකිය හැකියි. ඒ සදහා ඔහුට ගත වන්නේ තත්පර එකයි දශම දෙකකි. ඒත් සමගම ඔහු ලැපෝර්ට් පසුකර දඬුවම් බල ප්‍රදේශය තුලට පැමිණ ක්ෂණිකව හැරෙමින් ක්‍රීඩකයන් අතරින් අඩි පහක ඉඩක් ලබා ගනියි.

ඉන් පසුව පැයට කි.මී. 77.24 ක වේගයකින් පාපන්දුවට පහරක් ද එල්ල කරයි. වෙඩිල්ලක් සේ පන්දුව හරියටම ඉලක්කය වූ ගෝලය ඇතුලට ඇදෙන්නේ ඒ සමගය. මෙහි පුදුමයට පත් විය යුතු කාරණය නම් මේ සියල්ලම සිදුවුයේ තත්පර 11.4 කාලයක් තුළදී වීම ය. තවත් ඇදහිය නොහැකි දෙයක් නම් මෙම කාලය තුළ දී මෙසී යාර හැටකට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩාංගනයේ දිවගොස් තිබු අතර, ඒ මුළු කාලය තුළම පන්දුව මෙසීගෙන් අඩි දෙකක් ඈත්ව පැවැතියේ දෙවරක් පමණක් වීමත් ය. ඒ ද තත්පර දෙකකටත් වඩා අඩු වේලාවකට ය. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහු පන්දුවට පහර එල්ලකරන්නේ ගෝල් පොස්ට් එකට යාර දාහතරක් දුර සිට වීමත් එම පහර පන්දුවට වැදීම වැරදීමේ හැකියාව, එනම් වැරදීමේ දෝෂය අංශක 0.75ක් වීම ය. එයින් පෙනී යන්නේ මෙසීගේ පා පහර පන්දුවට වැදීමේ නිරවද්‍යතාව ඉහළ ම බවයි. එය එසේ නොවී මිලිමීටර් 1.5කින් වමට හෝ දකුණට එහා මෙහා වූයේ නම් ඔහුගේ එම ගෝලය රැස්කිරීමට තිබු අවස්ථාව ද නැති වෙන බව නිසැකයි. 


මෙහිදී විස්තර විචාරකන් එය විස්තර කරේ

“It’s one of the great Copa Del Rey final goals….

From the magical mercurial Lionel Messi” යනුවෙන් ය.

මෙම ගෝලය පහතින් නැරබිය හැක

 

Top