පුද්ගල නාම හිඟ වීමේ අනාගත බය හා නාමකරණයේ පරම්පරා සාපේක්ෂත්වය (726)

post-title

° ලස්සන ම නම තැබීමේ පිස්සුව හෙවත් මව්පියන්ගේ උමතුව

ඉපදුණු කුමන හෝ මොහොතක දී දරුවාට නමක් තැබීමේ නොතිත් උනන්දුව දෙමාපියන්ට ඇතිවෙන බව කවුරුත් දන්නා කරුණක්. නමක් යනු සම්මුතියක් විනා සැබැවින් ම අදාළ නමින් හඳුන්වන අයෙකු ලෝකයේ නෑ. එවැනි දාර්ශනික මුහුණුවරකට යෑමේ අකැමැත්ත හා නො හැකියාව නිසා මෙම ලියමන තවදුරටත් භාෂාත්මක තලයකට රැගෙන ඒමට උත්සාහ කරමි. පුද්ගලයින්ට නමක් තැබීමේ ඉතිහාසය පිළිබඳ ඉගැඹුරු කියවීමක් නැති නමුත් අප දන්නා උපරිම ඉතිහාසයේ පවා ඒ ඒ චරිතවලට පැවති නම්වලින් අපි ඔවුන් ව හඳුන්වමු. එම පුද්ගල නාම සැබැවින් ම ඔවුන් සතු ව පැවති ඒවා ද එසේත් නැති නම් ඉතිහාස ආඛ්‍යානකරු විසින් පසුකාලීන ව නිර්මාණය කළ ඒවා ද යන්න අපි නො දනිමු. කෙසේ හෝ පුද්ගලයෙකුට තිබුණු පළමු නම යනුවෙන් දෙයක් හඳුනාගැනීම අපහසු ය. මෙම රචනාවේ දී උත්සාහ කරන්නේ, ලාංකේය සිංහල නාමකරණය ගැන අවම ශාස්ත්‍රිය දැනුමකින් යුතු ව විග්‍රහයක් ඉදිරිපත් කිරීමට යි. සාකච්ඡා කිරීමේ පහසුව තකා සිංහල නාමකරණය පරම්පරා වශයෙන් මෙලෙස බෙදා ගත හැකි යි.

° පින්චි, බුංජප්පු, කදිරා, ගිලියා, බරුවා, හේතුහාමි, රන්කිරි වැනි ප්‍රාග් ඉංග්‍රීසි යුගයේ නාමකරණය.

° මතියෙස්, පීතර, ඇසිලින්, එලිසබත්, ජාසොන්,ජෝන්, ජේන්, කතිරිනා ආදී ඉංග්‍රීසි නාමකරණය.

° ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරයේ බලපෑම මත ඇති වූ සිරියාවතී, කරුණාපාල, ඥානදාස, සීලවතී, රත්නසිරි යනාදී නාමකරණය.

° එහිම දිගුවක් ලෙස අපට පෙර පරම්පරාවේ නාමයන් හෙවත් අපගේ පියාණන් මාමාවරුන් බාප්පාවරුන් ආදින් භාවිත කළ ජයන්ත, ප්‍රියන්ත, බන්දුල, මල්කාන්ති, යසෝමා, විජිත ගාමිණී ආදී නාමකරණය.

° අප පරම්පරාවේ නාමයන් වෙන තරිඳු, සුපුන්, කසුන්, චතුර, තිසර, නිලුපුල්, සිතුම්, තරුෂි, සහනි, කසුනි යනාදී නාමකරණය.

° පුද්ගල නාමකරණය පිළිබඳ විප්ලවීය වෙනසක් කළ හා පුද්ගල නාමයන් පිළිබඳ බරපතළ සමාජ කතිකාවක් ඇති කළ, අරීසෙන් අහුබුදුවන්ගේ සිතුලි, දිනාත්, තිසත්, දිනාත්, මෙවනි, නිවිසඳි, රිවිත්, කෙනුලි, ඔවින්‍යා ආදී නාමකරණය.

අහුබුදුවන්ගේ ම නාමකරණයක් ලෙස ඉහත පස් වැනි නාම පරම්පරාව හඳුනාගත හැකි වුවත් වඩාත් ප්‍රකට ලෙස සමාජගත වූයේ, එතුමන්ගේ දෙවැනි නාම පරම්පරාව යි.

° නම් බෙදාගැනීමට සිදු කරන පරම්පරා ගහගැනිල්ල

ලාංකේය සිංහල සංස්කෘතිය තුළ මෙම නම්වලට ඇති භාවිත වටිනාකම පරම්පරාවෙන් පරම්පරාවට සාපේක්ෂ ය. මෙය ඉතා සාවධාන ව සුපරීක්ෂාකාරී ව විමසා බැලිය යුතු කරුණක්. මෙය සරල උදාහරණ කිහිපයකින් හඳුනාගමු.

අප විශ්ව විශ්වවිද්‍යාලයේ සිටින සමයේ දී අතිවිශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක් හඳුනාගත්තා. ඔවුන්ගේ නම් ගම් ආදී බොහෝ තොරතුරු ද දැනගත් අප, ඇතැම් තැන්හි දී ඇතැමුන්ට පැවති නම් ගැන ස්නේහය මුසු උපහාසයකින් ද කතා කළා. මගේ එක්තරා මිතුරෙකුට තිබුණේ මාගේ පියාගේ නම යි. එසේම තවත් මිතුරන් හා මිතුරියන් කිහිප දෙනකුට ම අපගේ වැඩිහිටි පරම්පරාවේ පුද්ගලයින්ට පැවැති නම් රාශියක් ම තිබුණා. ඉදින් පෙර සඳහන් කළ, තම පරම්පරාවට අනන්‍ය වූ නාම පද්ධතියෙන් වියුක්ත නාමයක් අයෙකුට පැවතීම එම පුද්ගලයාට අපහසුතාවක් නොවේ ද ? මෙය නාමකරණයේ ඇති පරම්පරා සාපේක්ෂවය යැයි කිව නො හැකි ද ?

අයෙකුට මෙහි දී සාධාරණ හා පොදු ලෙස ගෙනහැර පෑමට හැකි හැකි තර්කයක් වන්නේ, නාමවලට එවැනි පරම්පරා වශයෙන් උරුම වන වටිනාකමක් නැත යන්න යි. උදාහරණ ලෙස, අප දැනට ද භාවිත කරන ඇතැම් නම් ජාතක පොතේ හා වෙනත් සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක ම උපයුක්ත වී තිබීම දැකගත හැකි යි.

උදාහරණ : නාලක, ගාමිණී, සේනක, තිලකා, අශෝක ආදී නාමයන්

° පරණ පොත්වල ඇත්තේ ඇත්ත ම නම් ද ?

මෙම කාරණය පෙරටත් වඩා ඉතා සියුම් ව හා ප්‍රවේශමෙන් ගළපා ගත යුත්තක්. අප මේ අතරින් ජාතක පොත ගැන පමණක් විමසුව හොත් ජාතක පොත යනු, කර්තෘ පර්ෂදයක් විසින් විරචිත කුරුණෑගල යුගයේ සුවිශිෂ්ට ග්‍රන්ථයක්. සෑම ග්‍රන්ථයක් පිළිබඳ ම අප පොදුවේ එකඟ වන කරුණක් නම්, අදාළ ග්‍රන්ථය අදාළ කාලපරිච්ඡේදය කියවා ගත හැකි කැඩපතක් වනවා යන්න යි. ඒ අනුව ජාතක පොතේ පැනෙන නම් ගම් හා සිද්ධි ආදිය කුරුණෑගල යුගයට හා එහි රචකයින්ගේ භාෂා ඥානයට සාපේක්ෂ බව හඳුනාගත හැකි යි. ජාතක පොතේ භාෂාව යනු, වෙන ම ගෙන විමසිය යුතු අතිදීර්ඝ ව්‍යායාමයක් වෙන නිසා අවශ්‍ය කරුණ පමණක් මෙහි දී සාකච්ඡා කරමු.

ජාතක පොතේ එන චරිත යනු, ජාතක පාලිය හා ජාතකට්ඨ කතාව ඇසුරෙන් රචකයින් සෑදූ ඒවා විනා, සැබැවින් ම අතීතයේ සිටි පුද්ගලයින් ලෙස හඳුනා ගැනීම අසීරු කාරණයක්. ජාතක කතා යනු, බුදුන්ගේ අතීත ජීවිත කතා හෙවත් බෝධිසත්ත්ව ආත්මගත සහසිදුවීම් මාලාවක්. බුද්ධ දේශනාවට ම අනුව එම භවයන් කල්ප ගණන් අතීතයේ සිදු වූ සිදුවීම්. පාලි හා සංස්කෘත හෝ වෙනත් මොනයම් ම හෝ භාෂාවක ආරම්භය කුමන තැනකින් ආරම්භ වුණා යැ යි අප හඳුනා ගත්ත ද ඒවා කිසිසේත් ම කල්ප ගණන් පැරැණි යැයි හඳුනා ගැනීම නුවණට හුරු නැත. ජාතක කතාකරුවා සිදු කළේ, නිශ්චිත යුගයකට සාපේක්ෂ භාෂාව තුළින් ස්වීය රචනාව පාඨකයාට දැනෙන පරිදි ලියා දැක්වීම යි. යම් හෙයකින් ජාතක පොත අද නැවත ලියන්නේ නම්, එහි ඇතැම් තැනක බෝධිසත්වයින් තරිඳු ලෙස සිටිය හැකි යි. තවත් තැනක සුපුන් ලෙස සිටිය හැකි යි. යථෝක්ත තර්කය වියතුන් විසින් තෝරා බේරා දෙනු ලැබෙත් වා !

1948ට පෙර පරපුරේ සිට මේ දක්වා පුද්ගල නාමයන් විකාශනය වූ ආකාරය මෙසේ සරල ව හඳුනාගත හැකි යි. ඒ තුළින් විද්‍යමාන වෙන මහා පොදු සාධකය වන්නේ, එක් පරපුරක නාම පද්ධතිය ඉදිරි පරපුරේ දී කල් ඉකුත් වීමේ ලක්ෂණය යි. එසේ නැති ව පෙර පරපුරේ නමක් පැවතීම අදාළ පුද්ගලයා යම් අවස්ථාවක සෝපහාසයට ලක් වීමට ද හේතුවක්. මෙය සඳහන් කළේ, ශාස්ත්‍රීය හා සමාජ විද්‍යාත්මක තර්කයකින් විනා වෙනත් අදහසකින් නො වේ. මන්ද යත් පුද්ගලයාගේ හැසිරීම මිස ඔහුගේ හෝ ඇයගේ නමෙන් ඇති වැඩක් නැත. නම නො ව ක්‍රියාවලිය යි උතුම් ලෙස සැලකිය යුත්තේ.

මේ ආකාරයේ පරපුරෙන් පරපුරට පුද්ගල නාමයන් කල් ඉකුත් වීමේ ප්‍රවණතාව පවතින තවත් සංස්කෘතීන් ලෝකයේ පවතිනවා ද යන්න පිළිබඳ මට දැනුමක් නැත. නමුත් යුරෝපීය හා ඉංග්‍රීසි සංස්කෘතීන් තුළ මෙම ලක්ෂණය ප්‍රකට නො වෙන බව අපට හඳුනාගත හැකි යි. විශේෂයෙන් ඉංග්‍රීසි සංස්කෘතිය තුළ නම් මෙම පුද්ගල නාමයන් කල් ඉකුත් වීමේ ලක්ෂණය කොහෙත් ම දක්නට නැත.

° පිලිප්ලාට නැති අපට ඇති අකරතැබ්බ

උක්ත කාරණය හඳුනා ගැනීමට අපි බ්‍රිතාන්‍ය රජ පවුලේ නාමයන් උදාහරණයකට ගමු. එහි ආරම්භය දෙවැනි එළිසබෙත් රැජිනගෙන් හා පිලිප් එඩින්බරෝ ආදිපාදවරයාගේ සිට ගත හොත් ඔවුන් දෙදෙනාගේ පුත්‍රයෙකු වන, පිලිප්ගේ ද දරුවාට ඇත්තේ ද පිලිප් ම යන නාමය යි. එනම් එලිසබෙත් තම පුතාට ආමන්ත්‍රණය කරන නමින් ම මුනුබුරාට ද ආමන්ත්‍රණය කර යි. එසේම ඇය තම ස්වාමි පුරුෂයාට ද ආමන්ත්‍රණය කරන්නේ පිලිප් ලෙසට යි. මේ අතර, එළිසබෙත් රැජිනගේ මී මුණුබුරන් අතරින් දෙදෙනෙකුට ම පිලිප් යන නාමය තබා ඇත.

මෙම කාරණය ම සිංහල නාමකරණ ක්‍රමවේදයට ඔබා බැලුව හොත් එහි ඉතා බරපතළ ගණයේ හාස්‍යයක් පවතින බව දැකගත හැකි යි. එලිසබත්ගේ පරපුරට අයත් සිංහලයෙන් හේතුහාමි යැ යි නමක් පවතින වයෝවෘද්ධ පුද්ගලයාගේ දරුවා ද මුණුබුරා ද මී මුනුබුරා ද හේතුහාමි ම වේ යැ යි සිතමු. ඇතැම් විට මෙම සිව් වැනි හේතුහාමි ඔබගේ මාගේ මිතුරෙකු ද විය හැකි යි. සුපුන්, තරිඳු කසුන් වැනි අපගේ රංචුවේ හිඳින හේතුහාමි නම් අප මිතුරාට විදින්නට වන අපහසුතාව බ්‍රිතාන්‍යයේ පිලිප්ට විඳින්නට සිදු නො වන්නේ කුමක් නිසා ද ?

පෙර සඳහන් කළ ඉංග්‍රීසි පවුල් ගස සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගත් එකක් වන අතර, එහි වැරැදි පැවතිය ද බ්‍රිතාන්‍ය නාමකරණ ක්‍රියාවලියේ ස්වභාවය හඳුනාගැනීමට, තොරතුරුවල ඇති විශ්වසනීයත්වය බාධාවක් නො වෙනවා යැයි සිතමු.

° චන්ද්‍රලතාලාට අකැප වූ අද උපදින පොඩි උන්

සිංහලයේ පවතින මෙම පරම්පරා ගැටුමේ බරපතළ හානිය ඇත්තේ ද සිංහලයට ම යි. එනම් ඉතාම අර්ථවාචෝද්ගත නාමයන් මේ මොහොතේ භාවිත කිරීමට නො හැකිකමේ අභාග්‍ය යි. එය උදාහරණ කිහිපයකින් සාකච්ඡා කරමු.

චන්ද්‍රලතා : සඳෙහි ඇති ලතාව
කුසුමලතා : මලෙහි ඇති ලතාව
මල්කාන්ති : මලෙහි ඇති කාන්තිමත් බව
සුකුමාර : උසස් කුමාරයා
විජයපාල : ජයග්‍රහණය මෙහෙයවන්නා
බන්දුල : ඥාතියා

මෙවැනි වටිනා අර්ථාන්විත නම් අපට අද හෙට උපදිනා දරුවෙකුට තැබිය හැකි ද ? සමාජ කතිකාව හෝ උපහාසය බල්ලාට දමා, අර්ථය ගැන ම සිතමින්, මාගේ දියණියකට පුතෙකුට මෙවැනි නමක් තබා, ඔවුන්ට ආනන්තරීය පාප කර්මයක් කිරීමට අවැසි වස්තු බීජ සපයන්නට මම මහත් සේ බිය වෙමි. ඉදින් එවැනි වටිනා නම් ඉතිහාස පොතේ චරිතවලට ම සීමා නො වී කල් ඉකුත් නො වෙන සේ සකසා ගැනීමට අප විසින් කුමක් කළ යුතු ද ?

° දැං මොනව ද කරන්නේ ?

අරීසෙන් අහුබුදු උතුමන්ගේ නම් ද නුදුරු දිනක දී කල් ඉකුත් නො වෙන බවක් අපට කෙසේ සිතිය හැකි ද ? භාෂාත්මක හා වාග්විද්‍යාත්මක පදනමකින් එය එසේ නො වෙනවා යැ යි සිතුව ද මාගේ දියණිය කෙනුලි වී ඇයගේ දියණිය හෙවත් මාගේ මිනිබිරිය ඔවින්‍යා වූ විට, ඇයට අප පෙර කී පරම්පරාමය නාමකරණ ගැටුම නො එනවා යැ යි කෙසේ උපකල්පනය කළ හැකි ද ? එක්කෝ පිලිප්ලා මෙන් සිතීමට අවශ්‍ය භාෂාමය ද්වාරය අප විසින් ඔවුන්ට විවෘත කර දිය යුතු යි. නො එසේ නම්, තවත් පරපුරකට අවශ්‍ය වෙන නම් තොගයක් කඩිනමින් සාදා ගත යුතු යි.

නම් තැබීමේ නිවැරැදි ම මඟ හෝ වාග් විද්‍යාත්මක දැනුම් පද්ධතිය අතිශය ලෙස හීන වූ මගේ දුහුනු ලිපියෙහි නොවක් අඩුපාඩු ඇත්තේ යැ යි හඟිමි. ඒවා සාවධාන ව විමසා බලා වියතුන් විසින් ලායාර්ද්‍ර ව පෙන්වා දෙනු ලැබෙතැ යි සිතාගෙන හිඳිමි.

Top