වචන දහසකට සම වචන හයේ කතන්දර (721)

post-title

කතාන්දරයක්!
එලෙස පැවසූ සැනින් සිහියට නැගෙන්නේ ජේද රාශියක් අමුණා ගෙතු සුවිශාල සටහනක් බව නොරහසක්. නමුත් වචන දහසකින් කිව නොහැකි මතක සටහන් පිළිබඳ ගොනු කරන 'වචන හයේ කතන්දර' (Six Words Story) ගැන ඔබ කෙදිනක හෝ අසා තිබේද ?

සය වදනින් කතාන්දර කීමේ කලාවට පවතින්නේ ඉතාමත් කෙටි ඉතිහාසයකි. එකී කලාවේ ආරම්භකයා ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ ඇමරිකානු ජාතික ගත්කතුවරයකු වූ අර්නස්ට් හෙමිංවේ මහතා ය. කෙටිකතා කලාවේ නවමු මානයන් පිළිබඳ නිරන්තරයෙන් අත්හදා බැලීම් කළ ඔහුගේ වඩාත්ම කෙටියෙන් ලියූ කතාව ලෙස සලකන්නේ පහත ප්‍රකාශයයි.

For sale: baby shoes, never worn.
(කිසිදා නොපැළඳු ළදරු පාවහන් විකිණීමට තිබේ)

ළදරු පාවහන් විකුණන්නේ කවුද, ඔහු ඒවා විකුණන්නේ කිනම් අභිලාෂයෙන්ද, ඒවා භාවිතා කිරීමට දෛවය ඔහුට ඉඩ නොදුන්නේ මන්ද යන පැනයන්ට හෝඩුවාවන් ගැබ් වී නොමැති බැවින් එකී පැනයන්ට පිළිතුරු දන්නේ හෙමිංවේ මහත්මයා ම පමණී. එනමුදු පාඨකයාගේ ශක්‍යතාවය අනුව සොඳුරු හෝ අඳුරු කතාවක් නිර්මාණය කරගෙන රසවිඳින්නට ඉඩ ප්‍රස්ථාව හිමිවන බැවින් වචන හයේ කතන්දර යනු පරිකල්පනය ගොඩනැඟීමෙහිලා මහඟු තෝතැන්නකි.

The smallest coffins are the heaviest.
(වඩාත් බරට දැනෙන්නේ කුඩාවට තැනූ මිනීපෙට්ටිය.)

වචන සියදහස් ගණනකින් පවාකියන්නට අපහසු හැඟුම්බර කතාවක් වචන හයකින් පවසන කලාවේ අපූර්වත්වය පිළිබඳ තවත් නිදර්ශන කුමටද? මෙයද අර්නස්ට් හෙමිංවේ මහතාගේම නිර්මාණයක් ලෙස පිළිගැනීමට ලක් වේ.

වචන හයේ කතන්දර කලාව වඩාත් ප්‍රගමනයට ලක්වූයේ සහස්‍රකයෙන් පසුවය. සමාජ ජාලාවල ආගමනයත්, මිනිසාගේකාර්යබහුල ජීවන රටාවත් හේතුවෙන් සුළු මොහොතකින් කියවන්නට, නරඹන්නට හැකි ක්ෂණික රසවින්දන මාධ්‍යයන් කෙරෙහි වැඩි ප්‍රසාදයක් හිමිවන්නේ නිරායාසයෙනි. Tumblr, Reddit වැනි සමාජ ජාලා අඩවිවල මේ මොහොතේ පවා මෙම කතාන්දරවලට ලැබෙන්නේ මහත් ඉල්ලුමකි. මානව චිත්ත සන්තානය තුළ ඇති වන සිනහව, කඳුළ, බිය මෙන්ම ප්‍රේමය, විරහ ව වැනි විවිධ ශානරයන් අරඹයා වචන හයේ කතා නිර්මාණය වන බැව් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවට තවමත් ආගන්තුක වුවද ජාත්‍යන්තරව ඇති දැඩි පිළිගැනීම හේතුවෙන් ඇමරිකාව පදනම් කරගත් Smith නමැති ඩිජිටල් සඟරාව  2006 වසරේදී ගෝලීයව අපූරු ඇරයුමක් කරන ලදී. ඒ වචන හයකින් තම ජීවිතය පිළිබඳ පවසන ලෙසය. වයස් භේදයකින් තොරව ඔවුන්ට නිර්මාණ ලැබුණු අතර එකී ව්‍යාපෘතිය අවසානයේදී ඔවුන්ට ග්‍රන්ථ මාලාවක් ප්‍රකාශනය කිරීමටද ඉඩහසර හිමි විය.

සයිබර් අවකාශය තුළ සැරිසරන විට විවිධ නිර්මාණකරුවන් ලියන ලද වචන හයේ කතන්දර සොයා ගැනීමට හැකි අතර ඉන් අත්හැරුණු බැඳීම්, ජීවන චක්‍රයේ නොසිතූ නිමේෂයන් ගැන දැක්වෙන මා සිත්ගත් නිමැවුම් කිහිපයක් පහත දක්වා ඇත.

Wrong number, says a familiar voice.
( වැරදි අංකයක් බව පැවසුවේ සුපුරුදු කටහඬකිනි.)

Sorry soldier, shoes sold in pairs.
(සෙබලානෙණි සමාවන්න, සපත්තු විකුණන්නේ යුගල් ලෙස පමණී.)

Strangers, Friends, Best Friends, Lovers, Strangers.
(ආගන්තුකයින්, මිතුරන්, හොඳම මිතුරන්, පෙම්වතුන්, ආගන්තුකයින්)

Tomorrow I leave, he said again.
(හෙට මම යනවා, ඔහුයළිත්පැවසුවේය.)

Rainy evening, two strangers, one umbrella.
(වැහිබර සැඳෑවක්, ආගන්තුකයින් දෙදෙනෙක්, එක කුඩයක්)

Top